බිරිඳගේ හිසේ ඇම්මට බෙහෙත් පෙති දෙකක් ගෙන ඒම සඳහා අසල නගරයට ගිය සැමියා ඔහුගේ පැරණි පෙම්වතිය සමඟ වැලන්ටයින් සැමරීමට යාම නිසා නිවස තුළ ගිනි ඇවිළී ගිය පුවතක් කන්ද උඩරටට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙම යුවළ තවමත් තරුණ වියේ පසුවන දරුවන් දෙදෙනකුගේ මව්පියන්ය. බිරිඳ සැමියාට වඩා අවුරුදු ගණනාවකින් බාල වන නමුත් ඇය නිවසේ වගකීම් ගැන වැඩි අවධානයක් යොමු කළාය. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය, පෝෂණය, සැමියාගේ කටයුතු මෙන්ම ගේ දොර වැඩකටයුතු ගැනද ඇය සැලකිලිමත් වූවාය.
පසුගිය 14 වන දින සෙනසුරාදා දිනයක් වූ නිසා සැමියා ද නිවසේ සිටි අතර ඇය ද නිවසේ එදිනෙදා වැඩ කරමින් සිටියාය. මෙසේ සිටින අතරතුර හදිසියේ ඇයට තදබල හිසේ ඇම්මක් හටගැණින. ඒ සඳහා නිවසේ තිබූ අත් බෙහෙත් ගෙන බැලුවත් අඩුවීමක් නොමැති විය. අවසානයේ ඇය මේ ගැන කාමරය තුළ සිටි සිය සැමියාට කීවාය. ‘අනේ මගේ ඔළුව පැළෙන්න වගේ කැක්කුමයි’ ඇය කෙඳිරිගෑවාය. සැමියා ද ඇයගේ ඔළුව සම්බාහනය කර බැලුවත් කැක්කුම අඩුවීමක් නොතිබිණ. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ මං ගිහින් ඕකට බෙහෙත් පෙති දෙකක් අරන් එන්නම් කියා සැමියා නිවසින් ගියේය.
බිරිඳගේ හිසේ ඇම්මට බෙහෙත් ගෙන එන්නට ගිය සැමියා සෑහෙන වේලාවක් ගියත් නිවසට පැමිණියේ නැත. නිවස ආසන්නයේ පිහිටි නගරයට ගොස් බෙහෙත් පෙති දෙකක් ගෙන එන්නට ගත වන කාලය ඉතා අඩු වෙලාවකි. නමුත් පැය ගණනක් ගතවීත් ඔහු පැමිණියේ නැත. බිරියට තවත් හිසේ ඇම්ම වැඩි වන්නට විය. තමන්ට බෙහෙත් ගෙන ඒමට ගිය සැමියාට මොකක් හෝ අනතුරක් වී ඇත්දැයි ඇය බියට පත් වූවාය. මේ වේලාවේ නිවසේ වෙනත් කිසිවකුත් නොසිටි නිස ඇයට මේ ගැන කීමටද නොහැකි විය.
මෙලෙස පැය තුනක් පමණ ගත වී යාමත් සමඟ සැමියා එක්වරම නිවසට දුව ගෙන ආවේය. ‘අනේ සොරි මගේ පරණ යාළුවෙක් හම්බ වුණා ඒකයි පරක්කු වුණේ යැයි කීය. ‘ඔයාට මගේ මේ අමාරුවට වඩා පරණ යාළුවා ලොකු වුණාද කවුද ඒ යාළුවා’ ආදි වශයෙන් ප්‍රශ්න වැළක් ඉදිරිපත් කළත් ඔහුගෙන් ඇයට ඒ සඳහා නිසි පිළිතුරක් ලැබුණේ නැත. දින කිහිපයකට පසු ඇයට මේ සියල්ල හෙළි වූයේ ඔහුගේ දුරකථනයේ තිබූ ඡායාරූපයක් දැකීමෙනි.
ඇයට යක්ෂයා ආරූඪ විය. ඇය සිය සැමියාට කෑගසමින් නිවසේ යකා නටන්නට වූවාය. ඔහු විවාහවීමට පෙර වෙනත් තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබිණ. ඒ බව බිරිය ද දැන සිටි නමුත් විවාහයෙන් පසු ඇය සම්පූර්ණයෙන් අමතක කර දැමූ බව ඔහු පැවසීම නිසා ඇය එය විශ්වාස කර ගෙන සිටියාය.
සිද්ධිය වූ දින අසල නගරයට ගිය විට ඔහුට ඔහුගේ පරණ පෙම්වතිය හමු වී තිබේ. එදින විශේෂිත දිනයක් විය. ඒ වැලන්ටයින් දිනයයි. පැරණි පෙම්වතිය සිය පරණ පෙම්වතා දුටු පමණින් ඔහුට කතා කර අද දිනයේ විශේෂත්වය මතක් කළ අතරම ඔවුන් පෙම් කරන කාලයේ වැලන්ටයින් සැමරූ ආකාරය ද සිහි පත් කළාය. සැමියාට ආ කාරණය ද අමතක වී ගියේය. ඇය සමඟ අසල තිබූ ආපනශාලාවකට ගොස් ඇයට ආහාර පාන ලබා දී වැලන්ටයින් දිනය හැකි පමණ සමරා දිගු වේලාවක් ඇය සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියේය. මෙලෙස පැය දෙකක් විතර යද්දී ඔහුට පැමිණි කාරණය හදිසියේ මතක් වී පැරණි පෙම්වතිය මඟහැර වහාම බෙහෙත් පෙති ද රැගෙන නිවසට ගොස් තිබේ. මේ බව දැන ගත් බිරිඳ ඔහු සමඟ ඇල්ලූ අඩව්ව තවමත් අවසන් වී නොමැති බවයි දැන ගන්නට ලැබෙන්නේ.
හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd