IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


වැඩිකළ කම්කරු වැටුප දෙන්න පුළුවන්ද?

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


වත්ත සම්පතකි. වත්ත අපේ රටට සම්පතක් වගේම අපේ දේශපාලඥයන්ටද සම්පතක් යයි කීවොත් එය මුසාවක් නොවේ. මැතිවරණයක් ළං ළංවත්ම රටේ වැඩි කතා බහ වතු කම්කරුවා ගැනය. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම ගැනය. නැත හොත් පහසුකම් පිළිබඳවය. පර්චස් හතේ ඉඩම් අයිතිය, නිවාස ගැටලු‍ව මේ කී නොකී කයිකතන්දර ඒ කාලයට මතුවෙමින් තිබේ. තමන්ගේ වැටුප් වැඩි කරදීම ඇතුළු ලබාදෙන්නේ යයි කියන අනෙක් පහසුකම් මත වතු කම්කරුවෝ මැතිවරණ කාලවලදී ඒ ඒ පක්ෂයට, ඒ ඒ දේශපාලනඥයාට සිය මනාපය දෙන්නෙ රොද බැඳගෙනය. ඒ තමන්ගේ වැටුපට කීයක් හෝ වැඩිවනු දැකීමටය. එය එදත් අදත් හෙටත් එසේමය.
මැතිවරණයක් අත පොවන මායිමක නැතත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වසර අවසන් වනවිට වතු කම්කරු වැටුප අනිවාර්යයෙන්ම රුපියල් 1750 කරන්නේ යයි ප්‍රසිද්ධ වේදිකාවේ කියද්දී ඒ උත්තේජනය දෙපිරිසකට දෙවිදියට දැනුණි. ඒ වතු කම්කරුවන් හා හාම්පුතුන්ය. සිය වැටුප ජනාධිපතිවරයා මූල්වී වැඩි කරන්නේ යයි කියමින් වතු කම්කරුවෝ සතුටු වෙති. දැනට දෙන වතු කම්කරු වැටුපවත් දී ගැනීමට නොහැකිව සිටින වතු හිමියෝ මෙයින් තිග්ගැස්සී සිටිති. මේ ප්‍රශ්නයට විසඳුම් අපට නම් ලබාදිය නොහැක.
විශාල වතු මෙහෙයවන සමාගම් කෙසේ වෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන් මේ යෝජිත වැටුප් වැඩි කිරීම පිළිබඳව සිටින්නේ කර කියා ගත දෙයක් නොහැකිවය. ඊට හේතු තිබේ. දැනට වතුවලින් හරිහමන් ආදායමක් නොලැබ ජනාධිපතිවරයා වැඩි කළයුතු බව කියන වතු කම්කරු වැටුප ගෙවීමය. වතු කම්කරු දෛනික වැටුප් වැඩි කිරීමේ අමතර බර රජය දරන්නේ නම් එය කළ හැකි බව ඔවුන්ගේ අදහසය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් නොකරන කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්ගේ සංගමය (TEOA) අවධාරණය කරන්නේ රජය විසින් වතු හිමියන්ගේ ආදායම් මාර්ග ඉහළ දැමීමට වැඩපිළිවෙළක් නොයොදා වතු කම්කරු වැටුප පමණක් ඉහළ දැමීම වතු කර්මාන්තයේ මල ගම බවය.
කුඩා සහ මධ්‍ය පරිමාණ වතු හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් කේ. ගුණවර්ධන මහතා (TEOA සභාපති):-
අපගේ සංගමය ලෙස ප්‍රධානම ගැටලු‍ව වන්නේ ‘අඩු ලාබ ආන්තිකය‘යි. විශාල සමාගම්වලට වඩා, කුඩා වතු හිමියන්ගේ නිෂ්පාදන වියදම ඉහළයි. වැදගත්ම කරුණ වන්නේ අප අතරින් බොහෝ දෙනෙක් ඉඩම් බදු පදනම මත නොව අධික මිලට මිලදී ගෙන ඇති අයයි. ඔවුන්ට වැටුප් වැඩිවීමත් සමගම පොලී සහ අනෙකුත් වියදම් දැරීම කළ නොහැකියි. මේ නිසා වැටුප් වැඩි කිරීමට පෙර රජය අපගේ ආදායම ඉහළ නැංවීමට සහාය විය යුතුමයි. වතු හිමියන්ට ඉතා සහනාදායී මිලකට පොහොර ලබාදීම වැනි කාර්ය කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුයි.
අරමුණ පෙරදැරිව අප රජයට ‘වැටුප් වර්ධක අරමුදලක්’ (Wage Increment Fund) පිහිටුවන ලෙස යෝජනා කරමු. එම අරමුදල මගින් වැටුප් වැඩිවීම හේතුවෙන් අපට දැරීමට සිදුවන අමතර බරෙන් වැඩි කොටසක් රජය විසින් මුල් කාලය සඳහා දායක විය යුතුයි. රජය වතුවල ආදායම වැඩි කරන තෙක් වැඩි වැටුප් බාරය දැරීම වැදගත් වෙනවා. ආදායම වැඩි වුණාට පසු අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්. කවුරුත් කැමැති නැහැ අපේ සේවකයන්ට අඩුවෙන් සලකන්න. ඒ අයගෙත් වැටුප් වැඩි වෙන්න ඕන. එහෙත් ආදායමක් නොමැතිව කොහොමද ඒක කරන්නේ. මේ වැටුප් වැඩිවීම කළොත් කර්මාන්තයට විශාල බලපෑමක්.
සංගමයේ භාණ්ඩාගාරික නිර්මාණ විජේසුන්දර මහතා:-
“අපට අවශ්‍ය වන්නේ ඵලදායිතාව සහ ගුණාත්මකභාවය මත පදනම් වූ ශ්‍රම බලකායක්. අපගේ යෝජනාව වන්නේ වතු කම්කරුවන් නව ලොවට ගැළපෙන ‘තාක්ෂණවේදීන්’ ලෙස පුහුණු කිරීමයි. දැනට අප සතුව සේවක දත්ත පද්ධතියක් නැහැ. පුහුණු කළ ශ්‍රමිකයන් එම දත්ත පද්ධතියට ඇතුළත් කර ඔවුන්ගේ කාර්යක්ෂමතාව සහ ශ්‍රේණිය අනුව වැටුප් ගෙවිය යුතුයි.
වසර ගණනාවක් තිස්සේ කතා කරන තෝරා දලු‍ නෙළීමේ යන්ත්‍රයක් හෝ අප රටට ගැළපෙන නවීන යන්ත්‍රෝපකරණ කඩිනමින් හඳුන්වා දිය යුතුයි. බොහෝ කුඩා වතු හිමියන් දලු‍ කඩා ගැනීමට කම්කරුවන් නොමැතිව තමන්ගේ වගා ඉඩම් අතහැර දමන තත්වයට පත්ව තිබෙනවා. මේ සඳහා වහාම විසඳුම් අවශයයි.”‍
සංගමයේ හිටපු සභාපති ශාන්ත ලියනගේ මහතා:-
“වතු ආර්ථිකයේ ප්‍රධානම අභියෝගය වන්නේ සිටින සේවකයන් මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහිවීම සහ අත්තිකාරම් මුදල් ලබාගෙන වතුවලින් පැන යෑමයි. මේවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපට සහායක් නැහැ. රජය විසින් වැටුප් වැඩි කිරීමට පෙර අපගේ ව්‍යාපාරික සුරක්ෂිතතාව සහතික කළ යුතුයි.
රජය සහනාධාර පොහොර ලබාදෙන බව පැවසුවද අද වනවිටත් එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක නැහැ. තවමත් වෙළෙඳපොළේ වැඩි මිලට පොහොර මිලදී ගැනීමට අපට සිදුවෙලා. මෙම තත්වය යටතේ නිෂ්පාදන වියදම පාලනය කිරීමට නොහැකිව අප දැඩි පීඩාවකට පත්ව සිටිනවා. විශේෂයෙන්ම විදුලි බිල ඉහළ යාම අපේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවෙලා තියෙනවා.
ජානක ජයනෙත්ති මහතා:-
අපගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ අපගේ ආදායම ඉහළ නැංවීමට තේ වෙන්දේසිය ඩොලර්වලින් පැවැත්වීමයි. මෙය අපනයන ආදායම සහ අපට ලැබෙන මිල වැඩි කිරීමට ඇති සෘජුම මාර්ගයයි.
ඊට අමතරව අප ලෝකයට තේවල ඇති සෞඛ්‍යමය වටිනාකම විශේෂයෙන්ම අපගේ පිරිසුදු තේවල ඇති ප්‍රතිඔක්සිකාරක සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ලෝක වෙළෙඳපොළට නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් අපට ඉහළ වාරික මිලක් (Premium Price) ලබාගත හැකියි. රජය මේ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළ යුතුයි. “බහුකාර්ය නිවාස සහ සංචාරක කර්මාන්තය බද්ධ කිරීමෙන් ආදායම වර්ධනය කර ගැනීමට රජය දායක විය යුතුයි. එවිට වතුවල ආදායම ඉහළ ගොස් වතු කම්කරු වැඩි වූ වැටුප අපිට දෙන්න පුළුවන්. එකපාරටම කොහොමද අපි වැටුප් වැඩි කරන්නේ. එහෙම කළොත් මේ කර්මාන්තය කඩා වැටේවී. මේ පිළිබඳව රජය දෙපාරක්වත් හිතන්න ඕන. 
රුවන් ජයසුන්දර මහතා (කාරක සභික):-
 සංගමයක් ලෙස අප යෝජනා කළේ ‘වතු නිවාස සංකල්පයෙන් බැහැරව‘ බහුකාර්ය නිවාස සංවර්ධනයකට යා යුතු බවයි. මෙම නිවාස සංචාරක කර්මාන්තයට ගැළපෙන ලෙස එනම් ‘හෝම් ස්ටේ’ ආකාරයට සකස් කළ යුතුයි. සේවකයාට නිවසක් ලබාදෙන අතරතුර ඉතිරි කොටස් සංචාරකයන්ට කුලියට දී වතු හිමියාට සහ කම්කරුවන්ට අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කළ හැකියි. රජය කළ යුත්තේ මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට මූල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දීමයි.”‍
මාලතී සම්පත් මහත්මිය:-
“රජය වැටුප් වැඩි කළාට ඒ බර කොතනින් දරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපේ ලාබය ඉතාම අඩුයි. මාසෙකට වැටුප් ගෙවන්න බැරි වුණාම අපේ වතු හිමියන්ගේ මානසික තත්වය මැනවින් වටහා ගන්න පුළුවන්. බැංකු ණය, දරු දැරියන්ගේ අධ්‍යාපනය මේ සියල්ලම අවදානමක. රජය මෙම බර අප මත පැටවීමෙන් අප තවත් ණය අගාධයකට තල්ලු‍ කරනවා. වැටුප වැඩි කරනවා නම් රජයම පොහොර නොමිලේ දීලා අපේ ආදායම් මාර්ග ස්ථාවර කරන්න ඕනේ.”‍
සම්පත් අතුකෝරල මහතා:-
“අද බොහෝ තේ ඉඩම් අතහැර දමනවා. දලු‍ කඩා ගැනීමට කම්කරුවන් නැති නිසා. මෙය ජාතික අපරාධයක්. කලක සිට ‘තෝරා දලු‍ නෙළීමේ යන්ත්‍රයක්’ හඳුන්වා දෙන බවට කීවත් එය තවමත් යථාර්ථයක් වී නැහැ. යම් යම් යන්ත්‍රෝපකරණ තිබුණත්, ඒවා අපේ රටේ භූමියට සහ තේ ගස්වලට ගැළපෙන ලෙස සංවර්ධනය කළ යුතුව තිබෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්ගේ සංගමය මෙම සියලු‍ යෝජනා අප සංගමය හරහා රජය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. අවධාරණය කරන්නේ වැටුප් වැඩි කිරීම මානුෂීය වුවත් එය ආර්ථික ශක්‍යතාව මත පදනම් විය යුතුයි. රජය වැටුප් වර්ධක අරමුදලක්, සංචාරක කර්මාන්තය හා බද්ධ වූ නිවාස සංවර්ධනය සහ කාර්යක්ෂමතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයක් වැනි යෝජනාව ක්‍රියාත්මක නොවෙන්නේ නම් වතු ආර්ථික “ඉඩම් හිමියන් පඩි ගෙවන්නේ කෙතරම් අමාරුවෙන්දැයි මා දන්නවා”‍
අශෝකා ගුණවර්ධන මහත්මිය:-
“මම වතු කීපයකටම දිනපතා සේවක සේවිකාවන් රැගෙන යනවා. ඇතැම් සේවකයන් වයසයි. එදිනෙදා වැඩට එන අය අඩු වැඩි වෙනවා. සමහර දිනවලට මම විතරයි වැඩට යන්නෙ. දලු‍ කැඩීමට සේවක හිඟය තදින්ම දැනෙන නිසා, වැඩි වැටුපක් ගෙවීමට සිදුවුවත් දලු‍ අතහැරෙන්න නොදී වැඩට ගන්නවා. දලු‍ පොත් සහ පඩි බෙදන කටයුතුවලට මා සම්බන්ධ වන නිසා ඉඩම් හිමියන් කෙතරම් අමාරුවෙන්ද වැටුප් ගෙවන්නේ යන්න මම හොඳින්ම දන්නවා. රජය මේ ආර්ථික පීඩනය තේරුම් ගත යුතුයි.”‍
මේ අතර සේවක හිඟය නිසා අපට තේ මණ්ඩලයේ ඉලක්ක වෙත ළඟාවීමට නොහැකියි. මේ තත්වය වෙනස් කළ යුතුයි. අප යෝජනා කරන්නේ වගාවෙන් ඔබ්බට ගොස් තේ ඇතුළු ව්‍යවසායකයන් සඳහා රජය අත දිය යුතු බවයි. එවිට සේවකයන්ට වැඩි වැටුපක් දීමට හැකි වනවා පමණක් නොව අපේ දූ දරුවන්ට ද ආකර්ෂණීය ක්ෂේත්‍රයක් ලෙස මෙම වගා කර්මාන්තය හඳුන්වා දීමට අපට පුළුවන්.

 

 



අදහස් (0)

වැඩිකළ කම්කරු වැටුප දෙන්න පුළුවන්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site