IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


වෙළෙඳ ක්‍රියාකාරකම් VAT බද්දෙන් ඉවත් කිරීම : නිලධාරිවාදී දෝෂයක් කාලෝචිත ලෙස නිවැරදි කිරීමක්

වර්තමානයේ ආනයන මත සහ ව්‍යාපාරයක් ලෙස පවතින ලද පහත ක්‍රියාකාරකම් මත යම් කොන්දේසි සහිතව අගය එකතු කිරීමේ බද්ද (වැට්) අයකරනු ලබයි.

නිෂ්පාදනය (Manufacturing) කිරීම,

සේවා ලබාදීම (Services) සහ 

වෙළෙඳාම (Trading) - තොග වෙළෙඳාම හෝ සිල්ලර වෙළෙඳාමේදී දේශීයව මිලදී ගැනීම සහ විකිණීම ලෙසට මෙය අර්ථ නිරූපණය කරනු ලැබේ.

මෙම වැට් බද්ද සාමාන්‍යයෙන් 2002 අගෝස්තු මස 1 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දෙනු ලැබ්ණි. එවකට සිටි පොදුජන එක්සත් පෙරමුණ රජය මගින් එම කාලයේදී ක්‍රියාත්මක වූ පිරිවැටුම් බද්ද (TT) අවලංගු කර භාණ්ඩ හා සේවා බද්ද (GST) නමින් ක්‍රියාත්මක කරනු ලැබිණි. 2002 වර්ෂයේදී භාණ්ඩ හා සේවා බද්ද (GST) සිට අගය එකතු කිරීමේ බදු (VAT) ලෙස නම වෙනස්වීම බොහෝවිට දේශපාලනික හේතු මත සිදු වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය(UNP) රජය විසින් භාණ්ඩ හා සේවා බද්ද (GST) අහෝසි කරනු ලබන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදීම හේතුවෙන් මෙය සිදුවිණි. පනත් දෙක පිළිබඳ සංසන්ඳනාත්මක විශ්ලේෂණයකින් හෙළි වන්නේ, එම වෙනස මූලික මූල්‍ය ප්‍රතිසංස්කරණයකට වඩා වෙළෙඳ නාමකරණයක් බවයි. 

විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්ති තීරණය: වෙළෙඳ ක්‍රියාකාරකම් GST සහ VAT යන දෙකෙහිම විෂය පථයන්ගෙන් ඉවත් කිරීම.

GST සහ VAT යන බදුජාල දෙකම වෙළෙඳ ක්‍රියාකාරකම්වලින් ඉවත් කිරීම ප්‍රායෝගික සංකූලතා සහ ආර්ථික විකෘතිතා සලකාබලමින් ලබාගත් තීරණයක් විය.

GST සහ VAT විෂය පථයෙන් වෙළෙඳ ක්‍රියාකාරකම් බැහැර කිරීම සිදුකළ පනත් දෙකෙහිම වචන සහ 3 වැනි වගන්තිය සමාන වූ අතර වචනාර්ථයෙන් ප්‍රකාශ විය.

“2 වැනි වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන්ව ඇතිද, යම් භාණ්ඩ තොග හෝ සිල්ලර වශයෙන් කරන සැපයීම් සම්බන්ධයෙන් 

(අ) ඒවායේ නිෂ්පාදකයන් විසින් හෝ : හෝ

(ආ) ඒවායේ ආනයනකරුවන් විසින් : හෝ

 (ඇ) සපයනු ලබන ඒ භාණ්ඩ ලබාගත් ප්‍රභවය පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත් කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවකු විසින්, හැර, තොග හෝ සිල්ලර වශයෙන් භාණ්ඩ සැපයීම වෙනුවෙන් බද්ද අයකරනු නොලැබිය යුතුය.”

මෙම පැහැදිලි ව්‍යවස්ථාපිත භාෂාව මගින් VAT බදු බැඳියාව භාණ්ඩ විකිණීමේදී වැට් බදු වගකීම සැපයුම් දාමයේ මූලාරම්භක ස්ථාන වන නිෂ්පාදකයා හෝ ආනයනකරු මත මුළුමනින්ම රඳා පවතින බව සහතික වේ. මෙම ප්‍රභවවලින් භාණ්ඩ මිලදී ගන්නා වෙළෙන්දන් මෙමගින් පැහැදිලිවම ඉවත් කරනු ලැබූ අතර එමගින් බෙදා හැරීම් ජාලයේ විශාල කොටසක් සෘජු වැට් බදු බැඳියාවෙන් ආරක්ෂා විය. 

වෙළෙඳ කටයුතු වැට් බදු බැඳියාවෙන් නිදහස් කිරීමේ තාර්කික බව

සංශෝධන හඳුන්වාදීමට ප්‍රථම මුල් නීතියෙහි අභිමතාර්ථය පිළිබඳව මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නීති සම්පාදකයන් යන කොට්ඨාස දෙකම ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම ඉතාමත් කණගාටුදායකය. යෝජිත වෙනස්කම්වල ගම්‍යවන, නීති සම්පාදනයේ අරමුණ පිළිබඳව වඩාත් පරෙස්සමෙන් සහ අභිමතාර්ථයානුකූල ලෙස පරීක්ෂාවට ලක්කළේ නම් එවැනි අනපේක්ෂිත අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීමට හැකියාව තිබුණි.

1998 වර්ෂයේදී භාණ්ඩ හා සේවා බද්ද (GST) හඳුන්වාදීමට පෙර, පිරිවැටුම් බද්ද (TT) සාපේක්ෂව අඩු අනුපාත යටතේ ක්‍රියාත්මක වූ අතර එය ව්‍යාපාරයක ප්‍රධාන ශාඛා හතර වන නිෂ්පාදනය, ආනයනය, සේවා සැපයීම සහ වෙළෙඳාම යන කොටස් හතරෙන්ම අය කරනු ලැබිණි. පිරිවැටුම් බදු (TT) යාන්ත්‍රණය තුළම ප්‍රාථමික දෝෂ දෙකක් දක්නට තිබුණි.

■ බදු මත බදු (කැස්කේඩින්) බලපෑම: පෙර මිලදී ගැනීම් සඳහා ගෙවන ලද බද්ද බැර කිරීමට කිසිදු යාන්ත්‍රණයක් නොමැතිව, නිෂ්පාදන සහ බෙදාහැරීමේ දාමයේ සෑම අදියරකදීම විකුණුම් බද්දක් යොදන විට එය සිදු වේ, සහ

■ පරිපාලන අකාර්යක්ෂමතාව: බොහෝ විට කුඩා පරිමාණ ගනුදෙනු රාශියක් ඇතුළත් වන සමස්ත වෙළෙඳ අංශයටම බද්ද යෙදීමෙන් බදු පරිපාලනයේ සීමිත සම්පත් නාස්ති විය. අනුකූලතාවේ සහ බලාත්මක කිරීමේ පිරිවැය ලැබුණු ආදායමට සාපේක්ෂව සමානුපාතික නොවන ආකාරයට ඉහළ මට්ටමක පැවතුන අතර, බදුකරණයේ පිළිගත් මූලධර්ම - එනම් සාධාරණත්වය, පහසුව සහ ආර්ථික කාර්යක්ෂමතාව - උල්ලංඝනය විය. 

මේ ආකාරයට GST/VAT හඳුන්වාදීමෙන් මතු වූ පළමු ගැටලු‍ව, බදු මත බදු (කැස්කේඩින්) ඉවත් කරන ලද බදු බර ඉන්වොයිස් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් විසඳනු ලැබුණි. නිෂ්පාදකයන්, ආනයනකරුවන් සහ සේවා සපයන්නන් සඳහා වැට් බදු බැඳියාව උපායමාර්ගිකව සීමා කිරීමෙන් දෙවැන්න විසඳනු ලැබුණි. එමගින් පරිපාලනමය වශයෙන් අඩු ප්‍රමාණයක් වූ විශාල බදු ගෙවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.

වැට් බදු යටතේ වෙළෙඳාම ඇතුළත් කිරීම : නිලධාරී අතපසුවීම්

වෙළෙඳ ක්‍රියාකාරකම් බැහැර කිරීම විචක්ෂණශීලී සහ කාලීන තීරණයක් වන්නේ නම් එම බැහැර කිරීම ඉවත් කළේ මන්ද සහ වෙළෙඳ ක්‍රියාකාරකම් වැට් යන විෂය පථය තුළට ගෙනඒමේ හේතුව කුමක්ද යන්න විමසීම සාධාරණ වේ. මෙහිදී කෙටිම පිළිතුර වන්නේ එසේ වෙළෙඳ ක්‍රියාකාරකම්වලින් බැහැර කිරීම හොඳින් සිතාබලා කල්පනාකර මෙන්ම ආදායම් උත්පාදනය කරන්නා වූ ප්‍රතිපත්ති තීරණයක් නොවන බවයි. මෙම තීරණය ගැඹුරු ආර්ථිකමය මූලධර්මවලට වඩා පටු රුචිකත්වය සහ අවශ්‍යතා මත පදනම්ව මෙම තීරණය ගැනීමට පෙළඹවූ බවත් බදු පදනම පුළුල් කිරීමේ මුවාවෙන් නිශ්චිත ප්‍රධාන වෙළෙඳ දාමයක් ඉලක්ක කරගනිමින් සැලසුම් කරනු ලැබූ බවත් දක්නට ලැබිණි. 

මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී අගය එකතු කිරීමේ බදු පනතේ 3 වැනි වගන්තිය සඳහා සංශෝධනයක් කරනු ලැබීය. එහිදී අනිත් වාණිජ ක්‍රියාකාරම් සඳහාවූ වැට් බදු බැඳියාවට කාර්තුමය පිරිවැටුම සීමාව මිලියන 03 තිබියදී, වෙළෙඳාමෙහි නියුතු ව්‍යවසායන්ගේ කාර්තුමය පිරිවැටුම සීමාව මිලියන 500 ඉක්මවන ව්‍යවසාය වැට් බදු බැඳියාවට යටත්වන බවට සංශෝධනයක් කරනු ලැබීය.

කෙසේවුවද, මෙම ඉලක්කගත දැවැන්තයා විසින් ස්වකීය මෙහෙයුම් ප්‍රතිව්‍යූහගත කරමින් මෙන්ම එම ආයතනය කොටස් දෙකකට බෙදීමෙන් ඇති වූ බලපෑම සාර්ථක ලෙස මඟහරිනු ලැබිණි. මේ හේතුවෙන් ස්වකීය එක් එක් ආයතනවල පිරිවැටුම් මට්ටම මිලියන 500 ට වඩා අඩු මට්ටමේ පවත්වාගත් අතර එමගින් වෙළෙඳ පිරිවැටුම මත වැට් බැඳියාව සඳහා වූ වගකීමෙන් ඉවත් විය.

නිලධාරීන් මෙයින් පසුබට වූයේ නැත. මෙයින් පසු 2014.01.01. සිට ක්‍රියාත්මක වන පරිදි වූ සංශෝධනය මගින් මෙම වැට් සීමාව මිලියන 250 දක්වා අඩුකර එකතු කිරීමේ නීති හඳුන්වා දෙනු ලැබිණි. මෙම සංශෝධනය යටතේ වැට් බැඳියාව නිර්ණය කිරීම උදෙසා සමූහයක් තුළ ඇති සියලු‍ම ආශ්‍රිත හෝ අනුබද්ධ සමාගම්වල විකුණුම් එකතු කරනු ලැබිණි. පෙර සමාගම් සමූහයන් විසින් ප්‍රතිව්‍යූහගත කිරීම හේතුවෙන් අනුගමනය කළ ක්‍රමෝපාය බලරහිත කිරීම විශේෂයෙන් මෙම සංශෝධනයෙහි අරමුණ විය.

