කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



මුදල් පසුපස හඹා යන නූතන මසුරු සිටානෝ කෙනකු “සිනාසීම”‍ පිළිබඳව කියා දුන් අපූරු පාඩමක් ගැන කැබිතිගොල්ලෑවේ උපන් දැනට අනුරාධපුර පදිංචි මිත්‍රයකුගෙන් දැනගැනීමට ලැබුණි. 
අප මිත්‍රයාගේ අති ජාත මිත්‍රයාද කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබීය. මොවුහු දෙදෙනාම මේ වනවිට උතුරු මැද පළාතේ වගකිවයුතු රාජ්‍ය ආයතනයක රැකියාව කරති. 
මේ සිනාසීම පිළිබඳ අපූරු පාඩමක් කියා දුන් මිත්‍රයාට මිතුරන් කොතෙක් සිටියත් ඔහු සිනාසෙන්නේ ඉන් කීප දෙනෙකු සමග පමණකි. 
රැකියාව සිදුකරන අවස්ථාවල, ප්‍රිය සාදවල, සැණකෙළිවල සහ වෙනත් ඕනෑම අවස්ථාවක ඔහු කිසිවකුට දත් පෙන්වා සිනා නොවීම විශේෂත්වයකි. 
එහෙත් ඔහු පිළිබඳව අපට පැවසූ මෙහි කතා නායක මිත්‍රයාට නම් ඔහු මුව පුරා සිනාසෙයි. 


මේ අරුම පුදුම කලාතුරකින් සිනාසෙන මිතුරා පිළිබඳව සෑහෙන කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එක දවසක් අප මිත්‍රයා ඔහුගෙන් මෙසේ විමසීය. 
“ඔයා හැමෝම එක්ක සුහදව ඉන්නවා. කතාබහ කරනවා. ඒත් කට පුරාම හිනාවෙන්නේ ඉතාම සීමිත පිරිසක් එක්කනේ. ඒකට මොකක්ද හේතුව.”‍යැයි මිත්‍රයා විමසීය. 
ඔහු එයට පිළිතුරු දුන්නේ මෙසේය. 
“උඹල තාම මේ සමාජයේ ජීවත් වෙන හැටි ඉගෙනගෙන නැහැ බං. මම හිනාවෙන්නේ හිනාවෙන එකාගෙන් මට සත විසිපහක් හරි ලාභයක් ලැබෙනවනම් විතරයි. එහෙම නැතුව මම හැම එකා එක්කම හිනාවෙන්නේ නැහැ.”‍යනුවෙන් ඇඟට පතට නොදැනී පැවසීය. 
මේ කතා බහෙන් පස්සේ අප මිත්‍ර කතා නායකයාට සියල්ල වැටහුණි. 
මේ වනවිට සිනාසීම පිළිබඳ පාඩමක් කියාදුන් මිතුරා ඔහුගෙන් අනන්ත අප්‍රමාණ මුදල් වාසි ලබාගෙන තිබුණි. එමෙන්ම ඔහු සිනාසෙන කීපදෙනා ගැනද විමසා බැලීමේදී ඔවුන්ගෙන්ද එලෙස වාසි ලබාගෙන තිබුණි. 
“අනේ අම්මාපල්ලා මෙහෙමත් යාළුවෝ”‍යැයි තමාටම කියාගත් මිතුරා ඉන් පසු කිසි දිනෙක ඔහු සමග සිනා නොවී සිටීමට වග බලා ගත්තේය.