• බැංකු සතු ඉහළ ද්‍රවශීලතා මට්ටම සහ ධනාත්මක ආර්ථික ක්‍රියාකාරකම් ණය දීමේ කැමැත්ත ඉහළ දමලා
  • හිතකර වෙළෙඳපොළ තත්වයන්, ආර්ථිකය යථාවත්වීම සහ සාර්වආර්ථික ස්ථාවරත්වය ණය ගැනීමේ කැමැත්ත ඉහළ දමලා 
  • 2025 සිව්වැනි කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ව්‍යපාර අංශය සතු ණය ගැනීමේ කැමැත්තේ අඩු වීමක් 
  • 2026 පළමු කාර්තුව වන විට බැංකු සතු අක්‍රිය ණය සංඛ්‍යාව තවදුරටත් අඩු වීමේ අපේක්ෂාවක්
  • රජයේ ව්‍යවසාය වෙත ණය ලබා දීමට බැංකු සතු කැමැත්ත තවදුරටත් අඩු මට්ටමක

භානුක අමරසිංහ

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා රටෙහි සිල්ලර ව්‍යාපාර, සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන අංශ වෙත ණය ලබාදීමට ඇති කැමැත්ත 2026 වසරේ පළමු කාර්තුවේදීද කැපී පෙනෙන ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කරනු ඇතැයි මහ බැංකුව පවසයි. එසේම ඉහත සඳහන් කළ ව්‍යාපාර අදාළ බැංකු හරහා ණය ලබා ගැනීමට ඇති කැමැත්තද මෙම කාර්තුවේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි සිය අපේක්ෂාව බවද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 සිව්වැනි කාර්තුව සහ 2026 වසරේ පළමු කාර්තුව සම්බන්ධයෙන් සිදු කරන ලද ණය සැපයුම් සමීක්ෂණයේ දත්ත ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන් කරයි. මහ බැංකුව කාර්තුවෙන් කාර්තුවට මෙම සමීක්ෂණය සිදු කරයි.

මෙම සමීක්ෂණයට අනුව 2025 සිව්වැනි කාර්තුවේදී කාර්තුවේදී බැංකු මගින් ණය ලබාදීමට ඇති කැමැත්ත පිළිබඳ දර්ශකය ඒකක 47ක් ලෙස සටහන්ව තිබේ. “විශේෂයෙන්ම බැංකු සතු ද්‍රවශීලතා මට්ටම වැඩිදියුණුවීම මෙලෙස ණය දීමට ඇති උනන්දුව වැඩි කර තිබෙනවා. එසේම ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පවතින ධනාත්මක බලාපොරොත්තු, වඩාත් හිතකර සාර්වආර්ථික තත්වය සහ දේශපාලන ස්ථාවරත්වය ඊට හේතුව වී තිබෙනවා.” 

ඒ අනුව 2026 පළමු කාර්තුවේදීද මෙම ප්‍රවණතාව එලෙසින්ම පවත්වාගෙන යමින් එම දර්ශකය ඒකක 43.8ක් ලෙස සටහන් වනු ඇතැයි මහ බැංකුව සහන් කරයි. 

“එහිදී වඩාත් හිතකර වෙළෙඳපොළ තත්වයන්, ආර්ථික යථාවත්වීම සහ පවතින සාර්වආර්ථික ස්ථාවරත්වය ඊට හේතු වේවි.” මහ බැංකුව සඳහන් කරයි.

සමීක්ෂණයට අනුව 2025 සිව්වැනි කාර්තුවේදී සිල්ලර ව්‍යාපාර අංශය, සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා බැංකු මගින් ණය ලබාදීමට ඇති කැමැත්ත පිළිබඳ දර්ශක පිළිවෙළින් ඒකක 72.3ක්, 45.4ක් සහ 57.5ක් ලෙස සටහන්ව තිබේ. 

“බැංකු සතු වඩාත් ශක්තිමත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වයන්, ස්ථාවර පොලී අනුපාත සහ විදේශ විනිමය අනුපාත, දේශපාලන ස්ථාවරත්වය, සමස්ත සාර්වආර්ථික ස්ථාවරත්වය, වඩාත් හිතකර උද්ධමන තත්වයන්, ධනාත්මක ආර්ථික අපේක්ෂා සහ වඩාත් දියුණු ව්‍යාපාරික තත්වය මෙලෙස එම ව්‍යාපාර වෙත ණය ලබාදීමට ඇති කැමැත්ත වැඩි වෙලා.” මහ බැංකුව පවසයි.

මේ අතරින් සංචාරක කර්මාන්තය, මෝටර් රථ ආනයනය, ශක්තිමත් අපනයන සහ වැඩිදියුණු වූ නිෂ්පාදන ක්‍රියාකාරකම් සමගින් සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ අංශය වෙත ණය ලබාදීමේ උනන්දුව වැඩි කර තිබෙන බව මෙම සමීක්ෂණය පෙන්වා දෙයි.

