• මිනිරන් අපනයන විවිධාංගීකරණය අගය එකතු කිරීම හරහා ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා ගත හැකියි 

මෙරට පවතින අතිවිශාල මිනිරන් විභවය උපයෝගී කර ගනිමින් ඛනිජ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට සැලසුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. 

එහිදී අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්ව ශක්තිමත් කිරීමෙන් මෙම කටයුතු කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි. 

මෙම වැඩපිළිවෙළේ එක් අවස්ථාවක් ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාභාවික මිනිරන් (vein Graphite) නිෂ්පාදකයකු වන බෝගල මිනිරන් ලංකා පී එල් සී හි මිනිරන් කැණීම් සහ සැකසුම් මෙහෙයුම් නිරීක්ෂණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් පසුගියදා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබේ. 

මෙම සංචාරයෙන් භූගත කැණීම් නිස්සාරණය කිරීමේ සිට සැකසීම, ශේණිගත කිරීම, පිරිපහදු කිරීම සහ අපනයන සූදානම දක්වා වූ සමස්ත මිනිරන් අගය දාමය පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණු බව එම මණ්ඩලය පවසයි. මෙම නිරීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ අපනයන කාර්ය සාධනය ඉහළ නැංවීමට සහ ඉහළ වටිනාකමකින් යුත් මිනිරන් නිෂ්පාදන සඳහා ලෝකයේ සැපයුම්කරුවකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා වන උපාය මාර්ග සැකසීමට අපනයන සංවර්ධන මණ්ඩලයට සහාය ලැබෙනු ඇත. 

 “මෙම වැඩපිළිවෙළ ඛනිජ සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන මෙරට ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සමඟ සමපාත වෙයි.“ එම මණ්ඩලය සඳහන් කරයි. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්, ලෝක ප්‍රසිද්ධ මිනිරන්, අපනයන විවිධාංගීකරණය කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ අගය එකතු කිරීම හරහා ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට සැලකිය යුතු අවස්ථා සපයන බව ජාතික අපනයන සංවර්ධන සැලැස්මෙන්ද හදුනාගෙන ඇත. 

ස්වාභාවික මිනිරන් වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන ලොව එකම රට ශ්‍රී ලංකාව වන අතර, එය අතිශය ඉහළ කාබන් සංශුද්ධතාව සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම සුවිශේෂී ලක්ෂණ නිසා ශ්‍රී ලංකාවේ මිනිරන් සඳහා උසස් කාර්මික යෙදුම්, ලිහිසි තෙල්, කාබන් බුරුසු, බ්‍රේක් පෑඩ්, වර්තන ද්‍රව්‍ය (Refractories) සහ නැගී එන ග්‍රැෆීන් තාක්ෂණය සඳහා ඉහළ ඉල්ලු‍මක් පවතී.