• මාර්තුවේදී ඩොලර් මිලියන 814.8ක විදේශ මුදල් ප්‍රේෂණ ගලා ඒමක් 

මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වන මුල් මාස තුනේදී විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මෙරටට ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් 2,294.9ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී ලැබුණු ඩොලර් මිලියන 1,814.4ක් වටිනා විදේශ මුදල් ප්‍රේෂණ හා සැසඳීමේදී සියයට 26.5 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.  

මේ අතර මාර්තු මාසයේදී ගලා ආ මෙම ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 814.8ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 මාර්තු මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 693.3 ක වටිනාකම හා සැසඳීමේදී සියයට 17.52 ක වර්ධනයකි. 

වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පිළිවෙළින් ඩොලර් මිලියන 751.1 ක සහ ඩොලර් මිලියන 729ක ප්‍රේෂණ මුදල් ගලා ඒම් වාර්තා විය. ඒ අනුව පිට පිට තුන්වැනි මාසයටත් ප්‍රේෂණ මුදල් ගලා ඒම් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම පෙබරවාරි මාසය අගදී ආරම්භ වූ මැද පෙරදිග යුද ගැටුම් මැද මෙම ප්‍රේෂණ ගලා ඒමත් විශේෂත්වයකි. 

දත්ත වාර්තා අනුව 2025 වසරේදී වාර්තාගත ඩොලර් මිලියන 8,076.2 ක ප්‍රේෂණ මුදල් ගලා ඒමක් සටහන් වූ අතර, එය 2024 වසරේ හිමි වූ ඩොලර් මිලියන 6,575.4 හා සැසඳීමේදී සියයට 22.8 ක ඉහළ යාමකි. කෙසේ වෙතත් එම මුදල් අතර දිට්වා සුළි කුණාටුව සඳහා ලැබුණු විදේශ ආධාරද ඇතුළත් බව මහ බැංකුව සඳහන් කර තිබුණි.