- දැඩි ශ්‍රම හිඟය රටේ ආර්ථික වර්ධනයට සහ විදේශ විනිමය ඉලක්ක සපුරා ගැනීමට විශාල බාධාවක්
- NCE සාමාජිකයන්ගෙන් බහුතරයක් සියලුම මට්ටම්වල රැකියා සඳහා සේවකයන් සොයා ගැනීමට නොහැකිව අර්බුදයකට මුහුණ දීලා
ශ්‍රී ලංකාවේ පවතින ශ්‍රම හිඟය ආර්ථිකයේ විවිධ අංශ හරහා ගැටලුවක් බවට පත්වෙමින් පවතින බවත්, විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රය තුළ කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය කුසලතා සහිත ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීම, පුහුණු කිරීම සහ රඳවා තබා ගැනීම අභියෝගයක් වී තිබෙන බවත් අපනයනකරුවන්ගේ ජාතික කවුන්සිලය (NCE) පවසයි.
ඒ අනුව ක්ෂණික ශ්‍රම අවශ්‍යතා සපුරාලීම කුසලතා සංවර්ධනය, ශ්‍රම බලකාය සැලසුම් කිරීම සහ සේවක රඳවා ගැනීම සඳහා දිගුකාලීන ආයෝජන සමග අත්වැල් බැඳ ගත යුතුව ඇතැයි එම කවුන්සිලය සඳහන් කරයි.
“ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ යෝජනා පිළිබඳව මෑතකදී ඇති වූ මහජන සාකච්ඡා මගින් මෙම ගැටලුව නැවත වරක් අවධානයට ලක් කර ඇත. එම සාකච්ඡාවලින් වැඩි කොටසක් එක් නිශ්චිත කර්මාන්තයක් කෙරෙහි අවධානය යොමු කර තිබුණද, ශ්‍රම හිඟය ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ඔබ්බට විහිදෙන ගැටලුවකි.“
මෙය හුදෙක් පුරප්පාඩු පිරවීම පිළිබඳ කාරණයක් පමණක් නොවන බව ඔවුන්ගේ අදහසයි. එය ශ්‍රම බලකායේ සහභාගීත්වය, කුසලතා සංවර්ධනය, ශ්‍රමිකයන්ගේ සංචලතාව සහ ඉදිරි වසරවලදී කර්මාන්තවලට අවශ්‍ය වන දේ සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය සැබවින්ම කොතරම් සූදානම්ද යන්න පිළිබඳ ප්‍රශ්න මතු කරයි.
“රටේ අපනයන ආදායම පුළුල් කිරීමට සහ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට නම් මෙම ගැටලු විසඳීම අත්‍යවශ්‍ය වේ.” කවුන්සිලය පවසයි.
මෙහිදී ප්‍රධාන වන්නේ දේශීය ශ්‍රම අවශ්‍යතා සහ විදේශ රැකියා අතර සමතුලිතතාව පවත්වා ගැනීමයි. 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 143,087 දෙනකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) 2026 වසර තුළ පමණක් ශ්‍රී ලාංකිකයන් 250,000 දෙනකුට විදේශ රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරයි.
තවද, ලොව පුරා සේවය කරන ලියාපදිංචි සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 1.07 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සතුව සිටින අතර, ඉන් වැඩිම පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේටය යන රටවල සේවය කරති.
“සංක්‍රමණය වීම අධෛර්යවත් නොකළ යුතු වුවද, මෙහිදී මග හැරී ඇති කරුණ වන්නේ සමීකරණයේ අනෙක් පැත්තයි. එනම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉතිරිව සිටින ශ්‍රම බළකාය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීමයි. අපනයන ක්ෂේත්‍රයේ ඇති සංඛ්‍යාලේඛනවලින් ද මෙම හිඩැස පෙන්නුම් කෙරේ. සාමාජික සමාගම් 700ක් පමණ නියෝජනය කරන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) තුළ පවා, විවිධ කුසලතා මට්ටම් සහ රැකියා වර්ග හරහා සේවකයන් බඳවා ගැනීමට එහි සාමාජිකයන්ගෙන් විශාල පිරිසක් දැනට දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති. විදේශ විනිමය ඉපැයීම් සඳහා ශ්‍රී ලංකාව බෙහෙවින් රඳා පවතින ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් සහ අවධානය යොමු කළ යුතු කරුණකි.”
2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ ශ්‍රී ලංකා ශ්‍රම බළකා සමීක්ෂණයට අනුව, රටේ ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතය සියයට 49.2ක් වූ අතර විරැකියා අනුපාතය සියයට 3.7ක් විය. සමස්ත සේවා නියුක්ත ජනගහනය මිලියන 8.1ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් සියයට 50.4ක් සේවා අංශයේ ද, සියයට 25.9ක් කර්මාන්ත අංශයේ ද, සියයට 23.7ක් කෘෂිකාර්මික අංශයේ ද නිරතව සිටියහ. වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව අතර විරැකියා අනුපාතය සියයට 16.1ක් වූ අතර, සියලුම වයස් කාණ්ඩවලදී පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ විරැකියා අනුපාතය ඉහළ මට්ටමක පැවතුණි.
“ගෝලීය ශ්‍රම සංක්‍රමණ රටා ද වෙනස් වී ඇත. අද වන විට රටවල් දක්ෂ ශ්‍රමිකයන් මෙන්ම විශේෂිත දැනුම සහ වෘත්තීය ප්‍රවීණතාව සහිත පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තරඟ කරයි. මෙම තත්වය හඳුනා ගනිමින්, රට තුළට ශ්‍රමිකයන් සංක්‍රමණය වීම පිළිබඳ ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම ප්‍රතිපත්තිය මගින් සංක්‍රමණය සඳහා වඩාත් පැහැදිලි යාන්ත්‍රණයක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ. ඊට වෘත්තීය සුදුසුකම් ඇගයීම සහ වීසා බලපත්‍ර ලබා දීමට පෙර සේවා බලපත්‍ර (work permits) නිකුත් කිරීම මෙන්ම, දේශීයව පහසුවෙන් ලබාගත නොහැකි විශේෂිත කුසලතා හඳුනා ගැනීම සහ හැකි සෑම විටම දේශීය ශ්‍රමිකයන්ට ප්‍රමුඛතාව ලබා දීම වැනි කරුණු ඇතුළත් වේ. මෙවැනි යාන්ත්‍රණයක් මගින් දිගුකාලීන ශ්‍රම බලකා සැලසුම්කරණයට ද සහාය විය හැකිය.” එම කවුන්සිලය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd