IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වාරය අවසානයේ රඹුටන් වෙළෙඳුන්ගේ ලාභ - අලාභ ගිණුම

මහ මග අලෙවි වන රඹුටන් අස්වැන්න


රඹුටන් අස්වනු නෙළීමේ කාලය අගෝස්තු මැද භාගය පමණ වන විට මුළුමනින්ම අවසන්
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරුණු සහ විටමින් සී බහුල පලතුරක් 
කිලෝ ගාණට හරි, ගස් ගානට හරි රඹුටන් විකුණන ක්‍රමයක් දැන් මල්වානේ නෑ
සාමාන්‍යයෙන් කුලී වාහනයකින් ගම්පහට ගිහිල්ලා රඹුටන් කඩන් එන්න රුපියල් විසිපන්දහක් විතර යනවා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට මෙරට සිව්වැනියට වැඩිම බිම් වපසරියක වගා කරන පලතුරැ භෝගය රඹුටන්


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග


තවත් දින කිහිපයක් ගත වන විට මෙවර රඹුටන් වාරයේ නිමාව සනිටුහන්වේ. බොහෝ විට මැයි මාසයේ දී ඇරඹෙන මෙරට රඹුටන් අස්වනු නෙළීමේ කාලය අගෝස්තු මැද භාගය පමණ වන විට මුළුමනින්ම නිමාවට පත්වේ. ලාංකිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය පලතුරු වර්ග අතුරින් රඹුටන් සඳහා හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. රටේ බහුලවම වගා කරන පලතුරු වර්ග කිහිපය අතරට අයත් වන රඹුටන් ශාකය දිවයිනේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා කෙරේ.
ලංකාවේ දක්නට ඇති රඹුටන් ප්‍රභේදවල ස්වභාවය අනුව ඵලය ඉදුණු විට රතු, කහ, තැඹිලි රතු මිශ්‍ර සහ තද රතු පැහැයන්ගෙන් සමන්විතවේ. රඹුටන් රසයෙන් පමණක් නොව ගුණයෙන් ද යුක්ත පලතුරක් ලෙස පිළිගැනේ. එහෙයින්ම රඹුටන් ආහාරයට ගැනීමෙන් ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිවේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරුණු සහ විටමින් සී බහුල පලතුරක් ලෙසද රඹුටන් සැලකේ.
බොහෝ දෙනකු රඹුටන් වාරය පැමිණ ඇති බව දැනගන්නේ මගතොටේ දී රඹුටන් වෙළෙන්ඳන් සුලබව දක්නට ලැබීමත් සමගය. වසරකට වරක් උදාවෙන මේ ‍වෙළෙඳාමෙන් විවිධ දුෂ්කරතා මැද යම් ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ඔවුනට උදාවේ. මේ අන්දමින් සැතපුම් සිය ගණනක් දුර ගෙවා වැව්බැඳි රටට රඹුටන් ගෙනැවිත් වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන්ටද කීමට කතාවක් තිබේ. 
වසර කිහිපයක සිට ගම්පහ, මල්වානෙන් රඹුටන් ගෙනැවිත් අනුරාධපුරයේ වෙළෙඳාමේ යෙදෙන මධූෂ් සෙනෙවිරත්න පැවසුවේ මෙවැනි කතාවකි.
“මේක මතුපිටින් බලලා තේරුම් ගන්ඩ පුළුවන් වෙළෙඳාමක් නෙමෙයි. තාමත් මිනිස්සු රුපියල් හතරට, පහට රඹුටන් ගෙඩියක් ඉල්ලන්නේ. අපි වාහනයක් කුලියට අරගෙන ගිහින් ගම්පහින් රඹුටන් මෙහෙට ගෙනැල්ලා ඒ ගානට දුන්නොත් අපිට වෙන්නේ ගෙදර තියෙන දේවලු‍ත් විකුණලා ණය බේරන්න. අපි කෙළින්ම වතුවලට ගිහිල්ලා රඹුටන් කඩාගෙන අරගෙන එන්නේ. ගෙඩි විදිහට ගණන් කරලා තමයි ගන්නේ. කිලෝ ගාණට හරි, ගස් ගානට හරි රඹුටන් විකුණන ක්‍රමයක් දැන් මල්වානේ නෑ. කන්නේ පටන් ගන්න විට රුපියල් පහකට විතර රඹුටන් ගෙඩියක් ගන්න පුළුවන්. හැබැයි කන්නේ අවසන් වේගෙන එනකොට රුපියල් හතකටවත් දෙන්නේ නෑ. එහේ ඉඳලා රඹුටන් ගෙඩියක් මෙහෙට ගේන්න අඩුම තරමින් රුපියල් අටක් විතර යනවා. ඉතිං අපි රුපියල් දහයකටවත් ගෙඩියක් විකුණන්න ඕන කීයක් හරි ලාබයක් තියාගන්න නම්.”
රඹුටන් ශාකයේ ඡන්ම භූමිය ලෙස සලකනු ලබන්නේ මලයාසියාවයි. වර්තමානය වන විට රඹුටන් ශාකය දකුණු ආසියාවේ නැගෙනහිර කලාපයේ රටවල්වල, නිවර්තන කලාපයට අයත් අප්‍රිකාවේ, මධ්‍යම ඇමරිකාවේ, සහ කැරිබියන් දූපත් ආශ්‍රිතව සාර්ථකව වගා කරනු ලැබේ. රඹුටන් යන නම ඇසූ පමණින් බොහෝ විට සිහිපත් වන නාමය නම් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මල්වාන ප්‍රදේශය යි.
මල්වානේ පැණි රඹුටන් යනුවෙන් පවසමින් සමහර වෙළෙන්දෝ වෙළෙදාමේ යෙදෙති. ලංකාවේ රඹුටන් වගාව පහතරට තෙත් කලාපය තුළ සාර්ථකව සිදුවේ. ඒ අනුව ගම්පහ, ගාල්ල, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවල රඹුටන් වගාව හොඳින් සිදුවේ. එමෙන්ම මැදරට තෙත් සහ පහතරට අතරමැදි කලාප දක්වා ද රඹුටන් වගාව ව්‍යාප්ත වී තිබේ. 
ගම්පහ, කිරිඳිවෙල සති පොළෙන් රඹුටන් මිලට ගෙන අනුරාධපුරයට ගෙනැවිත් මහ මග තබා වෙළෙඳාමේ යෙදෙන ධනුෂ්ක සංජීව මෙසේ කීය. 
“මේ වෙළෙඳාමේ ලොකුම වියදම යන්නේ ප්‍රවාහනයට. සාමාන්‍යයෙන් කුලි වාහනයකින් ගම්පහට ගිහිල්ලා රඹුටන් කඩන් එන්න රුපියල් විසිපන්දහක් විතර යනවා. කවුරු හරි පුද්ගලික වාහනයකින් ගිහින් එනවා නම් තෙල් වියදම රුපියල් දහ දොළොස්දහක් විතර යනවා. ඔය අතරට ඉතිං අපි කෑම ටිකක් කන්න ඕන. යන වාහනේ කැඩුණොත් හදාගන්න ඕන. ඔය ඔක්කොම වියදම් විකුණන රඹුටන් ගෙඩියෙන් තමයි අල්ලන්න ඕන. අපි කිරිඳිවෙල පොළට ගිහිල්ලා උර කෑලි විදිහට තමයි රඹුටන් ගන්නේ. ඒකේ වාසි, අවාසි දෙකම තියෙනවා. අපි උරේ ඇරලා බලන්නේ නෑනේ. ඉතිං ඔය උරේ ඇතුළේ හොඳ ගෙඩි තියෙන්නත් පුළුවන්. සවුත්තු ගෙඩි තියෙන්නත් පුළුවන්. මේ හැමදේමත් එක්ක තමයි කීයක් හරි ලාබයක් තියාගෙන වෙළෙඳාම කරන්න වෙලා තියෙන්නේ.”
මෙරට තුළ වඩාත් බහුලව සිදුකෙරෙන පලතුරු භෝගය ලෙස සැලකෙනුයේ කෙසෙල්ය. සමස්තයක් ලෙස මෙරට හෙක්ටයාර් 49964 ක කෙසෙල් වගා කෙරෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එය සමස්ත පලතුරු වගා වපසරියෙන් සියයට 59 ක් බව කියැවේ. අනතුරුව හෙක්ටයාර් 15097 ක අඹ වගා කෙරෙන අතර එය සමස්ත වගා වපරියෙන් සියයට 17.8 කි. හෙක්ටයාර් 5047 ක පමණ මෙරට තුළ පැපොල් වගාව සිදුකෙරේ. සමස්ත පලතුරු වගා වපසරිය සැලකීමේ දී එය සියයට 06 ක ප්‍රමාණයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට මෙරට තුළ සිව්වැනියට වැඩිම බිම් වපසරියක වගා කරන පලතුරු භෝගය ලෙස රඹුටන් සැලකේ.
ඒ අනුව හෙක්ටයාර් 3666 ක රඹුටන් වගා කෙරෙන බවත් එය සමස්ත වගා බිම් වපසරියෙන් 4.3 ක් බවත් සඳහන්වේ. රඹුටන් හා සමානව වගා කෙරෙන අන්නාසි මෙම ලැයිස්තුවේ පස්වැනි තැනෙහි පසුවේ. සමස්තයක් ලෙස හෙක්ටයාර් 3401 ක අන්නාසි වගා කෙරෙන බවත් එය සමස්ත වගා වපසරියෙන් සියයට 04 ක් බවත් පැවසේ. 
මෙසේ වසරකට වරක් ඵල දරන රඹුටන් අස්වැන්න සතුන්ගෙන් බේරා ගැනීමට ටක එල්ලීම, රතිඤ්ඤා පිපිරවීම, රාත්‍රී කාලයේ දී ගස් ආශ්‍රිතව විදුලි බුබුලු‍ දැල්වීම වැනි උපක්‍රම භාවිත කිරීමට ගෙවතු හිමියන්ට සිදුවේ. පලතුරු මැස්සා, පිටි මකුණා ආදි කෘමී සතුන් ද රඹුටන් අස්වැන්නට හානි පමුණුවයි. 
වසර ගණනාවක් තිස්සේ රඹුටන් සමග දිවි සටන ගෙන යන එම්.ඩී. ප්‍රේමදාස වෙළෙඳාමේ රස, නීරස පිළිබඳව පැවසුවේ මෙවැනි අදහස්ය.
“මේ පාර රඹුටන් විකුණන වෙළෙන්ඳෝ වැඩිවෙලා තියෙනවා. අනිත් එක මේ කන්නේ රඹුටන් වාරෙත් ටිකක් දික්වෙලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් ජුලි මාසේ වෙනකොට රඹුටන් වාරේ ඉවරයි. මේක ලොකු තරගයක් වගේම අවධානමක් තියෙන වෙළෙඳාමක්. ගහෙන් කඩලා දවස් තුනක් විතර යනකොට රඹුටන් ගෙඩිය මැලවෙන්න ගන්නවා. ඊට පස්සේ විකුණන්න බෑ. මැලවෙන්න කලින් විකුණ ගන්න එක තමයි ලොකුම දේ. සමහරු තෝරලා තෝරලා ගොඩේ තියෙන ලොකුම රඹුටන් ගෙඩි ටික ගන්න තමයි බලන්නේ. පොඩි ගෙඩි ටික අවසානේ ඉතුරු වෙනවා. ඒවා ගන්න කවුරුවත් කැමැති නෑ. සමහර වෙලාවට නොකා, නොබී, රැයක්, දවාලක් නැතිව රඹුටන් මෙහෙට ගෙනැල්ලා විකුණන එකෙන් මහා ලොකු ලාබයක් නෑ. ගොඩක් මිනිස්සු මේ දේවල් ගැන දන්නේ නෑ.”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අප රට සඳහා නිර්දේශ කර ඇති ප්‍රධාන රඹුටන් ප්‍රභේද 3 ක් හඳුනාගත හැකිව තිබේ. එහෙත් රඹුටන් ප්‍රභේද 8 ක් පමණ මෙරට තුළ වගා කෙරෙන බව නිරීක්ෂණය කළ හැකිවේ. වර්තමානය විට ලංකාවේ ජනප්‍රියම රඹුටන් වර්ගය වන්නේ මල්වාන ස්පෙෂල් නම් ප්‍රභේදය යි. පලතුරු භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය වාණිජ වගාවක් සඳහා වඩාත් සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ද මෙම රඹුටන් වර්ගය යි.
මල්වාන ස්පෙෂල් ප්‍රභේදයට අයත් රඹුටන් ගෙඩියක් ඉදුණු විට තැඹිලි මිශ්‍ර රතු පැහැයෙන් යුතුවේ. රවුම් හැඩයක් ගන්නා ඵලය බරින් ග්‍රෑම් 40 ක් පමණවේ. මෙම වර්ගයේ මදය යුෂ අධික, පැණි රස සපිරි පහසුවෙන් ගැලවෙන ස්වභාවයෙන් යුතුවේ. මල්වාන ස්පෙෂල් ප්‍රභේදයට අයත් රඹුටන් අස්වැන්න නෙළීමෙන් පසුව දුර්වර්ණ නොවී දින 4 ත් 6 ත් අතර කාලයක් තබාගත හැකි බව කියැවේ. මැලයන් කහ නැමැති රඹුටන් ප්‍රභේදයත් වාණිජ වගා සඳහා නිර්දේශ කර තිබේ.
මෙම වර්ගයට අයත් රඹුටන් ගෙඩියක් ඉදුණු විට කහ පැහැයක් ගනු ලබයි. එමෙන්ම මැලයන් රතු, ජාවා ලබුකබෝලා, ජාවා ස්පෙෂල්, ජාවා සීඞ්ලස්, ජාවා සිමඞ්ජාන්, ජාවා සින්ජන්ජාන් ආදී රඹුටන් ප්‍රභේද ද මෙරට තුළ වගා කෙරේ. ප්‍රවාහනයේ දී සහ නිසි කල් තබාගැනීමේ වැඩපිළිවෙළක් නොවීමෙන් තවමත් මෙරට වාර්ෂික රඹුටන් අස්වැන්නෙන් සැලකිය යුතු කොටසක් අපතේ යයි. මෙම අස්වැන්න නිසි අන්දමින් රැකගතහොත් වගාවට උචිත මනා දේශගුණික තත්වයක් සහිත මෙරට රඹුටන් අපනයනය කිරීම දක්වා ගමන් කළ හැකිවේ. එහෙත් තවමත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් නොවීම අභාග්‍යයකි. 

 



අදහස් (0)

වාරය අවසානයේ රඹුටන් වෙළෙඳුන්ගේ ලාභ - අලාභ ගිණුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site