පෝද්දල සරත් ආනන්ද ගමගේ
මෙවර මැයි දිනයට සහභාගි වීමට අගනුවර බලාගිය පුද්ගලයකුට පෙළපාළියේදී සටන්පාඨ කියන්නට ගොස් දත් කුට්ටම අහිමි වී රුපියල් දොළොස් දාහක පමණ පාඩුවක්ද සිදුවී සමාජයට මුහුණ දීගත නොහැකි මහත් අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා වාර්තා විය.
හෙතෙම දැනුම් තේරුම් ඇතිදා පටන් කම්කරු දිනේට කොළඹ ගිය පුද්ගලයෙකි. තමන් කත් අදින පක්ෂය මෙවර පෙළපාළි නොයන නිසා හෙතෙම හිටියේ විස්සෝපයෙනි. ඒත් ඔහුගේ වාසනාවට දෙකට කැඩෙන්නට කලින් එකට හිටි පක්ෂයේ බස් රථයෙන් ඔහුට කොළඹ යන්න මග පෑදුණේ ය. එතන ඉන්නෙත් තම පරණ ගැන්සිය නිසා අවුලක් තිබුණේද නැත. වෙනදා වගේ බෝතල් කට තියාගෙන හිස් කරන්න නොලැබුණත්, සද්දෙ දමා කෑගහන්න පුළුවන් ප්‍රමාණයට මත් වතුරද ඔහුට ලැබී තිබුණි.
දැන් ඔහු කොළඹ ප්‍රධාන මාර්ගයක පෙළපාළියේය. සටන් පාඨ කියමින් ඔහුත් හරි හරියට හඬ අවදි කළේය. ඔහුගේ සද්දය අන් අයගේ හඬට වඩා උද්වේගකර නිසා පෙළපාළියේ එම කොටසේ මුල්තැන නිතැතින්ම ඔහුට ලැබී තිබුණි. සටන් පාඨයේ මුල් පෙළ ඔහු තනියම කියද්දී අනෙක් සියලු පිරිස දෙවැනි කොටස කියමින් ගමන ගියහ.
මෙසේ යද්දී එක වරම යම් දෙයක් ඔහුගේ ෂර්ට් එකේ බඩ හරියේ වැදී ‘‘ටක්” ගා හඬ නගමින් පාරට වැටුණේය. වැටුණේ කුමක්දැයි බලන සැණින් එය තමාගේ කෘත්‍රිම දත්දෙක බව හඳුනා ගෙන එය අහුලාගන්න පහත් වෙන්නත් කලින්ම පිටුපසින් පැමිණි එකෙකුගේ කකුලට පෑගී එය ‘‘කටස්” ගා කැඩී ගියේය. කැඩුණු දත් දෙක අහුලාගෙන පලක් නැති නිසා ඔහු එය අමතක කර පෙළපාළියේ ඉදිරියට ගියේය. ඒ සමගම ඔහුගේ උද්වේගකර හඬද නිවී ගියේය. එතැන් සිට කට තදකරගෙන මහත් විස්සෝපයෙන් හෙතෙම රැලිය පැවැති පිට්ටනිය දක්වා නිහඬවම ගමන් කළේය.
පිරිස නැවත නිවෙස් බලා එන අතරේදී කටේ ඉදිරිපස දත්දෙක නැති නිසා අන් අයත් සමග ඔහු වැඩි කතාබහට නොගියේය. ඒත් මත්වතුර බෝතල් එළියට එද්දී ඔහුට දත්දෙක අමතක විය. ඒත් එක්කම ඔහුගේ දතේ අඩුවද එතනදී එළියට පැන්නේය. ඉන්පසු බසයේ ගිය උන්ට මොහුගේ දතේ අඩුව බයිට් එකක් විය. බසේ උන්ට දතේ අඩුව රසයක්ම විය.
බසයේ බයිට් එකෙන් ගැලවී ගෙදර ගියද නට් ගැලවෙන්න වූණේ බිරිඳට මාට්ටු වී ෂොට් එක වැදුණු වෙලේය. ඇය කියන කඩප්පුලි කතා ඇසෙන විට දත්දෙක නොව කන් දෙක වැටුණා නම් මීට වඩා හොඳ යැයි ඔහුට සිතුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd