කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න



වැස්ස වේලාවේ පෙම්වතිය කුඩය යටින් එක්කරගෙන ආවේ මන්දැයි පවසා අසල්වැසි නිවෙසක තරුණයකුට පහරදීමක් සිදු කර ඇතැයි කියන අපූරු පෙම්වතකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වී ඇති අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙක් කලක සිට ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කරයි. දිනක් බස් රථයේ සේවය කරමින් සිටි අවස්ථාවේ දී තරුණයා ඇගලු‍ම් ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණියක හඳුනාගෙන ඇත.
මීට දින කිහිපයකට ඉහත දිනක රාත්‍රී කොන්දොස්තර තරුණයා සිය පෙම්වතිය ඇගේ මවුපියන්ට හොර රහසේ නිවෙසට යතුරුපැදියෙන් කැන්ඳාගෙන පැමිණියේය. සිය පුතා මනාලියක් නිවෙසට කැන්ඳාගෙන පැමිණීම සම්බන්ධයෙන් මව අතිශය සතුටට පත් වූවාය. දෙදෙනාගේ විවාහය ඉදිරියේදී ලියාපදිංචි කිරීමට මව අවශ්‍ය කටයුතු ද කර තිබුණාය.
තරුණිය ටික දිනක් පෙම්වතාගේ නිවසේ කල් ගත කර සුපුරුදු පරිදි යළි ඇගලු‍ම් ආයතනයේ රැකියාවට යාමට ඒමට පටන් ගත්තාය. සවස වැඩ ඇරී ආපසු 6.30 ට පමණ නිවෙසට පැමිණෙන පෙම්වතිය රැගෙන ඒමට තරුණයා ගමේ හන්දියට යන්නේය.


ඉකුත් දිනක සවස පැවති අධික වැස්ස නිසා තරුණයා යතුරුපැදිය නිවසේ දමා විදුලි පන්දමක් කුඩයක් රැගෙන සිය පෙම්වතිය රැගෙන ඒමට ගමේ හන්දියට ගමන් කරමින් සිටියේය. විදුලි පන්දමේ එළියට ඈත සිට දෙදෙනකු කුඹුරේ නියරේ කුඩයක් යටින් එන අයුරු තරුණයා දැක්කේය.
ළඟට ගොස් බලද්දී පෙම්වතිය ගමේ තරුණයකුගේ කුඩයක් යටින් එන අයුරු දුටුවේය. එම තරුණයා සමග කොන්දොස්තර තරුණයා ගැහැනු දරුවකුගේ ප්‍රශ්නයකට කලක සිට අමනාපය. 
පසුව තරුණිය පෙම්වතාගේ කුඩය යටට ආවාය. “මගේ කෙල්ල ඇයි උඹ කුඩය යටින් එක්කරගෙන එන්නේ” යැයි පවසා තරුණයා අත තිබුණු සෙසු කුඩයෙන් කලක සිට අමනාපකමක් ඇති තරුණයාට පහර දුන්නේය.
තරුණිය කෑ ගසන්න පටන් ගත්තාය. තවත් පාරේ ගමන් කරමින් සිටි පිරිසක් පැමිණ රණ්ඩුව නතර කළහ. තරුණයා කුඹුරට ඇද වැටුණේය. කොන්දොස්තර පෙම්වතා සිය පෙම්වතිය රැගෙන නිවෙසට ගියේය. සෙසු තරුණයා ද කුඹුරෙන් ගොඩ පැමිණ මඩ ඇඳුම් පිටින් පාඩුවේ නිවෙසට ගොස් ඇති අතර “ආ මල්ලි අද කවුද කුඩේ යටින් එක්ක එන්නේ” යැයි කොයි කවුරුත් අහන නිසා මේ දිනවල ඔහුගේ ගමන් බිමන්ද නතර වී ඇත.