කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
කිව්.ආර්. කේතයෙන් යතුරුපැදියට ලබාගත් සීමිත ඉන්ධන ප්‍රමාණය සතියක් පරෙස්සම් කරන්නට ගොස් අසීමිතව තිබූ නෑ සහෝදරකම පලු‍දු වූ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.


 මේ කාන්තාව සියලු‍ම කාර්යයන් කර ගත්තේ යතුරුපැදියෙනි. කිව්.ආර්. කේතයට සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මදිවේ යයි සිතූ ඇය එය පරෙස්සම් කරන්නට උපරිම මහන්සියක් ගත්තාය. ඒ නිසාම සිය යතුරුපැදියේ ඉන්ධන සොරකම් කරාවි යන්න පිළිබඳව ඇය හොඳ සෝදිසියෙන් සිටියාය.


නගරයට යන්නේ අවශ්‍යතාවයකටය. මාර්ගයේ යතුරුපැදිය නොදා ගිය ඇය කිට්ටු නෑයකුගේ නිවෙසේ එය දමා යාමට සිතා ගත්තාය. ඒ අනුව ඇය එහි නිවෙසට යතුරුපැදිය ගෙන ගියාය. එහි සිටියේ නිවැසි පුතාය. ‘‘ආ ආන්ටි මොකද මේ තකහනියක්ම’’ ඔහු ඇසුවේය. ‘‘මම මේ බයිසිකලේ දාල යන්න බැලු‍වේ  කිව්.ආර්. එකට ගත්ත තෙල් ටික හොරකම් කළොත් ඉතිං සතියක්ම හබක්නේ පුතා’’ යයි ඇය කීවිට ‘‘ඒකත් ඇත්තනේ’’ යයි නිවැසි පුතා කීවේය.


  ‘‘ආන්ටි බයිසිකලය මිදුලේ දාන්න එපා ගේ පස්සා පැත්තෙම දාමු’’ යයි කී පුතා ඒ සඳහා ඇයට උදව් කළේය. ඒ ආසන්නයේම වෙළෙඳ සලකට ගිය ඇයට හදිසි අවශ්‍යතාවයකට දුරකතන ඇමතුමක් ගන්න සොයා බලනවිට සිය ජංගම දුරකතනය යතුරුපැදියේ කැබිනයේ බව සිහියට ආවාය. යතුරුපැදිය ආසන්නයේම තිබූ බැවින් ජංගම දුරකතනය රැගෙන ඒමට ගිය ඇයට නිවැසි නෑදෑ පුතා සිය යතුරුපැදියෙන් තෙල් අදිනවා දුටුවිට දෙවියන් සිහිවූවාය.


‘‘මොකද පුතා ඔය කරන්නේ’’ යයි කෑගසමින් ගිය ඇයට ඔහු කීවේ ‘‘අනේ ආන්ටි මගේ බසිසිකලේ තෙල් නැතිව නැවැතිලා, තෙල් ඇබින්දක් ගන්නයි මේ හැදුවේ’’ යයි ලෙසය. ඒ වන විටත් ඔහු තෙල් බෝතල් භාගයක් ඇද තිබෙනු දක්නට ලැබූ ඇය, යතුරුපැදිය එතැනින් රැගෙන ‘‘ආයේ ඉතිං අපේ නෑකම් අදින් ඉවරයි’’ කියමින් පුපුර පුපුරා ගියේලු.