• සිදුවීම පිළිබඳව දිනපතා සමීපව නිරීක්ෂණය කරන බව මහ බැංකුව පවසයි

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි සිදු වූ අභ‍්‍යන්තර වංචාව සම්බන්ධයෙන් පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා විදේශ විශේෂඥයන්ගෙන් සමන්විත ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනයක් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය කටයුතු අවසන් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ උපදෙස් පරිදි අදාළ බැංකුව විසින් මේ සඳහා කටයුතු කරමින් සිටින අතර, මහ බැංකුවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් දිනපතා සමීපව නිරීක්ෂණය කරනු ලබන බවත් මහ බැංකුව ජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

“මෙම වංචාව සිදු කිරීමට සෘජුවම සම්බන්ධ කරුණුවලට අමතරව, වංචනික ගනුදෙනු සිදු වූ කාල සීමාව තුළ අභ්‍යන්තර පාලනය, අධීක්ෂණය සහ යහපාලනය පිළිබඳ නියාමන අවශ්‍යතාවලින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ද මෙම විගණනයේ දී සම්පුර්ණයෙන්ම සොයා බලා ඇගයීමක් සිදු කරනු ඇත. 

කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන මෙම වෝහාරික විගණනය අතරතුර, එහි ප්‍රගතිය, අන්තර්කාලීන සොයා ගැනීම් මෙන්ම අවසාන විගණන වාර්තාව ද ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සෘජුවම ඉදිරිපත් කරනු ඇති අතර, විගණනය අතරතුර මහ බැංකුව අවශ්‍ය පරිදි  විගණකවරුන් සමග සෘජුවම සම්බන්ධ වනු ඇත.’ යනුවෙන්ද එහි සඳහන් වෙයි.

ඊට සමගාමීව, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි අභ්‍යන්තර පාලන සහ යහපාලන ක්‍රියාවලි ශක්තිමත් කිරීම සඳහා, හඳුනාගත් අඩුපාඩු නිවැරදි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, කඩිනම් පියවර ගන්නා ලෙස මහ බැංකුව උපදෙස් ලබා දී ඇතැයිද පවසයි.

මේ අතර, NDB  හි මෙම සිදුවීම හේතුවෙන්, නියාමනයට යටත් අනෙකුත් මූල්‍ය ආයතනවලට අලාභයක් සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පවසන මහ බැංකුව, විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවලින් නොමග යාමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

NDB  බැංකුවෙහි සිදු වුණු මෙම අභ්‍යන්තර වංචාවේ වටිනාකම රුපියල් බිලියන 13.2 ක් ලෙස හඳුනාගෙන ඇතැයි බැංකුව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යටතේ බැංකුවෙහි නිලධාරීන් කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවත් සඳහන් වෙයි.