එහි සඳහන් ආකාරයට 2026 පළමු කාර්තුවේදීද අදාළ ව්‍යාපාර අංශ වෙත ණය ලබාදීමේ උනන්දුව එලෙසින්ම බැංකු සතුව පවතිනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ අනුව සිල්ලර ව්‍යාපාර, සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ණය ලබාදීමේ කැමැත්ත පිළිබඳ දර්ශක පිළිවෙළින් ඒකක 52.8 ක්, 58.4ක් සහ 51.1ක් වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි.

“ව්‍යාපාර ක්‍රියාකාරකම්වල බලාපොරොත්තු සහගත වර්ධනය, බැංකු ද්‍රවශීලතාවේ වර්ධනය, යහපත් ආර්ථික පෙරදැක්ම, දේශපාලන ස්ථාවරත්වය සහ සහයෝගී වෙළෙඳපොළ තත්වය මේ සඳහා දායකත්වය සපයාවි.” 

මේ අතර බැංකු මගින් ණය ලබාගැනීම සඳහා වන කැමැත්ත පිළිබඳ දර්ශකයද 2026 පළමු කාර්තුවේදී ඒකක 48.4 ක් වනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. 2025 සිව්වැනි කාර්තුවේදී එය ඒකක 74.5ක් විය, “යහපත් සාර්ව ආර්ථික තත්වය, උපකාරී මුදල් ප්‍රතිපත්ති සහ බලාපොරොත්තු සහගත ව්‍යාපාර වර්ධනයත් මෙලෙස ණය සඳහා වන ඉල්ලු‍ම ඉහළ දමා තිබෙනවා.” මහ බැංකුව පවසයි.

මේ අතර සිල්ලර ව්‍යාපාර, සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සතු ණයට ගැනීමේ කැමැත්ත පිළිබඳ දර්ශකය 2026 පළමු කාර්තුවේදී පිළිවෙළින් ඒකක 37.3ක්, 74.9ක් සහ 74.0ක් වනු ඇතැයි මෙම සමීක්ෂණය පෙන්වා දෙයි. එහෙත් 2025 සිව්වැනි කාර්තුවේදී එය පිළිවෙළින් ඒකක 93.8ක්, 88.0ක් සහ 81.5ක් ලෙස සටහන් විය. 

“පහළ සහ ස්ථාවර පොලී අනුපාත, බලාපොරොත්තු සහගත ආර්ථික වර්ධනය, ආයෝජක විශ්වාසයේ ඉහළයෑම සහ වඩාත් යහපත් ආර්ථික පෙර දැක්ම 2026 පළමු කාර්තුවේදී මෙම අංශ මගින් ණය ගැනීමේ කැමැත්ත ඉහළ දමා තිබෙනවා.” 

මේ අතර මහ බැංකුවේ මෙම සමීක්ෂණයට අනුව 2026 පළමු කාර්තුව වන විට මෙරට බැංකු සතු අක්‍රිය ණය සංඛ්‍යාව තවදුරටත් අඩු වෙමින් එම දර්ශකයේ අගය ඒකක -24.3ක් බවට පත් වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ. 2025 සිව්වැනි කාර්තුවේදී එය ඒකක -72.4 ක් විය. මෙය ආසන්නතම කාර්තු හයකදී අඩුවීමක් පෙන්නුම් කර තිබේ. 

“මුදල් ගලා ඒමේ බලාපොරොත්තු, යහපත් පොලී අනුපාත සහ ආර්ථික ක්‍රියාකාරකම්හි යථාවත්වීම් යනාදිය නිසා මෙම අක්‍රිය ණය තවදුරටත් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.” මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත් බැංකු මගින් රජය මගින් ක්‍රියාත්මක ව්‍යවසායන් (SOE) වෙත ණය ලබා දීමට ඇති කැමැත්ත 2024 සිව්වැනි කාර්තුවේදී සහ 2025 සිව්වැනි කාර්තුවේදී මෙන්ම 2026 පළමු කාර්තුවේදීද තවදුරටත් පහත වැටී ඇතැයි මෙම සමීක්ෂණය මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව එම කාර්තුවලදී එම දර්ශකය පිළිවෙළින් ඒකක -53.9ක්, -48.3ක් සහ -52.2ක් ලෙස සටහන්ව තිබේ. 

එසේම රජය මගින් ක්‍රියාත්මක ව්‍යවසායන් මගින් ණය ලබා ගැනීමට ඇති කැමැත්තද 2026 පළමු කාර්තුවේදී ඒකක -49.4ක් ලෙස සටහන්ව තිබේ. මෙම දර්ශකය 2024 අවසන් කාර්තුවේදී ඒකක -81.4ක් සහ 2025 අවසන් කාර්තුවේදී ඒකක -53.7 ක් ලෙස සටහන් විය.