බ්රිතාන්ය ගුවන් සේවයේ දකුණු ආසියානු කලාපයේ සාමාන්යාධිකාරී ඩේවිඩ් රයිට් Hayleys Advantis කළමනාකාර අධ්යක්ෂ රුවන් වෛද්යරත්න මහත්වරුන්
භානුක අමරසිංහ
බ්රිතාන්ය ගුවන් සේවයට (British Airways) ශ්රී ලංකාව සෑම විටම අතිශය වැදගත් වෙළෙඳපොළක් වන බවත්, කොවිඩ්-19 පසුව ශ්රී ලංකාව ආර්ථික වර්ධනයෙන් සහ සංචාරක පැමිණීම්වලින් ළඟා කර ගත් සාර්ථකත්වය නැවත ශ්රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට හේතුව වූ බවත් එම ගුවන් සේවයේ දකුණු ආසියානු කලාපයේ සාමාන්යාධිකාරී ඩේවිඩ් රයිට් මහතා පැවසීය.
වසර 11ක නිහැඬියාවකින් පසුව බ්රිතාන්ය ගුවන් සේවය යළිත් ශ්රී ලංකාව වෙත සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පසුගියදා කොළඹදී පැවැත් වූ මාධ්ය හමුවකදී ඒ මහතා මෙම කරුණු දක්වා සිටියේය.
“ශ්රී ලංකාව සහ බ්රිතාන්ය අතර ඉතාමත් ගැඹුරු සංස්කෘතික සහ ඓතිහාසික සම්බන්ධතාවක් තිබෙනවා. ඒ නිසාම ලංකාවේ වෙළෙඳපොළ ගැන අපි සෑම විටම ඇහැ යොමා ගෙන සිටියේ. ආසන්න වසර කිහිපයේදී අපි දැක්කා ලංකාව කොවිඩ්-19 න් පස්සේ ඉතාමත් හොඳ ආර්ථික වර්ධනයක් සහ සංචාරකයන්ගේ පැමිණීමක් වාර්තා කළා. ඒ නිසා නැවතත් ශ්රී ලංකාව වෙත අපගේ මෙහෙයුම් ආරම්භ කරන්න මේ ශීත ඍතුව හොඳම අවස්ථාව කියලා කල්පනා කළා.’’
ඒ අනුව සමස්ත ශීත ඍතු කාලය පුරා කොළඹ සහ ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපොළ අතර මෙම බ්රිතාන්ය ගුවන් සේවය සිය මෙහෙයුම් ක්රියාත්මක කිරීමට සූදානමින් සිටියි. එහිදී ගමන්වාරයක් සඳහා රුපියල් 255,000 කින් ආරම්භ වන විශේෂ වට්ටම් සහිත ගාස්තුවක් හඳුන්වාදී ඇතැයිද පවසයි. සති කිහිපයක් සඳහා ක්රියාත්මක වන මෙම ගාස්තුව ඉදිරි සාර්ථකත්වය අනුව තීරණය වනු ඇතැයිද ඩේවිඩ් රයිට් මහතා සඳහන් කළේය.
පෙර අවස්ථාවේදී මෙන් නොව මෙවර බ්රිතාන්ය ගුවන් සේවය ශ්රී ලංකාව හරහා මාලදිවයින වෙත පියාසර කිරීමකින් තොරව ඍජුවම දෙරට අතර පමණක් ගුවන් ගමන් සිදු කිරීම විශේෂත්වයකි. එසේම මගී ප්රවාහනයට අමතරව භාණ්ඩ ප්රවාහනය සඳහාද බ්රිතාන්ය ගුවන් සේවය කටයුතු යොදා තිබේ.
මෙහිදී බ්රිතාන්ය ගුවන් සේවයේ ශ්රී ලංකාව තුළ ප්රධාන විකුණුම් නියෝජිතයා (GSA) ලෙස Hayleys Advantis කටයුතු කරන අතර, එම ගුවන් සේවයේ වාණිජ සහ විකුණුම් මෙහෙයුම් සඳහා සහාය දෙන්නේද එම සමාගමයි.
මෙහිදී අදහස් දැක් වූ Hayleys Advantis කළමනාකාර අධ්යක්ෂ රුවන් වෛද්යරත්න, ගුවන් සේවය නැවත මෙරටට පැමිණිම හරහා ඉහළ වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් මෙරටට පැමිණේවි. එය සංචාරක කර්මාන්තයට ශක්තියක්. ඒ වගේම භාණ්ඩ ප්රවාහනයට පහසුකම් සැලසීම හරහා ඇගලුම් ඇතුළුව මෙරට යුරෝපා කලාපයේ අපනයනකරුවන්ටත් එය වාසියක් වේවි.“ යනුවෙන් සඳහන් කළේය.
සතියකට දින තුනක් ක්රියාත්මක වන මෙම ගුවන් ගමන් සේවාව සඳහා British Airways හි බෝයිං 777 වර්ගයේ ගුවන් යානා යොදා ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd