• අප්‍රේල් මාසයේ මුල් දින 15ට සංචාරක පැමිණීම් සියයට 26.5 කින් පහළට 
  • මුල් මාස තුනේ සංචාරක ආදායම් සියයට 15 කින් පහළට 

වසරේ මේ දක්වා මෙරට වෙත පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 809,595ක් ලෙස  සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ සටහන්ව තිබේ.  

අප්‍රේල් මාසයේ මුල් දින 15 තුළ මෙරටට පැමිණි සංචාරකයන් 68,961 ක සංඛ්‍යාවත් සමගින් මෙම කඩඉම පසු කර තිබේ. කෙසේ වෙතත් 2025 වසරේ අප්‍රේල් මාසයේ මුල් දින 15 පැමිණි සංචාරකයන් 93,915 හා සැසඳීමේදී මෙය සියයට 26.5ක අඩුවීමකි. 

මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී පිළිවෙළින් සංචාරකයන් 277,327ක්, 279,328ක් සහ 183,979 ක් මෙරටට පැමිණ තිබේ. ඒ අතරින් ජනවාරි සහ පෙබරවාරි මාස දෙක පෙර වසරේ එම මාසවලට සාපේක්ෂව සියයට 9.7 ක සහ 16.2 ක වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්විය.  

එහෙත් මාර්තු මාසයේදී එම පැමිණිම් පෙර වසරට සාපේක්ෂව සියයට 19.7 ක අඩුවීමක් සටහන් විය. පෙබරවාරි අවසන් දින කිහිපයේදී ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් ඒ සඳහා හේතු විය‍. 

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් අතරින් 167,095ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 84,748ක්, රුසියාවෙන් 69,478ක් පැමිණ තිබේ. මීට අමතරව ජර්මනියෙන් සහ චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 56,676ක් සහ 53,347 කි.  

මේ අතර වසරේ මුල් මාස තුනේදී සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 954 ක් ලෙස මහ බැංකුව නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සටහන්ව තිබේ. 

එහෙත් එය 2025 වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් ඩොලර් මිලියන 1,122.3 ක ආදායම හා සැසඳීමේදී සියයට 15ක අඩුවීමකි.  

මේ අතරින් මාර්තු මාසයේදී රැස් කරගත් ආදායම ඩොලර් මිලියන 223.7 ක් වන අතර, එය 2025 මාර්තු මාසයේදී රැස් කරගත් ඩොලර් මිලියන 354 හා සැසඳීමේදී සියයට 36.8 ක අඩුවීමකි.