කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
පොළොන් දෂ්ටයෙන් බේරීම සඳහා පා ආවරණ (බූට්ස්) පැලඳ කුඹුරට යමින් සිටියදී පොළඟෙකු සිය නිවසේ මුළුතැන්ගෙට වැදී ඇතැයි ඇසීමෙන් අනතුරට පත්ව පත්තු බඳින ගොවියකු පිළිබඳ පුවතක් සියනෑවේ ගමකින් වාර්තා විය.
අදාළ ප්‍රදේශයේ කෙත්යායවල මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ දිනවල යාන්ත්‍රාණුසාරයෙන් සිදුවෙමින් පවතින අතර ඒ අනුව තමන්ගේ කුඹුරේ අස්වනු නෙළීම සඳහා සිය නිවසට නුදුරින් පිහිටි කෙත්යායට ගොයම් කපන යන්ත්‍රයක් සොයා මෙම ගොවි මහතා ගමන්කර ඇත.
ගොයම් කපන කාලයට කුඹුරුවල පොළඟුන් නිතර දකින්නට ලැබීම මෙන්ම දෂ්ට කිරීම්ද අසන්නට දකින්නට ලැබෙන බැවින් සමහර ගොවි මහතුන් බොහෝවිට මෙම කාලයට කුඹුරුවල ගමන් කරන්නේ දණහිස දක්වා වැසෙන පා ආවරණ හෙවත් ‘‘බූට්ස්‘‘ දෙකක් පැලඳගෙනය.
ඒ අනුව අදාළ ගොවි මහතාද සිය කුඹුර පිහිටි කෙත්යායට ගමන්කර ඇත්තේ යායේ කෙළවරක ‘‘‘භූතයා‘‘ යනුවෙන් හඳුන්වන යන්ත්‍රයකින් ගොයම් කපනු දැක එම යන්ත්‍රය තමන්ගේ කුඹුරේ ගොයම්ද කපා ගැනීම සඳහා ලබා ගැනීමට එහි ක්‍රියාකරුවන් සමග කතාබහ කර ගැනීම සඳහාය.
බූට්ස් පැලඳ වේගයෙන්ද ගමන් කිරීමට නොහැකි නිසා හෙමින් හෙමින් වක්කඩවල් වලින්ද පැන පැන සිය කුඹුර හරහා ඈතින් පෙනෙන ගොයම් කපන යන්ත්‍රය දෙසට ගමන් කරමින් සිටි ගොවි මහතාට සිය බිරිඳගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබී ඇත.
ඉන් කියවි ඇත්තේ නිවසේ මුළුතැන්ගේ මුල්ලක සර්පයකු සිටින බවත් ඌ ගේ ඇතුළට යාමට උත්සාහ කරන බැවින් හැකි ඉක්මනින් ආපසු නිවසට පැමිණෙන ලෙසත්ය.
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් වියහැකි යැයි එම අවස්ථාවේදී හිතට ආ සිතිවිල්ල වහාම ක්‍රියාවට නැංවූ ඔහු යන ගමන පසෙකලා වහාම නිවස දෙසට එන්නට ආපසු හැරෙනවාත් සමගම එක් පාදයක් අනෙක් පාදයේ පැටලී නියර පල්ලේ ඇදවැටීමෙන් මෙහිදී ඔහුට අනතුරක් සිදුවී ඇත. එම අවස්ථාවේ පාදවලට බූට්ස් පැලඳ සිටීම මෙම අනතුරට හේතුවී ඇත.
අනතුර පාද පෙරළීමක් බවත් ප්‍රතිකාර තෙල් බෙහෙත් තැවිලි පොට්ටනි බවත් එම අවස්ථාවේදී එතැනට පැමිණි පිරිසක් අදාළ ගොවි මහතාගේ පාදවලින් බූට්ස් ඉවත් කර පරිස්සමින් ඔහුව ගමේ වෙදගෙදරට රැගෙන ගිය පසු අනාවරණය වී ඇත.
මේ අතර මෙම අලකලංචිය කණවැකුණු ගොවි බිරියද මුළුතැන්ගෙයි සිටින සර්පයා ගැන විපරම් කිරීම පසෙකලා කඩිනමින් වෙදගෙදරට පැමිණ සැමියාගේ සුවදුක් විමසා ඇත. අනතුරුව ඔහුට වෙදගෙදරින් ලද මූලික ප්‍රතිකාරවලින් පසුව එම ස්ථානයට ත්‍රිරෝද රථයක් ගෙන්වා ඇය අසල් වැසියකුගේද සහයෙන් සැමියාව නිවසට රැගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd