නිවසේ ජීවත් වූයේ සැමියා සහ බිරිඳත්, ඇයගේ සුරතල් පූසන් දෙදෙනාත් පමණි. බිරිඳගේ ඇඳේ නිදාගැනීම පූසන්ගේ සිරිතය. පූසන් සතෙක් දඩයම් කළොත්  උන්ගේ කටින් දඩයම උදුරාගෙන නිදහස් කිරීම ඇයගේ සිරිතය. 


මස් මාළු යහමින් ලැබෙන නිසා පූසෝ දෙදෙනා කිසිම දඩයමක් නොකර ඇය අසලට වී කාලය ගත කළහ. පූසන්ගෙන් කරදරයක් නොවූ නිසා නිවසේ මීයෝ රජ කරන්නට වූහ.


දිනක් කුස්සියට ගිය සැමියාට, මේසය මත මීයෙකු දිවයනු දැක, කේන්තිය ඉහවහා ගියේය.‘‘බලන්නකෝ ඔයාගේ හුරතල්කම හින්දා පූසෝ මීයන් අල්ලන්නේ නැහැ. මීයෝ කුස්සියේ බල්ටි ගහනවා’’ඔහු කෝපයෙන් පැවසීය.


‘‘පූසන්ට සත්තු අල්ලන්න දෙන්න හොඳ නැහැ.’’ ඇය සිනාසෙමින් කීවාය.


නගරයට ගිය සැමියා නිවසට පැමිණියේ මී කතුරක්ද රැගෙනය. රාත්‍රියේ පොල් කෑල්ලක් පිළිස්සූ ඔහු එය මී කතුරට  සවිකර කුස්සියේ  ඇටවූයේය. කාමරයට පැමිණි ඔහු නිදන්නට විය. තද පිපාසයක් ඇතිවී මැදියම් රැයේ අවදිවූ හෙතෙම වතුර බීමට කුස්සියට ගියේය. නිදිමතේ ඔහු පය තැබුවේ මී කතුරටය.


‘‘අම්මෝ’’ යි ඔහු මරහඬ දුන්නේය.‘‘අැයි මොකද’’ කියමින් බිරිඳ හනික කුස්සියට පැමිණියාය. බළලුන් දෙදෙනා ඇය පසු පසය.

සැමියාගේ පාදයේ ඇඟිලි මී කතුරේ තදින් හිරවී ලේ ගලමින් තිබිණි. මීකතුරත් සමඟම ඔහුට රෝහලට යෑමට සිදුවිය.


අනුරාධපුරය ක්‍රිස්ටෝපර් සීපියන්