පෝද්දල - සරත් ආනන්ද ගමගේ
හදිසියේ ඇති වූ ගෑස් හිඟයත් සමග ගෑස් ගැනීමට පෝලිමක සිටි පුද්ගලයකු ගෑස් ලොරිය එනතුරු පොඩියට “සප්පායම්” වෙන්න ගොස් වෙච්ච අලකලංචියක් ගැන අපූරු තොරතුරක් පසුගිය දා දකුණු පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.
හෙතෙම විශ්‍රාමික රජයේ නිලධාරියෙකි. පුත්‍රයා හා දියණිය ද වගකිවයුතු රැකියාවල නියුතු අතර හේ බිරිඳ සමග විවේකී සුවයෙන් නිවසේ විසුවේය. මේ දිනවල රටේ පවතින ගෑස් හිඟය ගැන කනවැකුණු සැණින් කලබලයට පත් ඔහුගේ බිරිඳ නිවසේ තිබෙන අතිරේක ගෑස් සිලින්ඩරය රැගෙන ගොස් වහාම අලුත් එකක් රැගෙන එන්නැයි ඔහුට නියෝග කළාය.
ඔවුන් ගෑස් මිල දී ගන්නා වෙළෙඳසලට දුරකතන ඇමතුමක් ගෙන විමසීමේදී, කොළඹින් පිටත් වී ඇති ගෑස් ලොරිය අද දින ළඟාවෙන බවත් දැනටමත් පෝලිමක් සෑදී ඇතැයි ද පැවසීය.
බිරිඳගේ උපදෙස් පරිදි වහාම ත්‍රිරෝද රථයක් ගෙන්වාගත් ඔහු හිස් සිලින්ඩරය ද පටවාගෙන ගෑස් පෝලිමට එකතු විය. ඒ වන විටත් හිස් ගෑස් සිලින්ඩර විස්සක් තිහක් පෙළගස්වා තිබූ අතර ඔහු ද සාක්කුවේ තිබුණු පරණ ලේන්සුව ගෑස් සිලින්ඩර හැඬලයේ ගැටගසා සලකුණක් ද තබා ඔහුගේ සිලින්ඩරය ද පෝලිමට තැබීය.
එතැන සිදුවන කතාබහ අනුව තව පැය දෙක තුනකටවත් ගෑස් ලොරිය එතැයි විශ්වාස කළ නොහැකි විය. නිකරුණේ කාලය ගෙවන්නේ කෙසේදැයි හෙතෙම කල්පනා කරමින් සිටින විටදී පෝලිමේ සිටින අතිජාත මිත්‍රයකු මුණගැසුණේය. ලොරිය එනතුරු අපි පොඩි “අඩියක්” ගසමුයැයි මිතුරා අපූරු යෝජනාවක් ගෙනාවේය.
දැන් දෙන්නා බසයක එල්ලී ආසන්න නගරයට ගියහ. වැඩි කාලයක් නොගෙන හීනියට “සප්පායම්” වූ ඔවුහු දෙදෙනා ආපසු පැමිණියෝය. ඔවුන් එනවිට ලොරිය පැමිණ ගෑස් බෙදමින් තිබුණි. එවිට මිතුරා මට නම් අවුලක් නෑ, මං යාළුවකුට සල්ලිත් දීල ගියේ. ඌ බඩු අරගෙන ඇතැයි” පවසා ඔහුගේ යහළුවා සොයා ගියේය. හිස ගිනිගත් අපේ කතා නායකයා තමාගේ සිලින්ඩරය කොහේදැයි සෑම තැනකම සොයා බැලුවද ඔහුගේ කරුමයට එය සොයා ගැනීමට නොහැකි විය.
කරකියා ගත හැකි දෙයක් නොමැතිව ගහපු “අඩියද” වාෂ්ප වී පියවි සිහියට පත්ව සන්තාපව සිටි ඔහු තමාට වූ අකරතැබ්බය හැඬුම් ස්වරයෙන් වෙළෙඳසල් හිමියාට කියා සිටියේය.
ඔහු ගැන අනුකම්පා කළ කඩහිමියා ආරක්ෂිත කැමරා පරීක්ෂා කළ අතර එහිදී රතු පැහැති ත්‍රිරෝද රථයකට ලේන්සුව බැඳ ඇති ගෑස් ටැංකිය පටවන ආකාරය එහි නිරූපණය වී ඇත.
පසුව ඔහු පොලිසිය වෙත ගොස් එහි නිලධාරීන්ගේ ද දැඩි දෝෂාරෝපණයට ලක්වෙමින් සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ද සටහන් කර ඇත. එහිදී පොලිසිය පවසා ඇත්තේ එම ත්‍රිරෝද රථය මෙම ප්‍රදේශයට අයත් එකක් නොවන බවය.
සිද්ධිය එසේ අවසන් වුවද මගතොටේ හමුවන්නෝ “ගෑස් සිලින්ඩරය” ගැන විමසන්නට වීම නිසා ඔහු ස්වයං වාරණයක් පනවාගෙන දැන් නිවාස අඩස්සියට පත් වී ඇතැයි දැනගන්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd