- එම හැකියාව සම්පූර්ණ වුණොත් අපනයන ආදායම සියයට 47 කින් වර්ධනය කරගැනීමේ අවස්ථාවක්
- ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමග මීට වඩා වැඩි අපනයන විභවයක්
- ඉන්දියාව සමගින් පවතින සියයට 7ක අපනයනය සියයට 91ක් බවට පත් කරගැනීමේ හැකියාවක්
- ඉන්දියාව සතු වේගවත් වර්ධනය වන වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට අවස්ථා රැසක් උදාකරදෙන බව පවසයි
- සීමිත අපනයන විවිධාංගීකරණය නිසා ශ්‍රී ලංකාව බාහිර කම්පන වෙත වැඩි වශයෙන් නිරාවරණය වෙලා
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව සතුව මෙතෙක් ප්‍රයෝජනයට නොගත් එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක අපනයන හැකියාවක් පවතින බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසයි. විශේෂයෙන්ම ඉන්දියාවත් සමගින් සිදු කළ හැකි ඩොලර් මිලියන 808ක් වටිනා අපනයන අවස්ථා සමගින් මෙම හැකියාව ළඟා කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා එළිදැක්වූ Unlocking Sri Lanka‘’s Trade with India නම් වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙන්ම එක්සත් ජනපදය, චීනය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ඇතුළු කලාප සහ රාජ්‍ය සමගින් පවතින අපනයන වටිනාකම පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් මෙම වාර්තාව සකස් කර තිබේ.
“මෙම අධ්‍යයනය මගින් හඳුනාගත් ආකාරයට ශ්‍රී ලංකාව මෙම ප්‍රයෝජනයට නොගත් හැකියාව සම්පූර්ණ කරගැනීමට සමත් වුණොත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සියයට 47කින් වර්ධනය කරගැනීමේ අවස්ථාවක් පවතිනවා’’ ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
මෙහිදී ආසියානු කලාපය තුළ ඉන්දියාවට අමතරව චීනය, යුරෝපයේ ඉතාලිය සහ ජර්මනිය, ඇමෙරිකානු කලාපයේ එක්සත් ජනපදය යනාදී අපනයන ගමනාන්ත තුළ දැනට වඩා වැඩි අපනයන හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම අපනයන අංශ අනුව බැලූ විට ඇඟලුම් (ඩොලර් බිලියන 1.9ක) ඇතුළුව තේ සහ කුලුබඩු සහ ඇටවර්ග යනාදිය සඳහා මූලික අවස්ථා පවතින බව එහි සඳහන් වෙයි.
“මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය මගින් ලොව ආර්ථිකයන් 226ක සහ නිෂ්පාදන 4,490 ක් සඳහා ලබා දී තිබෙන අපනයන හැකියා ඇස්තමේන්තුව අනුවයි. මෙම ඇස්තමේන්තුව සැබෑ අපනයන ගලා ඒම් සහ ප්‍රයෝජනයට නොගත් අපනයන හැකියාව අතර සංසන්දනයක්.’’
මේ අතරින් ඉන්දියාවත් සමගින් තවදුරටත් කටයුතු කිරීම හරහා සිය අපනයන තවදුරටත් විවිධාංගීකරණය සහ වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව වාර්තාව පෙන්වා දෙයි. “2024 වසර වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළයි (සමස්ත අපනයනයෙන් සියයට 7ක්), ඒ වගේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ආනයන මූලයයි (සමස්ත ආනයනයෙන් සියයට 20ක්). එහෙත් ඉන්දියාවත් සමගින් සිදු කරන අපනයනය සියයට 91ක් දක්වා වර්ධනය කරගැනීමටත්, අපනයනය සියයට 18ක් දක්වා අඩු කරගැනීමටත් ශ්‍රී ලංකාවට හැකියාවක් පවතිනවා’’ ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
එහිදී ඉන්දියාව සතු වේගවත් වර්ධනය වන වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට අවස්ථා රැසක් උදාකරදෙන බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අසල්වැසි සාමාජිකයා ලෙස එරට ආර්ථික වර්ධනය වෙත ලබා දෙන දායකත්වය මෙම අවස්ථාවන් නිර්මාණය කරයි. “ඉන්දියාව ගෝලීය අගය දාමය තුළ සිය භූමිකාව තවදුරටත් වර්ධනය කරගැනීමත් සමගින්ම ශ්‍රී ලංකාවට තවත් අවස්ථා රැසක් නිර්මාණය කර දෙනවා.’’
