• අමුද්‍රව්‍ය සහ සැපයුම් සීමාවීම හේතුවෙන් සීමාකාරී නිෂ්පාදන වාතාවරණයක් 

  • ඍතුමය ඉල්ලු‍ම සහ භූ - දේශපාලනික අවිනිශ්චිතතා මැද සේවා අංශයේ නව අවස්ථා 

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී පැවති දර්ශකාංක 56.8 ක සිට මාර්තු මාසයේදී දර්ශකාංක 66.7 ක් දක්වා වැඩි වේගයකින් ඉහල යෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසයි. 

මාර්තු මාසය සඳහා වන ශ්‍රී ලංකා නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. 

විශේෂයෙන්ම උත්සව සමයේ ඉහළ ඉල්ලු‍මත් සමගින් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම මේ සඳහා හේතුව වී තිබේ. කෙසේ වෙතත් අමුද්‍රව්‍ය සහ ඉන්ධන හිඟය මෙන්ම ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ සැපයුම් සීමා නිසා මාර්තු මාසයේදී යම් ආකාරයක සීමාකාරී නිෂ්පාදන වාතාවරණයක් පැවැති බවද මහ බැංකුව පෙන්වා දෙයි. 

ඒ අතර ආහාර පාන සහ රෙදිපිළි සහ ඇගලු‍ම් නිෂ්පාදන අංශ තුළ, නව ඇනවුම් සහ නිෂ්පාදන උප දර්ශකය දර්ශකාංක 69.9ක් දක්වා වැඩි වේගයකින් වර්ධනය වී තිබේ. එසේම නිෂ්පාදන උප දර්ශකය දර්ශකාංක 68.8 ක් දක්වා වැඩි වේගයකින්ද, එම නිෂ්පාදන ඉල්ලු‍ම වැඩිවීමට අනුකූලව තොග මිලදී ගැනීම් උප දර්ශකයද දර්ශකාංක 59.9ක් දක්වා අඩු වේගයකින් වර්ධනය වීමක් පෙන්නුම් කර තිබේ.  

 “ඉදිරි කාර්තුව තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුණද, මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණයෙන් ඇති වන අවිනිශ්චිතතා හේතුවෙන් යම් අඩුවීමක් දක්නට ලැබුණි.’ යනුවෙන් මහ බැංකුව පවසයි.  

මේ අතර සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයත් පෙබරවාරි මාසයේදී වාර්තා කළ දර්ශකාංක 54.4 ට සාපේක්ෂව මාර්තු මාසයේදී දර්ශකාංක 59.4ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යාමක් වාර්තා කර තිබේ. 

මෙහිදී ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා අංශයෙහි ණය ලබාදීමේ ක්‍රියාකාකරම් ඉහළ යාම හේතුවෙන් සිදු වූ වර්ධනය ඊට දායක වී තිබේ. මීට අමතරව උත්සව සමයේ ඉල්ලු‍ම හේතුවෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම් ආශ්‍රිත ව්‍යාපාරික ක්‍රියාකාකරම්වල වර්ධනයක් දක්නට ලැබී තිබේ.  

මේ අතර පාරිභෝගික ඉල්ලු‍මට සරිලන පරිදි ආයතන විසින් ශ්‍රම බළකාය පුළුල් කිරීම හේතුවෙන් මාර්තු මාසයේදී සේවා නියුක්තිය දර්ශකාංක 54.2 ක් දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් සිදුව තිබේ. 

 “ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාරික කටයුතු පිළිබඳ අපේක්ෂා ශක්තිමත් මට්ටමක පවතින අතර, ඍතුමය ඉල්ලු‍ම සහ වර්තමාන භූ - දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ ඇතිවිය හැකි නව අවස්ථා ඒ සඳහා පිටුවහලක් වී ඇත. එහෙත් ඉදිරි දැක්ම කෙරෙහි ඇතිවිය හැකි අහිතකර අවදානම්ද පවතී.“ යනුවෙන් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.