(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ආබාධිත යාචකයකුට සර්පයකු දැක දෙපා පණ ආ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය,


 ඔහු බොහෝ කාලයක් එම ප්‍රදේශයේ සිඟමනේ යෙදෙන්නෙකි. ඔහු කාගේ කවුදැයි කවුරුත් සොයා නොබැලූ අතර ඔහුට හැකි පමණින් ජනතාවද උදව් කළේය. ඔහු කලකට පෙර සේවය කළේ සාමාන්‍ය කම්කරුවකු ලෙසිනි.


 ඔහුත් සමග වැඩකළ මිතුරෙක් මේ වන විට යාන වාහන පවා තිබෙනු දුටු ඔහු මෙතරම් ඉක්මනින් දියුණු වූයේ කෙසේදැයි ඇසුවේ නිකමට මෙනි. එහිදී ඔහු පවසා ඇත්තේ වැඩිය මහන්සි නොවී මුදල් උපයා ගත හැකි ක්‍රමයක් පිළිබඳවය. තමන්ව නොදන්නා පළාතකට ගොස් සිඟා කෑමෙන් කම්කරු වැටුපට වඩා හොඳ මුදලක් සොයා ගත හැකි බවත් කෑම බීම පවා නොමිලේ පිනට ලැබෙන බවද ඔහු පැවසුවේය.


  ඒ අනුව ඔහුත් යාචකයකු ලෙස සිය වැඩකටයුතු ආරම්භ කළ අතර මිතුරා පැවසූ පරිදි අතට හොඳ මුදලක් හා කුසට හොඳ කෑම බීම ලැබීමෙන් ඔහු සිය මිතුරාට පින් දෙමින් යාචක රැකියාව සිදු කර ගෙන ගියේය. මාස කිහිපයක් යද්දී ඔහුගේ ගමේ මිනිසුන් පුදුමයට පත්කරමින් ඔහු හොඳ නිවසක් ඉදිකළේය. ඔහු මේ ගැන ගමේ පිරිසට පැවැසුවේ තමන් පිට ප්‍රදේශයක ව්‍යාපාරයක් අරඹා ඇති බවය.


 ඔහු සිය යාචක ජීවිතය ගත කළ ගමට නුදුරින් පිහිටි නගරයක කාමරයක් කුලියට ගෙන රාත්‍රී කාලයේ මත් වතුරවලින් හොඳින් සප්පායම් වී විනෝදයෙන් සිය ජීවිතය ගත කර තිබේ. පසුදා උදයේම අවදිවන ඔහු යාචකයකු ලෙස සැරසී කකුල් පණ නැත්තකු මෙන් කිහිලි කරුවකින් සුපුරුදු නගරයට පැමිණ සිය යාචක රැකියාව කර ගෙන ගියේය. ඔහු නතරව සිටි කාමර හිමිකරුටද මොහු ගැටලු‍වක් නොවීය. ඒ වේලාවටත් කලින් කාමර කුලී ගෙවන නිසාය.


දිනක් ඔහුගේ ගමේ තරුණයෙක් මිතුරෙකු මුණගැසීමට එම නගරයට පැමිණ ඇති අතර සිඟාකමින් සිටින්නේ තමන්ගේ ගමේ සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන පුද්ගලයා බව දැනගෙන මිනිසුන් රවටා මුදල් ලබා ගන්නා ඔහුට පාඩමක් ඉගන්වීමට ඉටා ගෙන තිබේ. සිය මිතුරාට මේ ගැන පැවසු ඔහු  සෙල්ලම් බඩු කඩයකට ගොස් රබර් සර්පයකු මිලදී ගෙන යාචක පුද්ගලයා ළඟට ගොස් එය ඇඟට දැමුවේ “සර්පයෙක් යැයි” හයියෙන් කෑ ගසමිනි. 


සිය යාචක ජීවිතය අමතකව දෙවියන් පමණක් මතක් කර ගනිමින්  ඔහු එම ස්ථානයෙන් පැන ගොස් ඇත්තේ විදුලි වේගයකිනි. 


තමන් වෙතට දමා ඇත්තේ රබර් සර්පයකු බව නොදත් ඔහු සර්පයකු යැයි පැවසුවේ තමන්ගේම ගමේ තරුණයකු බව දැන ගත්තේ ගමේ නිවෙසට ගිය විටය. ඒ වන විටත් ඔහුට ගමේ විසීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබිණි. තමන් සිඟමනේ යෙදුණු නගරයටත් තම උපන් ගමටත් ආයුබෝවන් කියා තම අඹු දරුවන් රැගෙන  වෙනත් ගමකට ගියේ සුපුරුදු කම්කරු රැකියාව මතක් කරගනිමිනි.