ඒ අනුව මෙම හැකියාව වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දැනට සිදු කරන අපනයන අංශ තවදුරටත් වර්ධනය කරගැනීම මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමට (ISFTA) සීමාකිරීම් ඉවත් කිරීමත් වැදගත් බවත් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.
එසේම අපනයන වර්ධනය කරගැනීම රටෙහි ඵලදායිතාව ඉහළ නැංවීමට මෙන්ම ඉහළ වැටුප් ලබන රැකියා බිහිවීමටද හේතුවක් වනු ඇතැයි ADB වැඩිදුරටත් පෙන්වා දෙයි. “අපනයනකරුවන් ගෝලීය ප්‍රමිති ආරක්ෂා කරගැනීට සහ ඉහළ පුහුණුවලත් සේවකයන් ආකර්ෂණයට නවින තාක්ෂණය සහ වැඩි වැටුප් ලබාදීමක් සිදු කරනවා. ඇඟලුම් අංශය තුළ මේ තත්වය හොඳින් දැකගත හැකියි. ඒ වගේම ඉහළ වැටුප් ලබා දෙන IT සහ BPO අංශවල තරුණ උපාධිධාරීන්ගෙන් සියයට 46ක්ම කාන්තාවන්.’’
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තවදුරටත් සීමිත අපනයන විවිධාංගීකරණයක පැවතීම හේතුවෙන් බාහිර කම්පන වෙත වැඩි වශයෙන් නිරාවරණය වී තිබෙන බවත් මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
“පසුගිය දශකයේදී රෙදිපිළි සහ ඇගලුම්, තේ සහ රබර් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් තුනෙන් දෙකක් පමණ වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපනයනයෙන් සියයට 56ක්ම යැවෙන්නේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියටයි. මෙය බාහිර කම්පන වෙත නිරාවරණය වීම වැඩි කරවන්නක්.’’
විශේෂයෙන්ම 2020 දී මෙය දැකගත හැකි වූ බව පවසන මෙම වාර්තාව, 2019 කොරෝනා වසංගතය හේතුවෙන් ඇඟලුම් නිෂ්පාදන සඳහා පැවැති ඉල්ලුම කඩා වැටීමත් සමගින්ම ශ්‍රී ලංකාවේ අපනයන සියයට 16කින් කඩා වැටුණු නමුත්, එම කාලසීමාවේදී ආසියාවේ පිහිටි අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන අඩු වුණේ සියයට 2කින් පමණක් බවත් ඔවුන් මෙහිදී මතක් කර දෙයි.
“ශ්‍රී ලංකාව 2028 වසරේ සිට ණය ආපසු ගෙවීම් වේගවත් කිරීමත් සමගින්ම ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම වළක්වා ගැනීම සඳහා අපනයන ආදායම ශක්තිමත් කිරීම අතිශය වැදගත් වෙනවා. මේ විදෙස් ණය ආපසු ගෙවන්න මහා භාණ්ඩාගාරයට විදේශ මුදල් මිලදී ගැනීමට සිදුවීම රුපියල මත පීඩනයක් එල්ල කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් රුපියල ස්ථාවරව පවත්වාගෙන යාමට විදේශ සංචිතය යොදා ගනීවි. ඒ හරහා ආනයනය සඳහා පවතින මුදල් ප්‍රමාණය අඩු වෙනවා.’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd