පෝද්දල සරත් ආනන්ද ගමගේ
අසල්වැසි නිවසක පදිංචි වැන්දඹු කාන්තාවක ලැගුම්හලක සිට පිටවෙනු දකින එම ප්‍රදේශයේම තවත් කාන්තාවක විසින් තමා දුටු සිද්ධිය ගමේ පැතිරවීමට ගොස් මහත් අකරතැබ්බයකට මුහුණදී ඇති පුවතක් ගැන ගාලු දිසාවේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
සිද්ධිය දැක ඇත්තේ පාසල් යන වැඩිමල් දරු දෙදෙනකුද සිටින විවාහක කාන්තාවකි. ඇගේ සැමියා දුරබැහැර ප්‍රදේශයක රැකියාවක නියුතු අතර, ගෙදර එන්නේ මසකට වරක් හෝ දෙවරකි. මැගේ ගමන බිමන ‘‘ස්කූටි” වර්ගයේ යතුරු පැදියකිනි. පසුගිය දිනක එම යතුරු පැදියෙන් ඇදවැටී සිදුවූ සුළු සුළු තුවාලවලට කැඩුම් බිඳුම් වෙදෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තේය. ශරීරයේ තැලුම් තුවාල ඉක්මනින් සනීප කරගන්න නම් ‘‘ගොනිකා” කොළ කැඳ බොන ලෙස වෙද මහතා උපදෙස් දුන්නේය. උපදෙස් අනුව ගොනිකා කොළ සොයා ගැනීමට ඈ ඉටා ගත්තාය.
එම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයෙන් හැරීයන අතුරු මාර්ගයක පිහිටි නිවසක ‘‘ගොනිකා” වැල් තිබෙන නිවසක් ගැන ඇයට තොරතුරක් ලැබුණේය. පසුගිය දිනක ඇය එම නිවස සොයාගෙන ගියාය. ගොනිකා වැල් තිබුණු නිවසට යාබදව පිහිටා ඇත්තේ ලැගුම් හලකි. නිවැසි කාන්තාව හා කතාබස් කරමින් ලැගුම්හල් භූමිය දෙසද තාප්පයෙන් එබී බලමින් ඇය ගොනිකා කොළ කඩාගත්තාය. ඈ එම නිවසින් පිටවන අවස්ථාවේම ලැගුම් හල දෙසින් ස්කූටි යතුරු පැදියක් පිටතට පැමිණියේය. එහි සිටියේ ඇගේ අසල්වැසියකු වන වැන්දඹු කාන්තාවකි. ඈ හඳුනාගෙන
‘‘හා...” කියා කතාකරන විටම එම කාන්තාව ‘‘හරි හරී” කියාගෙන යතුරු පැදියේ වේගය වැඩිකර එම ස්ථානයෙන් පිටවී ගියාය.
මේ සිද්ධිය දුටු කාන්තාවට කැඳ හැදිල්ලත් අමතක විය. තමා දුටු සිද්ධිය තව කෙනකු හා පවසන තෙක් ඉස්පාසුවක් නැතිවිය. වහාම ගමට ගිය ඇය තමාගේ මිතුරියන් කීපදෙනකුටම සිද්ධිය කීවාය. පසුදා වනවිට ආරංචිය ලැව් ගින්නක්වී ගමපුරා පැතිරී ගියේය. සිද්ධිය ඇසූවෝ කුණුමාලු රස බැලූ සුනඛයින් සේ තලුමරමින් රසවින්දෝය. පැතිරී යන ආරංචිය පිළිබඳ විමසීමට එම ගමේ පදිංචි ඇගේ මිතුරියන් දෙදෙනෙක් ඇය හමුවූහ. එහිදී ඇය පවසා ඇත්තේ වැන්දඹු කාන්තාවක වන තමා මනුස්සයකු සමග ලැගුම් හලකට ගිය බවත්, සිද්ධිය පැතිරූ කාන්තාවද එහි සිටියදී තමාට හමුවූ බවත්‍්ය. මෙය ඇසූ එම කාන්තාවෝ දෙදෙනා එම කතාවද පතුරුවා හැරියෝය.
කලින් සිද්ධියටත් වඩා වේගයෙන් මේ සිද්ධියද පැතිරී ගියේය. කුණු කතා තටු ලබනවා යැයි කියන්නා සේ සිද්ධිය කොතෙක් දුර පැතිරී යන්නට ඇත්දැයි පැහැදිලි වූයේ ඇගේ දුරබැහැර රැකියාවේ යෙදී සිටි සැමියාද නිවසට පැමිණ සිටිනු දකින්නට ලැබීමෙනි. ඉන්පසු නිවසේ අඬ දබරද ඇතිවී ඇතැයි අසල්වැසියෝ කියති. තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ජීවත් නොවී අනුන්ගේ කුණු සොයන අයට මේ සිද්ධිය හොඳ පාඩමකැයි සිද්ධිය ඇසූවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd