කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත



සුදු නෝනගේ සුන්දරත්වය නරඹන්න ගොස් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් වූ අයකු පිළිබඳ කතාවක් බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
හේ රැකියාව ලෙස කළේ සුන්දර මාදු නදියේ දෙස් විදෙස් සංචාරකයන් මෝටර් බෝට්ටුවලින් ප්‍රවාහනය කිරීමයි. ඒ දීමනාවක් මතය. එක් ගමන් වාරයකට නියමිතවූ දීමනාවකටය. කාලයක් තිස්සේ සිටම ඔහු මේ කාර්යයේ නිරතව සිටියේය.


එදා ඔහු මෝටර් බෝට්ටුවෙන් රැගෙන ගියේ විදෙස් රටක සුදු නෝනලා පිරිසක්ය. ඒ අතර වියතක් පමණ උස කොට කලිසමකින් සැරසී සිටි අයෙකි.
ඔහු මේ සුදු නෝනලා පිරිස රැගෙන යාමට මෝටර් බෝට්ටුවට නග්ගගත් වෙලාවේ පටන්ම ඔහුගේ දෑස තිබුණේ මේ සුදු නෝන දෙසටය. 
මෙයින් නොසෑහුණු ඔහු මෝටර් බෝට්ටුව පදවන ගමන්ම බෝට්ටු කෙළවරේ සිටම මේ සුදු නෝනාට හා අනෙක් අයට නොදැනෙන්න ඇය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමටද හේ පෙළඹුණේය. ඔහුට එය වැඩි වේලාවක් කිරීමට සිදු නොවීය. හදිසියේ ආ ලොකු රළකට බෝට්ටුව සෙලවී ගොස් ඔහු වීඩියෝ කරමින් සිටි ජංගම දුරකතනය මාදු ගං පතුල සිප ගත්තේ ඔහු අනේ අපොයි කියද්දීය.  
කරන්න කියන්න කිසිදෙයක් ඔහුට ඉතිරි නොවීය. ඒ වනවිටත් ඔහුගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා නවීන පන්නයේ ජංගම දුරකතනය වැටුණු ස්ථානයේ සිට මෝටර් බෝට්ටුව අඩි ගාණක් ඉදිරියට ගොසිනි. තමාට වූ මේ අලකලංචිය ඔහු හිතවත් තවත් සංචාරක ව්‍යාපාරයේ නියුතු බෝට්ටු ධාවකයකුට කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් කටක් නොහෙල්ලන ලෙස ඉල්ලමිනි.