රටවල් 108ක සිසු දැරියන් එක්ව ප්‍රථම වරට චන්ද්‍රිකාවක් සැලසුම් කර නිර්මාණය කිරීමේ පෙරළිකාර ව්‍යාපෘතියකට සහභාගී වීම සඳහා  ලංකාවේ නිල ශිෂ්‍ය නියෝජිත සනීසා ගුණවර්ධන සහ ලංකාව සඳහා ShakthiSAT (Devi) තානාපති ආචාර්ය සුලෝචනා සේගෙරා වෙත ඉන්දියාවට යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, ‘Mission ShakthiSAT’ චාරිකාව සාර්ථක කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) අනුග්‍රහය දක්වයි. 

තරුණ පරපුරේ සිහින සැබෑ කරගැනීම සඳහා ඔවුන්ව සවිබල ගැන්වීම, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්වල මූලික අරමුණක් වී ඇත. වසර ගණනාවක් පුරා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ඇතුළු පාසල් රැසක් සමග එක්ව කටයුතු කරමින්, දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් යහපත් කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සේවය දායක වී ඇත.

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව හඳුන්වා දීම සඳහා සකස් කරන ලද විශේෂිතSTEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත) අධ්‍යාපන වැඩසටහන සඳහා  ලාංකික පාසල් සිසුවියන් 200කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ඉතා තරගකාරී ජාතික තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව සෙනීසා ගුණවර්ධන තෝරා ගන්නා ලදී.  මෙම වැඩසටහන ලංකාව තුළ හඳුන්වා දෙන ලද්දේ “Space Kidz India” හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ආචාර්ය ශ්‍රීමති කේසන් (Dr. Srimathy Kesan) විසිනි. ලොව විශාලතම අධ්‍යාපනික චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා වැඩසටහන් මෙහෙයවීම සම්බන්ධයෙන් ඇය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව සිටී. 

Mission ShakthiSAT හි මීළඟ අදියර 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ‘Gautam Buddha University’  හිදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ජාත්‍යන්තර ශිෂ්‍ය නියෝජිතයන් එක්ව උසස් මට්ටමේ චන්ද්‍රිකා ඒකාබද්ධ කිරීමේ කටයුතු, නායකත්ව සංවර්ධන වැඩසටහන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ ජාත්‍යන්තර STEM  වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත. චන්ද්‍රිකාව 2026 සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය තුළ අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකාර දීපාල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “මෙම සුවිශේෂී ගමනේදී සෙනීසා ගුණවර්ධන සහ ආචාර්ය සුලෝචනා සේගේරාට සහාය වීමට සහ ShakthiSAT මෙහෙයුමට ලංකාවේ සහභාගීත්වයට දායක වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. සෙනීසා දියණියගේ ජයග්‍රහණය දිවයින පුරා සිටින අපගේ දරුවන්ට අධිෂ්ඨානයෙන් හා නොපසුබට උත්සාහයෙන් තම ඉලක්ක සපුරා ගත හැකි බව විශ්වාස කිරීමට පෙළඹෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉගෙනීමට, ඔවුන්ගේ අභිලාෂ අරමුණක් ඇතිව හඹා යාමට සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රායෝජන ගැනීමට අපි සිසු දරුවන් දිරිමත් කරන්නෙමු. ජාතික ගුවන් සේවය ලෙස, මෙම පුරෝගාමී මෙහෙයුමට සහාය වීමටත්, අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධ ජාත්‍යන්තර වේදිකාවක  ලාංකික දායකත්වය ලබාදීමට හැකිවීම දැකීමත් අපට මහත් ආඩම්බරයක් .”

මෙම අවස්ථාව පිළිබඳ සිය උද්‍යෝගයක් පළ කරමින් සනීසා ගුණවර්ධන පැවසුවේ, “ShakthiSAT අභ්‍යවකාශ ගමනේදී ලංකාව නියෝජනය කිරීමට තෝරා ගැනීම සැබෑවූ සිහිනයක් වගේම, මෙම ජාත්‍යන්තර මෙහෙයුමේදී මගේ රටේ නම රැගෙන යාම පිළිබඳව මට ඉමහත් ආඩම්බරයක් දැනෙනවා. වයස අවුරුදු 18ක් වන මට, මෙම අත්දැකීම මගින් අපි සිහින දැකීමට නිර්භීත වන විට තරුණියන්ට ළඟා විය හැකි දේවල් සඳහා සීමාවක් නොමැති බව නැවතත් සිහිපත් කරනවා. අපගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කරමින් මෙම ගමන ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව ද මම ආඩම්බර වෙනවා. විද්‍යාව, තාක්ෂණය සහ අභ්‍යාවකාශ ක්ෂේත්‍රය වෙත යොමු වීමටත්, තමන්ටත් තාරකා වෙත ළඟා විය හැකි බව විශ්වාස කිරීමටත්  ලාංකික තරුණියන් දිරිමත් කිරීමට මගේ මෙම ගමන හේතු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” 

දරුවන්ට ගුවන් සේවා ක්‍ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථා නිර්මාණය කිරීමේ සිට අධ්‍යාපනික ක්ෂේත්‍ර චාරිකා සඳහා සහාය වීම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පහසුකම්, ඉගෙනුම් ආධාරක සහ පාසල් උපකරණ ලබා දීම, යහපැවැත්ම පිළිබඳ වැඩමුළු සංවිධානය කිරීම සහ පාසල් තුළ ක්‍රීඩා කුසලතා සංවර්ධනයට සහාය වීම දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය අධ්‍යාපනය සහ තරුණ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටී. අද වන විට, STEM අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කරමින් විශේෂයෙන් ගැහැනු ළමයින්ට, ඔවුන් සිතූ සීමාවන් ඉක්මවා හැකියාවන් ගවේෂණය කිරීමට පෙළඹවීම සඳහා ක්‍රියාත්මක මෙම පුරෝගාමී ගෝලීය ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය අද ආඩම්බර වේ.