කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය



චරිතය බේරාගැනීම සඳහා එල්ලී මැරුණු ජවනිකාවක් රඟපෑමට ගොස් ගොඩනගාගෙන තිබූ චරිතය අන්තිමටම සවුත්තු වූ පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව නගරාසන්නයේ ගමකින් දැනගන්නට ලැබුණි. 
මේ පුද්ගලයා ගම් ප්‍රදේශයේ හොඳ නමක් දිනාගෙන සිටි අයෙකි. නිතරම පුරසාරම් දෙඩුවේ තම චරිතය පිළිබඳවමය. කෙනකුගේ චරිතය ආරක්ෂා කර ගැනීම ගැන ඔහු උදම් ඇනුවේ තමා ආදර්ශයට ගනිමිනි.
මෙම ගමේ රූමත් ගුරුවරියක දිනපතා හිමිදිරියේම නෑමට පුරුදු වී සිටියේ ගමේ පොදු ළිඳකිනි. එම ළිඳ සමීපයේ අතුපතර හොඳින් විහිදී ගිය ගසක් තිබුණි. හිමිදිරිය නිසා එම ළිඳ ආසන්නයේ ගුරුවරිය හැර වෙනත් කිසිවකු නොසිටීම විශේෂත්වයකි.
එක දවසක් සුපුරුදු පරිදි ගුරුවරිය ළිඳ ළඟ සබන් ගාමින් සිටියාය. සබන් ගාන අතරතුර නිකමට මෙන් ඉබේටම ඇයගේ ඇස් හාත්පස යොමු විය. එවිට දුටු දර්ශනයෙන් ඇය මවිතයට පත් විය. ළිඳ ළඟ ගස උඩ අත්තක් මත පුද්ගලයකු ඇය දෙස බලා සිටින අයුරු ඇය දුටුවාය. මේ දර්ශනය ඉතාමත් හොඳින් ඇය නිරීක්ෂණය කළාය. එවිට ඇය එම ගස උඩ සිටි තැනැත්තා හඳුනා ගත්තාය. ඇය බිම බලා යළිත් උඩ බැලු‍වාය. ඒ අසුරු සැණින් ගස උඩ අත්තේ වාඩිවී සිටි පුද්ගලයාගේ ඉරියව්ව වෙනස් වී තිබුණි. ඔහු උඩ අත්තක එල්ලී සිටියේය.


ගුරුවරිය ඇඟේ සබන් පිටින්ම කෑ ගසාගෙන තම නිවෙසට ගොස් “ගමේ අසවලා ළිඳ ළඟ ගහේ අත්තක එල්ලිලා”‍ යනුවෙන් හතිලමින් පැවසුවාය. ඉතා කෙටි වේලාවක් තුළ ගම පුරාම මේ දුක්මුසු ආරංචිය පැතිර ගියේය. ගම්වැසියෝ එකා පිටුපස එකා දුවමින් ළිඳ ළඟට රොක් වූහ. 
“කෝ ගහේ කවුරුවත් පේන්නේ නෑනේ”‍ යනුවෙන් පවසමින් ගම්මු ගස වටේ කැරකෙමින් ගස උඩ නිරීක්ෂණය කළහ. ගුරුවරිය මිනිසා එල්ලී සිටි ගසේ අත්ත පෙන්වමින් ඇය දුටුවේ සත්‍යයක්ම බව දිවුරමින් පැවසුවාය. එහෙත් ගස උඩ කිසිවකුත් නොසිටියේය.
කෙසේ හෝ එදින එම ගසේ කිසිවකු ගමේ මිනිසුන්ට දැකගැනීමට නොලැබුණු අතර, ගුරුවරියගේ කතාව මුළු ගමම විශ්වාස කිරීමට සොබාදහම විසින් කිසියම් සලකුණක් ඉතිරි කර තිබුණි. ඒ ගුරුවරිය දුටු එල්ලී සිටියායැයි පවසන පුද්ගලයාගේ එක කකුලක සෙරෙප්පුවක් ගස මුල වැටී තිබීමය. 
මේ සිද්ධියෙන් පස්සේ ගස උඩ වෙස් මාරු රංගනය කළේ කවුරුන්දැයි මුළු ගමම දැන ගත්තේය. පසුවදා මේ සුචරිතවාදියාගේ නිවෙස ඉදිරිපිට දැවැන්ත සියඹලා ගසේ “චරිතේ හොරු අරං”‍ යනුවෙන් තඩි පොල් අකුරින් ලියන ලද බෝඩ් ලෑල්ලක් එල්ලා තිබෙනු දක්නට ලැබුණි.