(හසලක වාර්තාකරු)
හසලකට නුදුරු ගම්මානයක පදිංචි 47 හැවිරිදි තිදරු පියකු වූ ඔහු කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක රැකියාව කළේය. මසකට වරක් හෝ දෙවරක් සිය නිවෙසට පැමිණීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. ගමට පැමිණෙන සෑම අවස්ථාවකම තම හිතවතුන්ට සැලකීමට කොළඹින් සැර පානයක් රැගෙන ඒමටද ඔහු අමතක නොකරයි.


මෙදින තම සේවා වැඩ මුරය නිමා කර සවස බසයේ නැගී හසලක නගරයට පැමිණෙන විට රාත්‍රී 10 පමණ වී තිබිණි.


බසයෙන් බැසගත් ඔහු ත්‍රිරෝද රථයකින් නිවෙසට යෑමට හැකි වුවත් පා ගමනින්ම සිය නිවහන බලා යෑමට ඉටාගත්තේ ගමන් මල්ලේ ඇති මධු පානයෙන් බිඳක් කටට හලාගෙන සිංදුවක් කියාගෙන යෝධ ඇළ බැම්ම මාර්ගයේ යෑම රාත්‍රියේ විනෝදජනක හෙයිනි.


මෙදින පුර පෝය ගෙවී ගොස් ගත වූයේ දින දෙක තුනකි. දෙතොලට නැගි සිහින් සිංදුව ඔහු පා ගමනින් නිවෙස කරා රැගෙන යයි. යෝධ ඇළ මාර්ගයේ ගමන් ගනිමින් සිටින විට එක්වරම ඔහුගේ නෙත ගැටුණ දසුනින් සිත මඳක් සළිත විය. සිත පමණක් නොව ඔහුගේ ගමනද නතර විය. 


මීටර් 200ක පමණ ඉදිරියෙන් මාර්ගය අයිනේ යමක් එහා මෙහා ගමන් කරනවා සඳ එළියෙන් පෙනුණි. දෑස පිහදා නැවත එදෙස බැලුවේ ඇස් අදහා ගත නොහැකි විය. 


යකෝ ඒ ගෑනියෙක් නේද ඉන්නේ? ටක්කෙටම හොල්මනක්. නැත්නම් මේ මහ රෑ ගෑනියක් මහ පාරේ තනියම මොනවා කරනවද? රෑ ගමන් ගියපු කීපදෙනෙක් නම් ඔය හොල්මනට බය වුණාද? හොල්මනට බය වෙලා දෙන්නෙක් මැරුණත් එක්ක. බියකරු සිතුවිලි ගොන්නක් තුළ ඔහු සිරවිය.


‘‘හා හොඳයි මම උඹ ළඟට ආවොත්නේ අල්ලා ගන්නේ.’’ ඒකට නං නංගි උඹ හිතුවා වැඩියි. ඔයිට වැඩිය හොල්මන් මම දැකලා තියෙනවා. මම කොළඹ කොල්ලෙක්.’’ යැයි තමන්ටම කියා ගත් ඔහු ගමන් මල්ලේ තිබූ මධු පාන බෝතලය නැවතත් ගෙන උගුරු දෙක තුනක් කටට හලා ගත්තේ සිතට ගතට ගැම්මක් ගැනීමටය.


මත් වතුර පානයෙන් අනතුරුව ඒ දෙසට යන්නට සිතුවත් එයට දෙපා ඉඩ දෙන්නේ නැත. ‘‘හා කමක් නෑ උඹ ඔතනින් යනකම් මම මෙතන බිම වාඩිවෙලා ඉන්නවා. පුළුවන්නම් මම අල්ලා ගනින්’’ යැයි කියා ඔහු සිටි ස්ථානයේ බෝක්කුව අසල ගමන් මල්ල බිම තබා ඒ මත වාඩි විය. බෝක්කු බැම්මට හේත්තු විය. ඔහු නොදැනීම නින්දට වැටුණි.


ඔහුගේ ගමේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු කුලී ගමනක් ගොස් පෙරලා නිවෙස බලා රාත්‍රී 12ට පමණ එන අතරේ මාර්ගය අයිනේ බෝක්කුව අසල නිදා සිටින පුද්ගලයා දැක රථය නතර කර පරීක්ෂා කිරීමේදී පුද්ගලයා කවුදැයි හඳුනා ගත්තේය.


‘‘මාමේ මොකෝ බං මෙතන දපලා යමන් ගෙදර.’’ කියා ඔහුට කතා කර නැගිටුවා ගෙන අමාරුවෙන් රථයට ගොඩකර ගත් අතර ‘‘මාමා උඹ ඇයි මෙතන නිදා ගත්තේ? ගෙදර යන්නේ නැතිව. උඹට අසනීපයක්වත්ද?‘‘ ‘‘මම නිදා ගත්තේ නෑ බන්. ඔය ඉස්සරහා හොල්මනක් හිටියා. මම ඒ ගෑනි යනකම් මෙතන නතර වුණා. මට ඉබේටම නින්ද ගිහින් බං. බලපං ඔය මෝහිණී යක්ෂණී තව ඉන්නවද කියලා?’’


ඒ සමඟම රියදුරුගේ මුවගට ආ සිනහව නතර කර ගැනීමට නොහැකි වී ‘‘ආ ඒකද මේ’’ යැයි කියා රථයේ නංගවාගත් ඔහු රැගෙන ඔහු හොල්මන දුටු ස්ථානයට රැගෙන ගොස් රථය නතර කර ‘‘ආ මේන් මාමේ හොල්මන. මේ වයසක අම්මා දැන් දවස් ගාණක ඉඳලා මේ බස් හෝල්ට් එකේ ඉන්නේ.’’ යැයි කියා ඒ වනවිට බස් නැවතුමේ දිගා වී නින්දේ පසු වූ වයෝවෘද්ධ කාන්තාවක පෙන්වීය. ‘‘චී බං වස විලි ලැජ්ජාවක්නේ මට වුණේ. උඹ මේක කාටවත් කියන්න එපා. මට ගමේ විසුමක් වෙන්නේ නෑ.’’ ‘‘හා මම කියන්නේ නෑ. යමු යමු.’’ යැයි කියා ඔවුන් දෙදෙනා සිය ගමට ගියත් පසු දින මෙය ගම පුරා පැතිර ගොස් තිබුණේ මෙය ත්‍රිරෝද රථ රියදුරුට අනෙක් රියදුරන් විනෝදයට පත් කරන සිදුවීමක් වී තිබීම හේතුවෙනි.