- 2025 දී ඉන්දියාවෙන් පමණක් MICE+ ව්යාපාරික ඉසව් සඳහා 62,446ක් පැමිණිලා
- මුල් ස්ථාන 10 පසුවන යුරෝපා රටවල් 6 කින් පැමිණි ගණන 44,665ක්
විදෙස් ව්යාපාරික සමාගම් හෝ පුද්ගල කණ්ඩායම් මෙරට තුළ සංවිධානය කරන ව්යාපාරික හමුවීම්, දිරිගැන්වීමේ සංචාර, දැවැන්ත සමුළු සහ ව්යාපාරික ඉසව් සහ ප්රදර්ශන ඇතුළත් MICE (Meetings, Incentives, Conferences සහ Exhibitions) ඉසව් සඳහා වැඩිම දායකත්වය ඉන්දියාවෙන් ලැබෙන බව ශ්රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau) නිකුත් කළ දත්ත තුළ සටහන්ව තිබේ.
ඒ අනුව 2025 වසරේදී පැවැත් වුණු MICE + ව්යාපාරික ඉසව් සඳහා පැමිණි සංචාරකයන් අතරින් වැඩිම ප්රමාණය වන 62,446ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය එම වසරේදී ඉන්දියාවෙන් පැමිණි සමස්ත සංචාරකයන් 531,511ක් අතරින් සියයට 11.75 ක ප්රතිශතයකි.
එසේම දෙවැනියට වැඩිම සංචාරකයන් පිරිස ලෙස රුසියාවෙන් 20,571 දෙනකු පැමිණ තිබේ.
එය රුසියාවෙන් පැමිණි සමස්ත සංචාරකයන් 186,580 අතරින් සියයට 11,03 කි. තෙවැනි තැන පසුවන චීනයෙන් MICE ඉසව් සඳහා සංචාරකයන් 10,809 දෙනකු පැමිණ ඇති අතර, එය 132,035 ක සමස්ත චීන සංචාරකයන් ගෙන් සියයට 8.19 ක ප්රතිශතයකි.
මීට අමතරව ප්රංශයෙන් 9,982ක්, පෝලන්තයෙන් 8,907ක්, එක්සත් රාජධානියෙන් 8,020ක්, ජර්මනියෙන් 7,709ක්, එක්සත් ජනපදයෙන් 6,116ක්, ස්පාඤ්ඤයෙන් 5,131ක් සහ ඉතාලියෙන් 4,916ක් ලෙස MICE + ව්යාපාරික ඉසව් සඳහා මෙලෙස සංචාරකයන් පැමිණ තිබේ.
ඒ අනුව ඉන්දියාවට අමතරව යුරෝපා කලාපයෙන් මෙම MICE+ ව්යපාරික ඉසව් සඳහා පැමිණි සංචාරකයන් සංඛ්යාවේ එකතුව 44,665කි.
මේ අතර මෙරට තුළ MICE +ව්යාපාරික ඉසව් සංවිධානය කිරීම සඳහා වන විභවතාවක් ඇති වෙළෙඳපොළ හතරක්ද හඳුනාගෙන ඇතැයි ශ්රී ලංකා සම්මේලන කාර්යාංශය පවසයි.
ඒ අනුව දැනට මුල් 20 දෙනා අතර සිටින බංග්ලාදේශය සහ පාකිස්තානය එහි ප්රධාන වෙයි. මිට අමතරව වියට්නාමය සහ සිංගප්පූරුවත් එවැනි වෙළෙඳපොළ බව හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd