කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
රූමත් ලලනාවක සමග ඉතා සූක්ෂම ලෙස අදහස් හුවමාරු කර ගනිමින් සිටි තරුණයකුට බස් රථයක් තුළ ඔහු දරුවන් සිටින පියකු බව ඒත්තු ගැන්වූ අපූරු පුවතක් ශ්‍රී පුර සිට අනුරාධපුර දක්වා දිවෙන බස් රථයක් තුළදී දැනගන්නට ලැබුණි.
එම කතාව මෙසේය.
මෙම තරුණයා එක්දරු පියෙකි. ඔහු ආරක්ෂක අංශයේ රැකියාව කරන අයෙකි. ඔහුගේ බිරිඳ මෙම සැමියා පිළිබඳව නොසතුටින් සිටි අයෙකි. ඒ මන්ද යත්, ඔහු වනාහි ”ගෑනු ඇඹලයකු”නිසාත්, ඔහුගේ නොහික්මුණු මනමාලකම් එකක් දෙකක් නොව අතේ ඇඟිලි ගානටත් වැඩි ප්‍රමාණයක් ඇයට අතේ මාට්ටු වී ඇති නිසාය.
මෙන්න මේ කියන දවසේ මේ අඹු සැමි දෙදෙනා තම එකම පුංචි දරුවාත් සමග අනුරාධපුරයට යෑමට බස් රථයකට නැග ගත් අතර, බස් රථයේ සීට් වල ඉඩ තිබු පරිදි, සැමියා ඉදිරි අසුනක වාඩි වූ අතර, බිරිඳ බස් රථයේ පිටුපස අසුනක දරුවා සමඟ ඉඳගත්තාය.
සැමියා ඉඳගෙන සිටි අසුනේ කෙළවර සිටියේ ලාබාල වයසක් පෙන්නුම් කරන ඉතා රූමත් තැනැත්තියකි. එහෙත් ඇය ”දඟමල්ලක්” බව ඇයගේ හැසිරීම් රටාවෙන් බොහෝ දෙනකුට පෙනී තිබුණි.
බස් රථය ඉදිරියට ඇදෙමින් තිබුණි. බිරිඳ නිදිකිරා වැටෙමින් සිට එක්වරම අවදි වී බස් රථයේ ඉදිරියට දෑස් යොමා සිටියාය. ඇය දුටු දර්ශනයෙන් ඇය තරමක් තිගැස්සුනි. එනම්, තම සැමියා සමග එකම අසුනේ අසුන්ගෙන සිටි තරුණිය සැමියා දෙසට ඉතාම සමීපව මුහුණ ඇලකරමින් කතාබහක නිරත වී සිටින අයුරු බිරිඳ දුටුවාය. එහෙත් සැමියා තමාගේ හිස කිසි චලනයක් නොකර කෙළින්ම තබාගෙන ඉදිරිය බලාගෙන සිටීමෙන් බිරිඳ මහත් කුතුහලයකට පත්වූවාය.
”එතකොට අර කෙල්ල කතා කරන්නේ කවුරු එක්කද” යන ප්‍රශ්නයෙන් බිරිඳ මොහොතක් විමසිල්ලෙන් බලා සිටියාය.
ගෑනු ඇඹලයාගේ පැටිකිරිය එළියට පැන්නේය. ඔහු තම බිරිඳ පිටුපස සිටින බව දැනගෙන ඉතා සූක්ෂම ලෙස තම ඔළුව එහෙ මෙහෙ හරවන්නේ නැතුව රූමත් ලලනාවට ”ටෝක්” කරන බව බිරිඳ සැක හැර දැන ගත්තාය.
ඇයට යක්ෂයා ආරූඪ විය. වේගයෙන් පැද්දෙමින් ඇළවෙමින් යන බස් රථයේ තම දරුවා වඩාගෙන සැමියා සිටි අසුන කරා පැමිණියාය.
”මෙන්න ඔහේගේ දරුවා බෙරිහන් දෙනවා තාත්තා ළඟට යන්න ඕන කියලා. කොල්ලෙක් වාගේ හිටියට දරුවෙක් ඉන්න අප්පෙක් කියලා ගානක්වත් නෑ. ඕං තියාගන්නවා.”යැයි කියමින් දරුවා සැමියාගේ ඔඩොක්කුව මත තැබුවාය.
බස් රථයේ සිටි බොහෝ දෙනෙකු මේ සිදුවීම දුටු අතර, අසුනේ කෙළවරේ වාඩිවී සිටි ලලනාව නැගී සිට,”අක්කේ ඔයා මෙතනින් වාඩිවෙන්න,”යැයි පවසා ඇය බසයේ පිටුපසටම ඇදී ගියාය.
එදින හවස් වෙද්දි මේ සිදුවීම ගමටම සැලවී තිබුණි. දැන් මේ තරුණයා දකින ගමේ උදවිය”අන්න දරුවෙක් ඉන්න අප්පෙක්”යැයි පවසනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd