
- CPC හා පවතින පිරවුම්හල් 150 ක එකඟතාවෙන් පිරවුම්හල් 120ක් හිමිවෙලා
- ඉන්ධන බෙදාහැරීමට අමතරව ඉන්ධන පිරිපහදුව සහ කැණීම් වෙතත් ආයෝජනයට සැලසුම්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර Shell සන්නාමය යටතේ ඉන්ධන බෙදාහැරීමේ සහ අලෙවියේ නිරත RM Parks Sri Lanka පෞද්ගලික සමාගම ඉදිරියේදී මෙරට තුළ සිය ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරමින් සිටින බව පවසයි.
විශේෂයෙන්ම අද වනවිට එම සමාගම වෙත හිමි වූ ඉන්ධන පිරවුම්හල් 130ක මෙහෙයුම් පවත්වාගෙන යමින් සිටින බවත්, ඉන් පිරවුම්හල් 77ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම Shell සන්නාමකරණයට ලක්කර පවත්වාගෙන යන බවත් එම සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා ලංකාදීපFT වෙත සඳහන් කළේය.
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමගින් පවතින ගිවිසුම අනුව අපිට තවත් පිරවුම්හල් 20ක් හිමි විය යුතුව තිබෙනවා. ඒ සඳහා තවමත් සාකච්ඡා පවතිනවා. ඒ වගේම අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ඊට එක් කිරීමට අපට අවස්ථාව පවතිනවා. එය පවතින ඉල්ලුම සහ හැකියාව අනුව අපි සිදු කරනවා.”
මේ අතර දැනට Shell සන්නාමකරණය කර ඇති ඉන්ධන පිරවුම්හල් අතරින් තෝරාගත් ස්ථාන සඳහා කුඩා සුපිරි වෙළෙඳසල්, කෝපි හල් ඇතුළු අංග ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
“ඒ වගේම තමයි හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් තුළ විදුලි වාහන ආරෝපණ ස්ථාන පිහිටුවීමටත් සැලසුම් කර තිබෙනවා.”
මේ අතර RM Parks Sri Lanka සමාගම තවමත් ශ්‍රී ලංකාව තුළ සිදු කරන්නේ ඉන්ධන හා සම්බන්ධ මූලික මට්ටමේ ව්‍යාපාරික මෙහෙයුම් පමණක් බවත්, ජාත්‍යන්තර Shell සමාගමට තවත් බොහෝ මෙහෙයුම් සිදුකළ හැකි බවත් ඒ මහතා පවසයි.
“ඉන්ධන බෙදාහැරීම කියන්නේ මේ කර්මාන්තයේ පහළම අවස්ථාව. හැබැයි එහි මැදි අවස්ථාව වන ඉන්ධන පිරිපහදුව වගේම ඉහළ අවස්ථාව වන ඉන්ධන කැනීම යන කාරණාවලටත් Shell සමාගම ජාත්‍යන්තර නමක් දිනාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී උදාවෙන අවස්ථාවන් සමගින් RM Parks Sri Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.“ යනුවෙන්ද සුසන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd