මුදල් ඉපයීම සහ ඔබට වඩා කල් පවතින යමක් ගොඩනැගීම අතර මූලික වෙනසක් පවතී.

ඇතැම් ව්‍යවසායකයන් ධනවතුන් බවට පත් වන්නේ, විශේෂිත අවදානමක් ගැනීමෙන්, අසාමාන්‍ය අවස්ථාවක් යම් මොහොතක වාසියට හරවා ගැනීමෙන් හෝ බලසම්පන්න ජාල රටාවක් සහ සබඳතා වාසිදායක අයුරින් ඉවහල් කර ගැනීමෙනි. අනෙක් අය, නිරන්තරව නොසැලී, යම් මතයක් දැඩිව දරා ගනිමින් සහ මතු එළැඹෙන කාර්තුවට ඔබ්බෙන් දැකීමේ හැකියාව භාවිතා කර ගඩොලෙන් ගඩොල තබා ක්‍රම ක්‍රමයෙන්, ටිකෙන් ටික  තම වාසනාවත් කීර්ති නාමයත් ගොඩනගා ගනිති.

වඩාත් වටිනා පාඩම් කියාදෙන්නේ අවසානයේ කී කණ්ඩායමයි.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථකත්වයට පත් ව්‍යවසායකයන් කිහිප දෙනකු සමග අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින්ද ඇතුළුව  සමීපව වැඩ කිරීමේ වරප්‍රසාදය මට හිමිවූයේය. ඔවුන් තමන්ගේ ගමන් මාර්ගය ගැන සම්මුඛ සාකච්ඡා, සංවාද  හා කාර්මික සංසද හරහා, නොවළහා කියන දෑ ඇසීමේ අවස්ථාවද මට ලැබී තිබේ.

උදාහරණයකට 2018 FT - ICCSL- CIMA Fireside Chat, මෙම ව්‍යාපාර නායකයන් රාශියක් චිරාගත කළමනාකරණ දැනුමෙන් ඔබ්බට යමින්, අභිප්‍රේරණය ලැබූ ආකාරය, පසුබෑම් සහ සාර්ථකත්වය පසුපස තිබූ දැඩි විශ්වාසද හෙළිදරව් කරමින් තම  අත්දැකීම් බෙදා හදාගත්තෝය.  වඩාත් මෑතකදී SLID 2026 Fireside Chat, සංවාදයේදී, ව්‍යාපාර නායකයන් තමන්ගේ ව්‍යවසායාත්මක ගමන සහ මතවාද ගැන කියන කතාවලට සෘජුවම සවන් දීමේ තවත් අවස්ථාවක් උදා වූයේය.

ව්‍යාපාරික වෘත්තීය ජීවිතය සමීපව නිරීක්‍ෂණය කරන්නට මට අවස්ථාව ලැබුණ අය අතර, දිවංගත හැරී ජයවර්ධන, අබාන් පෙස්ටොන්ජී, බිනෝද් චෞධරී, සුමල් පෙරේරා, දිවංගත මෙරිල් ජේ ප්‍රනාන්දු, සොහ්ලි කැප්ටන් සහ චන්ද්‍රා ෂාෆ්ටර් යන අය වූහ.

එසේම, දිවංගත රාජාමහේන්ද්‍රන්, ධම්මික පෙරේරා, රංජිත් පේජ්, අක්බාරලි, දමිත් රත්නායක, අශෝක් පතිරගේ, දිවංගත උපාලි විජේවර්ධන සහ ඉෂාර නානායක්කාර අනෙකුත්  ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝද ඒ අතර වූහ. ස්පා සිලෝන් වැනි මෙරට ගොඩනැගුණු සන්නාමද ඒ අතර විය. ඔවුන්ගේ ව්‍යාපාර සහ සන්නාම එකිනෙකට බොහෝ සෙයින් වෙනස්ය. එහෙත් ඒ වෙනස්කම් යටින් දිවෙන පොදු ලක්ෂණ ගණනාවක් පවතී.  ඔවුහු හුදෙක් කොම්පැනි ගොඩනැගුවෝ නොවෙති. ඔවුහු සන්නාම, ආයතන, ජනතාව සහ අවසාන වශයෙන් උරුමයන් ද ගොඩනැගුවෝය. ඔවුන් ගෙන් බොහෝ දෙනකු සාර්ථකත්වය අත්කර ගත්තේ නිරන්තරව එය ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවෙන් තොරවීම වඩාත් වැදගත් කාරණයකි.

 ක්‍රියාත්මක කිරීමෙන් තොර දැක්මේ වටිනාකමක් නැත 

සැම දෙනාට නිශ්චිතව පෙනෙන්නට පෙර සාර්ථක ව්‍යාපාරිකයෝ ශඛ්‍යතා කල්තියා දකින ප්‍රවණතාවක් පවතී. එහෙත් දැක්ම පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ.  හුදෙක් අභිලාෂය තිබීමෙන් පමණක්, සුවිශේෂ පුද්ගලයන් වෙනස් වන්නේ යම් අදහසක් මෙහෙයුම් කරන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවෙනි.

අබාන් පෙස්ටොන්ජි සහ දිවංගත මෙරිල් ජේ ප්‍රනාන්දු තම ව්‍යාපාර ගොඩනගා ගත්තේ ඔවුන් ගැඹුරින් විශ්වාස කළ අදහස් වටාය. ඔවුන්ගේ සන්නාම හුදෙක් වාණිජමය ප්‍රස්තුත පමණක් නොවේ. ඔවුන්ගේ මෙහෙයුම් තුළම ගෙත්තම් වී, ඊට කා වැදී තිබුණු ඇගයුම් සහ දැඩි විශ්වාස  ඒවායින් පිළිබිඹු වන්නේය.

විශේෂයෙන් ප්‍රනාන්දු, පාරිභෝගික භාණ්ඩ අපනයනයෙන් පමණක් ගෝලීය  වශයෙන් ශ්‍රී ලංකාවට තරග කළ නොහැකි බව වටහා ගත්තේය. සිලෝන් ටී (ලාංකීය තේ) වල ගුණාත්මක බව සහ ඓතිහාසික සම්භවය වටා පවතින සන්නාමය ගොඩනැගීමද ඒ සඳහා අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහා පරිකල්පනයට වඩා දෙයක් අවශ්‍ය වේ. ඊට ශික්ෂණයක්, ඉවසීමක් සහ නිර්දය ලෙස ක්‍රියාත්මක  කිරීමක් අවශ්‍යය.

 බලපෑමට පෙර වෙනස්වන්න 

ව්‍යාපාරික පරිසරය එක තැන ඇනහිට තිබෙන්නේ කලාතුරකිනි. වෙළෙඳපොළ පරිණාමනය වේ. තාක්ෂණය දියුණු වේ. පාරිභෝගික රුචිය වෙනස් වේ. බලාපොරොත්තු නොවූ විරූ අයුරින් තරගකරුවන් මතුවේ.

වඩාත් ප්‍රබල ව්‍යාපාරිකයන්, තමන්ගේ දොරකඩට බාධා පැමිණෙනතුරු බලා සිටින්නේ නැත. ඔවුහු ඒවා අපේක්ෂාවෙන් සිටිති.

වෙනස්වීමට හුරු වීම කෙරේ පවතින මෙම හැකියාවට  සුමල් පෙරේරා, ඇක්සෙස් ඉංජිනියරිං ආයතනය සමග ගිය ගමනෙන් කදිම උදාහරණයක් සපයා දෙයි. ඔහුගේ ව්‍යාපාරඉදිකිරීම් අංශයේ විවිධ චක්‍රයන් සමග දියත් වූයේය. අතීත සාර්ථකත්වයේ සිරකරුවන් ලෙස පසුවනවාට වඩා යටිතල පහසුකම් සහ දේපළ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවස්ථා සොයමින් පසු වීම වඩාත් යෝග්‍ය වූයේය.

ඒ හා සමාන වූ ප්‍රායෝගික ප්‍රවේශයක් හැරී ජයවර්ධන අනුගමනය කළේය. ඔහුගේ එක් නිරීක්ෂණයක් හෙතෙම මා ඉදිරියේ කියා පෑවේය.”‍ අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා ඉටිපන්දමක් දැල්වීම වඩාත් හොඳය.”‍

එම වැකිය තුළ ප්‍රබල ව්‍යවසායමය දර්ශනයක් ගැබ් වී තිබේ. පවතින තත්වය ගැන මැසිවිලි නොදොඩා ක්‍රියාත්මක විය යුතුය. ඔරොත්තු දීමේ සවිමත් බව පමණක් පැවැත්ම උදෙසා ප්‍රමාණවත් නොවන්නේය. වැරදී ගියේ කුමක්ද යන්න ගැන අනික් අය වාද විවාද කරමින් සිටියදී කටයුතු කිරීම සඳහා ආත්ම විශ්වාසය පැවතීමද ඊට අයත් වන්නේය.

 අවදානම ගනුව - එහෙත් ගණන්  මිමි බලා එසේ කළ යුතුය 

අවදානමෙන් තොර ව්‍යවසායකත්වයක් තිබිය නොහැකිය.  එහෙත් එකී ධෛර්යය, නොසැලකිල්ල හා සමාන වූවක් නොවන බව සාර්ථක ව්‍යවසායකයෝ වටහා ගනිති.

හැරී ජයවර්ධන ඔහුගේ ව්‍යාපාරික වෘත්තීය ජීවිතයේ වැඩි හරියක්  ගොඩනගා ගත්තේ ගණන් මිමි සලකා බැලූ පරදුවට තැබීම් හෙවත් ඔට්ටු මතය. ඔහු නිරන්තරයේම ප්‍රවිෂ්ඨ වූයේ ප්‍රතිඵල නිශ්චිතව පෙනෙන දුරින් බොහෝ ඈත පැවති  ව්‍යාපාර වෙතය. එවැනි තීරණ ගැනීම සඳහා  තීන්දු ගැනීමේ හැකියාව අවශ්‍ය වේ. එහිදී කිනම් විටෙක යා යුතුද, කිනම් විටෙක නැවතී කල්බැලිය යුතුද, යා යුතු දිසාව කොයි වේලේ මාරු කළයුතුද යන්න දත යුතුය.

බිනෝද් චෞධරී ශ්‍රී ලංකාවේ කළ ආයෝජනවල එවැනිම ලක්ෂණ දිස්වේ. පවතින චිරාගත සීමාවලට ඔබ්බෙන් අවස්ථා දැකීමේ හැකියාවකින් යුතුව, සහ අනික් අය ඇතැම් විට යෙදීමට දෙගිඩියාවට පත්වන ප්‍රාග්ධනය  කැපකිරීමේ විශ්වාසයෙන් ඔහු කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරය වෙත චන්ද්‍රා ෂාෆ්ටර් දැක්වූ දායකත්වයෙන්ද ඒ හා සමාන වූ ව්‍යවසායමය පරිඥානයක් පිළිබිඹුවේ. තිරසාර ලෙස ජන ශක්ති ආයතනය  ගොඩනැගීමේ ලා, ස්ථාපිත වූ වෙළෙඳපොළට අභියෝග කිරීමේ සහ අවස්ථා නිතරම පැහැදිලිව නොපෙනෙන අංශයක් තුළ, නව ආයතනයක් නිර්මාණය කිරීමේ හැකියාවත් තිබිය යුතුය.

ලැබෙන පාඩම වඩාත් බැරෑරුම් වූවකි. හොඳම ව්‍යවසායකයෝ  විශාල අවදානමක් ගත් උදවියම  නොවූහ. එය අත්‍යවශ්‍යම කටයුත්තක් නොවීය. හොඳම ව්‍යවසායකයෝ නම් අවදානමේ ප්‍රතිඵලය දැන දැනම ඒ අනුව ක්‍රියා කරන්නට ධෛර්ය ඇත්තෝය.

 ගුණාත්මක බව පවත්වාගෙන,  නිරතුරුවම සන්නාමයේ ‌ අංගයක් විය යුතුය 

මිල තුළින් හෝ ප්‍රචාරක ප්‍රවර්ධනවලින් හෝ නවතාවෙන් යම්  ව්‍යාපාරයකට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගත හැකිය. නිරන්තරයෙන්ම ගුණාත්මක බව පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ පක්ෂපාතී බව ව්‍යාපාරය විසින් දිනා ගනු ලබයි.

මෙය කැපී පෙනෙන ලෙස මෙරිල් ජේ ප්‍රනාන්දු  වටහාගෙන තිබිණි.  ගුණාත්මක බව, ප්‍රභවය, සහ විශ්වාසවන්ත බව ආදිය ඔහු අඛණ්ඩව පවත්වා ගැනීම  ශ්‍රී ලාංකීය තේ හුදු පාරිභෝගික භාණ්ඩයක තත්වයේ සිට ගෝලීය  වශයෙන් පිළිගත් සන්නාමයක් බවට පරිවර්තනය වීමට උපකාරී වූයේය. එම මූලධර්මය නිෂ්පාදනය පරයා ඉන් ඔබ්බට ගිය එකකි. එය සේවාවට සංස්කෘතියට, පාලනයට සහ කීර්ති නාමයට අදාළ වූවකි.

අති ප්‍රබල ව්‍යාපාරයකින්,  පාරිභෝගිකයන්ට, සේවකයන්ට සහ ආයෝජකයන්ට විශ්වාස කළ හැකි, ස්ථිර නොවෙනස් බවක්   ගොඩනැගෙන්නේය. වෙළෙඳපොළ වෙනස් වෙන ගානේ ඔවුහු සිය හර පද්ධති නැවත හඳුන්වා නොදෙති.

මූල්‍යමය කාර්ය සාධනය සහ සමාජ බලපෑම අන්‍යොන්‍ය වශයෙන්  එකිනෙක බැහැර නොවන බව ඔරොත්තු දෙන සවිමත් බව නිරන්තරයෙන් වැඩිවෙන ව්‍යාපාර, විසින් හඳුනාගනු ලබයි.

ව්‍යාපාරික උරුමය කොටස් හිමියන් ගෙන් ඔබ්බට යන ආකාරය, MJM Foundation ආදර්ශමත්ව පෙන්වා දෙයි.

විශාල ව්‍යවසායයන්ට, තමන් මෙහෙයුම්වල යෙදෙන්නා වූ ප්‍රජාවට බලපෑම් කරමින්, රැකියා නිර්මාණය කර, සංවර්ධනය කළ හැක්කේ කෙසේද යන්න, MAS හෝල්ඩිංස් හා බ්‍රැන්ඩික්ස් ආයතන හා බැඳුණු වැඩවලින් ඒ හා සමානවම ප්‍රදර්ශනය වන්නේය.

මෙම දර්ශනයේ තවත් මානයක් සොහ්ලි කැප්ටන් නියෝජනය කළේය. ඔහුගේ ව්‍යාපාර දායකත්වය, මානව හිතවාදය සහ ප්‍රජා සේවාව කෙරේ වූ කැපවීමක් එක් කොට ගත්තකි.ඔහුට අනුව සාර්ථකත්වය මනිනු ලැබුවේ හුදෙක් එක්කාසු කර ගත හැකි දෙයින් පමණක් නොවේ. පෙරළා ආපසු දෙන්නේ කුමක්ද යන්නද එම මැනීමට අයත් වූයේය.

 ව්‍යාපාර පමණක් නොව, ජනතාව  උන්නතිය කරා නැංවිය යුතුය 

ඇතැම් විට වඩාත් වැදගත් වූ පාඩම වන්නේ කල්පවත්නා ආයතනයක් තනිව ගොඩනැගූ කිසිම ව්‍යවසායකයකු නොමැත්තේය යන්නය.

සෑම ශක්තිමත් කොම්පැනියක් පසුබිමේම එහි දැක්ම ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇති කණ්ඩායමක් ඇත්තේය. හොඳ ව්‍යවසායකයෝ එම දක්ෂතාව, සරලව ශේෂ පත්‍රයේ දැක්වෙන්නා වූ පිරිවැයක් නොවන බව වටහා ගනිති. එය විවිධ සංයෝගවලින් එකට මිශ්‍ර වූ වත්කමකි.

මිනිසුන් විශ්වාස කරනු ලැබූ, අභියෝග කරනු ලැබූ සහ වර්ධනය වීම උදෙසා පිරිනමනු ලැබූ අවස්ථා සහිත සංස්කෘතියක් ඔවුහු නිර්මාණය කරති. ඔවුහු  ප්‍රාරම්භකයාට එහා ගිය, ඔහු හා කරට කර වගකීම් දැරිය හැකි නායකයන් නිර්මාණය කරති.

ජනතාව තුළ කරනු ලැබූ ආයෝජන සංවිධානාත්මක සංවර්ධනයට කේන්ද්‍රගත වන අතර තුර ඔවුන් මෙහෙයුම් කරනු ලබන ප්‍රජාවට සෑහෙන තරමින් දායකත්වය දරන්නා වූ ව්‍යාපාරවලට ප්‍රබල නිදර්ශන ඵ් සහ බ්‍රැන්ඩික්ස් ආයතන විසින් සපයනු ලබයි.

යම් කොම්පැනියක් ප්‍රාරම්භකයාගේ ව්‍යාපාරයක් ලෙස පවතින්නේද නැතහොත් ආයතනයක් බවට පත්වන්නේ ද යන්න අවසාන වශයෙන් එයින්  තීරණය  කෙරේ.

 සාර්ථකත්වයේ සැබෑ මිම්ම 

මෙම ව්‍යවසායකයන්ගේ ගති ලක්ෂණ තීරණය කෙරෙනුයේ ඔවුන් උපයාගත් මුදල් ප්‍රමාණයෙන් නොවේ.

එය තීරණය වන්නේ එසේ උපයා ගැනීමෙන් අනතුරුව කුමක් ශේෂ වී පවතින්නේද යන කාරණයෙනි.

ශ්‍රී ලංකාවටත් එපිටින් පිළිගැනීමට ලක් වූ සන්නාම ඔවුහු නිර්මාණය කළහ.ඔවුහු කර්මාන්ත පරිවර්තනයට ලක් කළහ. ඔවුහු රැකියා උත්පාදනය කළහ.ඔවුහු කළමනාකාරවරුන්ගේ සහ ව්‍යවසායකයන්ගේ පරම්පරා ගොඩනැගූවෝය. ඔවුහු ප්‍රජා සත්කාරය කළහ. එසේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ කෙසේද යන්න නැවත හැඩගැස්වීමට ඔවුහු විවිධාකාරයෙන් උපකාර කළහ.

එය හුදෙක් ධනය ගොඩ ගසා ගැනීමෙන් සාර්ථකත්වයට පත්වීමට වඩා වෙනස් වූ නිර්වචනයකි.

සෑම ආර්ථිකයක මෙන්ම ශ්‍රී  ලංකාවේද ව්‍යාපාරවලින් හිඟයක් නොවීය. රටට අවශ්‍ය වන්නේ වඩ වඩාත් ආයතනයන් ගොඩනඟන්නන්ය.
වඩා වැදගත් වන්නේ එම වෙනසයි.

ව්‍යාපාරිකයකුට ලාභදායී කොම්පැනියක් ගොඩනැගිය හැකිය.ව්‍යවසායකයකුට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගිය හැකිය. එහෙත් සැබෑ ව්‍යාපාරික නායකයෙක්, ඇය හෝ ඔහු ගේ පැවැත්මෙන් අනතුරුව පවා අඛණ්ඩව ඇගයුම් නිර්මාණය වන යමක් ගොඩනගන්නේය.

එය කල් පවත්නා පා සටහනක් වැන්න.

අභිලාෂයකින් ක්‍රියා කිරීමට වඩා මධ්‍යස්ථව පසුවීම වඩාත් ආරක්ෂාකාරී යයි පෙනී යන පරිසරයක මෙම ව්‍යවසායකයෝ  වැඩි දෙනෙක් නොයන මඟ තෝරා  ගත්හ. අනෙක් වුන් මග හරින වෙළෙඳපොළ වෙත ඔවුහු ප්‍රවිශ්ට වූයේ, අනික් අය සැක කරන අදහස් වලට සහාය දෙමින් සහ ඉවත යාම වඩාත් පහසුම  විකල්පය ලෙස පෙනී යද්දී  ඒ තුල නොසැලී හිඳිමිනි.

අනිත් අය සීමා මායිම් දකිනතැන ඔවුහු නේක විධ හැකියා දුටුවෝය.

සමහර විට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඇත්තේ ධනවත් වීමට වඩා,  අප්‍රතිහත ධෛර්යයෙන් උසුලා සිටීමට අදාළ පාඩමකි.

 විශිෂ්ට ව්‍යවසායකයෝ 

සරලව ව්‍යාපාර ගොඩනැගීම පමණක් නොකළෝය. ඔවුහු උරුමයන් ගොඩනගා, ඔවුන් වටා තිබූ වෙළෙඳපොළ වෙනස් කරනු ලැබූ නව නිෂ්පාදන, සේවා, හැකියාව නිර්මාණය කළහ.

වඩා විශාල වෙළෙඳපොළ ඔස්සේ, ව්‍යාපාර ප්‍රාග්ධනය එමට තිබූ ගැඹුරු සංචිත සහ ගෝලීය ප්‍රාග්ධනයට ළඟාවිය හැකියාවෙන් උපකාර ලැබ සාර්ථකත්වයට පත් වූ එලෝන් මස්ක්, බිල් ගේට්ස් හෝ මුකේෂ් අම්බානි වැනි ගෝලීය පරිමාණයේ ව්‍යාපාර මෙහෙයුම් කරන මට්ටමේ ව්‍යවසයකයන් ශ්‍රී ලංකාව බිහිකර නැතුවා විය හැකිය. එහෙත් එම කාරණය නිසා ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් ලබා ගත් ජයග්‍රහණ අවතක්සේරුවට ලක්වන්නේ නැත.

ඔවුන් ගමන් ගත් මාර්ගයෙන් උගත හැකි පාඩම් බොහෝය. ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

ඊළඟ පරම්පරාව ඉදිරියේ ඇති අභියෝගය ඔවුන්ට පෙර සිටි අයට වඩා ධනවත් වීම නොවේ. වඩාත් ලොකුවට සිතීම, ගණනය කරනු ලැබූ අවදානම් ගැනීම, ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාර ගොඩ නැගීම ,අලු‍ත් නිපැයුම් හා සේවා නිර්මාණය කිරීම, ජනතාව  සංවර්ධනය කිරීම, ඔවුන් ප්‍රාරම්භ කරනු ලැබූ ව්‍යාපාරවලට වඩා ශක්තිමත් ආයතන ඉතිරි කර යෑම ඔවුන් ඉදිරියේ ඇති අභියෝගය.

ධනය උත්පාදනය කිරීම සහ උරුමයක් නිර්මාණය කිරීම අතර වෙනස එය වේ.


2026 අගෝස්තු 14, Daily FT හි පළවූ Entrepreneurs who left lasting footprints on Sri Lanka
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