මෙම ව්‍යවසාය කඩාවැටීමකට ලක්නොවී ඔරොත්තු දීමට හැකියාව ලැබූ එක් සාධකයක් වන්නේ මෙම අමතර වැට් බද්ද හේතුවෙන් මෙම ව්‍යවසාය අතර පැවති තරගකාරිත්වය සැලකියයුතු වශයෙන් ඛාදනයට ලක් නොවීමයි. භාණ්ඩවල මිල වැට් බදු සඳහා ලියාපදිංචි නොවූ අනෙකුත් වෙළෙන්ඳන්ගේ මිල ගණන් සහ වැට් සඳහා ලියාපදිංචි වෙළෙන්ඳන්ගේ සමාන මට්ටමේ විය. කෙසේවුවද, එමගින් වැට් බදු බර එහි සැපයුම්කරුවන් සමග මාරු කිරීමට හෝ බෙදා ගැනීමට හැකිවීම තුළ සමාගම්වලට සැලකිය යුතු කේවල් කිරීමේ බලයක් හිමි වුණි. එමගින් භාණ්ඩවල එක සමාන මිල ගණන් පවත්වාගත හැකිවීම එහි සැබෑ රහස විය. 

වෙළෙඳාම සඳහා වැට් බදු ඉවත් කිරීම නැවත සලකා බැලීම: ප්‍රතිපත්ති නිවැරැදි කිරීම 

අගය එකතු කිරීමේ බදු ජාලයෙන් වෙළෙඳ ක්‍රියාවලි ඉවත් කිරිමේ මුල් තීරණය ඉතාම විචක්ෂණශීලී සහ හොඳින් සලකා බලමින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් විය. මුල් අවස්ථාවේදී මහා පරිමාණ වෙළෙඳුන් වැට් බද්දෙන් ඉවත් කර මහා පරිමාණ වෙළෙඳුන් නැවත වැට් බද්දට ඇතුළත් කිරීමෙන් පසු වෙළෙඳුන්ට ප්‍රතිවිරුද්ධව සම්මත ව්‍යාපාර සඳහා ලියාපදිංචි සීමාවල සැලකිය යුතු පරතරයක් පවත්වා ගැනීමෙන් තාවකාලිකව (2013 සිට 2019 දක්වා) විචක්ෂණශීලී බවක් පවත්වා ගෙන ගිය අතර, එය ඉහළ ප්‍රමාණයකින් යුත්, අඩු ආන්තික වෙළෙඳ ක්‍රියාකාරකම්වල අද්විතීය ස්වභාවය මෙමගින් පිළිගනු ලැබිණි.

2019 දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වයත් සමග මෙම විචක්ෂණශීලී ස්වභාවය ද සැලකිය යුතු ලෙස දුර්වල විය. මෙම දේශපාලනික අස්ථාවර තත්වයෙන් පසුව, ප්‍රතිපත්ති සම්පාදනයෙහිදී එහි පෙර පරෙස්ම් සහගත ස්වභාවය අතහැර දැමූ අතර, වෙළෙඳාම සහ අනෙකුත් අංශ අතර මූලික වෙනස්කම් නොසලකා හරිමින් බදු සීමා අහඹු ලෙස පෙළගැස්වීමකට ලක්විය. මුල් අවස්ථාවේදී පැවති වැට් බදු ක්‍රමය තුළ වූ සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව පිළිබඳ මුල් මූලධර්ම, වත්මන් බදු ප්‍රතිපත්තිය තුළ තවදුරටත් පිළිබිඹු නොකරයි.

වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාවන්හි පහත කාලානුක්‍රමය මෙම ප්‍රතිපත්තියේ අනනුකූලතාව සහ ඒ සම්බන්ධ අනවබෝධය මනාව විදහා දක්වයි. 

 (වගු සටහන බලන්න)

වෙළෙඳාමට සාපේක්ෂව උපරිම සිල්ලර මිල (MRP) සහ අවම ආන්තිකය මත වැට් බදු අයකිරීම

නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් මෙන්ම වෙළෙඳුන්ද වැට් බදු බැඳියාවට යටත් කිරීම අසාධාරණ තත්වයකි. ප්‍රාථමික සැපයුම්කරුවන් මෙන් නොව වෙළෙඳුන් බෙදාහැරීම් ජාලය තුළ අවසාන පුරුක ලෙස සැලකියයුතු අවම ආන්තිකයක් සහිතව ක්‍රියාත්මක වේ. තවද, වෙළෙඳුන් එම භාණ්ඩ නියම කර ඇති උපරිම මිලට (MRP) විකිණීමට නීත්‍යානුකූලව බැඳී සිටින අතර මෙයට අනුගත නොවීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. 

