• කර්මාන්ත සංවර්ධනය සඳහා නව කර්මාන්ත කලාප  18ක් ස්ථාපිත කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඉදිරියට ගමන් කරමින්, ජාත්‍යන්තර ආයෝජන, කර්මාන්ත සංවර්ධනය සහ වෙළෙඳ හවුල්කාරිත්ව ඔස්සේ කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සිය රජයේ දැක්ම බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවකු වීමට ලෝකයට ආරාධනා කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

පසුගියදා නවදිල්ලි නුවරදී පැවැත් වුණු  NDTV World Summit  2026 සමුළුවේදී “Sri Lanka’s Economic Reset: Recovery, Resilience and the Road Ahead”  යන සැසියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දක්වා තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ දැක්ම ඒ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සතුව වෙළෙඳාම, පර්‌යේෂණ හා සංවර්ධනය, තාක්ෂණය සහ දක්ෂ මානව සම්පත පදනම් කරගත් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පෙන්වා දී ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා,  ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමට සහාය වීමෙන් ඔබ්බට ගොස් එහි ඉදිරි වර්ධනයේ හවුල්කරුවන් බවට පත්වන ලෙස ජාත්‍යන්තර ආයෝජකයන්ට ආරාධනා කර තිබේ.

එහිදී කර්මාන්ත සංවර්ධනය සඳහා නව කර්මාන්ත කලාප 18ක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳව සඳහන් කර ඇති ඒ මහතා, ශ්‍රී ලාංකික ව්‍යාපාර සමග හවුල්කාරිත්වයන් ඇති කරගැනීම, තාක්ෂණ හුවමාරුව සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා විදේශීය සමාගම්වලට පවතින අවස්ථාද අවධාරණය කර තිබේ.

මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්මික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, නිෂ්පාදන කර්මාන්ත, කෘෂි අගය එකතු කිරීම, සැපයුම් දාම, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල දෙරටටම ප්‍රතිලාභ අත්කරගත හැකි බව සඳහන් කර තිබේ.

ආයෝජන ක්‍රියාවලීන් සරල කිරීම, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සහ පැහැදිලි නියාමන ක්‍රමවේද හඳුන්වාදීම මගින් ආයෝජකයන්ට වඩාත් පහසු ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පවසා ඇත.