බොහෝ අවස්ථාවලදී වෙළෙඳුන් ස්වකීය වෙළෙඳ භාණ්ඩ වැට් සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගනු ලබයි. එමගින් යෙදවුම් බදු බැර ඉල්ලා සිටීම වැළකේ. යෙදවුම් බදු බැර පවතින අවස්ථා වලදී පවා පටු වෙළෙඳ ආන්තිකය සහ උපරිම සිල්ලර මිල මගින් පනවනු ලබන නීතිරීති සීමා කිරීම්වල සලකා බැලීමේදී වෙළෙඳ ක්‍රියාවලි මත නිමවුම් වැට් බදු ගෙවීම ප්‍රායෝගික නොවන තත්වයකි.

නිර්දේශ

මුල් අවස්ථාවේ පැවති GST/VAT ව්‍යූහය (Status quo) නැවත ස්ථාපිත කිරීම - නිෂ්පාදන සහ ආනයනකරු මට්ටමෙන් මෙම ප්‍රාථමික සැපයුම්කරුවන් සඳහා ශක්තිමත් සහ කාර්යක්ෂම බදුකරණයක් පවත්වා ගනිමින් වෙළෙඳ ක්‍රියාකාරකම් වැට් බද්දෙන් ඉවත් කිරීම - මෙය රැඩිකල් සහ විප්ලවීය නිර්දේශයක් නොවේ.

වෙළෙඳ කටයුතු GST සහ VAT වලින් ඉවත් කිරීමේ මුල් තීරණය හදිසියේ සිදුවීමක් නොවේ. මෙය වෙළෙන්ඳන් සහ පාරිභෝගිකයන් යන දෙදෙනාම අනවශ්‍ය ආකාරයට පීඩාවට පත් නොකරමින් ඔවුන් ආරක්ෂා කරන අතරම අකාර්යක්ෂමතාව වළක්වාලීමේ අරමුණ ඇතිව වඩාත් කල්පනාකාරී සහ විචක්ෂණශීලී ආකාරයට ලබාගත් ප්‍රතිපත්තිමය තීරණයක් විය. පසුව වෙළෙඳාම වැට් ජාලයට ඇතුල්කිරීම මූලික වශයෙන්ම ගත් වැරදි පියවරක් වූ අතර නීති සම්පාදකයන්ගේ මුල් අභිමතාර්ථය නොසලකා හරිමින් මෙන්ම වැට් බද්දෙහි මූලික තර්කනය යටපත් කරමින් ගත් අදූරදර්ශී තීරණයක් විය. මෙම දෝෂය නිවරදි කිරීම අත්‍යාවශ්‍ය වේ. බදුකරණයේදී සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව නැවත ස්ථාපිත කිරීම පමණක් නොව වැට් බද්ද ස්ථාපිත කිරීමේ ගැඹුරු මූල්‍යමය මූලධර්මය හඳුනාගැනීමද අත්‍යවශ්‍ය වේ.

පූරක වැට් අනුපාත වැඩි කිරීම: වෙළෙඳුන් වැට් බද්දෙන් ඉවත් කිරීමෙන් ඇති විය හැකි වැට් බදු ආදායම් අලාභය නාමික වනු ඇත. අඩු වෙළෙඳ ආන්තිකය සහ පෙර මිලදී ගැනීම් සඳහා ඉල්ලා සිටි බැර කිරීම් හේතුවෙන් වෙළෙඳුන් බෙදාහැරීමේ දාමයේ අවසාන පුරුකවීම එයට හේතුව වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ වැට් ජාල දායකත්වය සමස්ත ආදායමෙන් සැලකිය යුතු කොටසක් නොවේ.

ප්‍රාථමික සැපයුම්කරුවන් වන නිෂ්පාදකයන්, ආනයනකරු සහ සේවා සපයන්නන්ට පමණක් අදාළ වන පරිදි වැට් බදු ප්‍රතිශතය සියයට හකර අනුපාතයකින් (18% සිට 22% දක්වා)ඉහළ දැමීම නිර්දේශ කරනු ලබයි. එමෙන්ම වැට් බද්ද වෙළෙඳුන්ගෙන් ඉවත් කිරිමෙන් අහිමි වූ ආදායම මෙම සං‍ශෝධනයෙන් ඵලදායී ලෙස නැවත අයකරගත හැකිය.

යෝජිත අනුපාත වැඩි කිරීමෙන් අපේක්ෂා කරනු ලැබූ අතිරේක ආදායම හා සසඳනවිට මෑත වසරවල වෙළෙඳ අංශ විසින් සැබවින්ම දායක වූ වැට් බද්ද පිළිබඳ විද්‍යාත්මක දත්ත මත පදනම් වූ විශ්ලේෂණයක්, මෙම නිර්දේශයේ ශක්‍යතාව තවදුරටත් සනාථ කරනු ඇත.

නිගමනය

මෙම ද්වි-පාර්ශ්වික උපායමාර්ගය නවීන හා මූල්‍යමය වශයෙන් වගකිවයුතු මාවතක් ඉදිරිපත් කරයි. වැට් බදු ක්‍රමය එහි තාර්කික සැලසුමට ප්‍රතිස්ථාපනය කිරීමෙන් - වෙළෙඳ අංශය නිදහස් කිරීමෙන් - ප්‍රතිපත්තිය සැලකිය යුතු පරිපාලන බර ඉවත් කර සිල්ලර මට්ටමින් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නංවනු ඇත. ඒ සමඟම, ප්‍රාථමික සැපයුම්කරු මට්ටමින් වැට් බදු අනුපාතයේ මධ්‍යස්ථ, ඉලක්කගත වැඩිවීමක් තුළින් රජයේ ආදායම ආරක්ෂා කරනු ලැබිය හැකිය. වැට් බදු අනුපාතය වැඩි නොකළද, බදු පරිපාලනයේ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව හරහා ආදායම් අලාභය - ඇත්නම් - අයකර ගත හැකිය.

සෘජු මූල්‍ය හා ආර්ථික වාසි වලට අමතරව, මෙම ප්‍රවේශයෙන් සැලකිය යුතු දේශපාලන හා සමාජීය ප්‍රතිලාභ ලබා දෙයි. දූෂණය මුලිනුපුටා දැමීම සහ සාධාරණත්වය යථා තත්වයට පත් කිරීම යන අභිමතාර්ථ ප්‍රමුඛ කරගනිමින් තේරී පත් වූ රජයකට, මෙම ප්‍රතිපත්තිය පැහැදිලි ජයග්‍රහණයක් ලබා දෙයි: එය වෙළෙඳ ප්‍රජාවට ස්ථීර වශයෙන්ම සහනයක් ලබා දෙන අතරම නිලධාරිවාදී හිරිහැර සඳහා ඇති අවස්ථා අඩු කරයි. ව්‍යාපාරික ජනගහනයේ විශාලතම කොටසක් නියෝජනය කරන වෙළෙඳුන්ට මූල්‍යමය ප්‍රතිලාභ පමණක් නොව, අනවශ්‍ය හා තර්කානුකූල නොවන බදු බරකින් නිදහස් වී, අභිමානය සහ මනසේ සාමය පිළිබඳ නව හැඟීමක් ද ලබාගත හැකිවනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාලනයේ කීර්තිනාමය දහස් ගණනක් මිලියන ගණනක් පුද්ගලයන් දක්වා විහිදෙන අතර පාලනයේ විශ්වසනීයත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරනු ඇත. රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය ගොඩනගනු ලබන අතරම බදු ක්‍රමයේම සමස්ත නීත්‍යානුකූලභාවය ද ශක්තිමත් කරනු ඇත.



අදහස් (0)

වෙළෙඳ ක්‍රියාකාරකම් VAT බද්දෙන් ඉවත් කිරීම : නිලධාරිවාදී දෝෂයක් කාලෝචිත ලෙස නිවැරදි කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 529 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 337 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site