• සියයට 74කින් ආදායම් ඉහළ නංවමින් සිය ව්‍යාපාරික ශක්තිය වඩාත් තහවුරු කරගනියි 

ස්ටෂානි ජයවර්ධන 
විධායක සභාපතිනි /අතුරු කළමනාකාර අධ්‍යක්ෂිකා
එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී

විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හා භූගෝලීය කලාප රැසක් කැපී පෙනෙන අන්දමින් නියෝජනය කරන එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගම (Aitken Spence PLC) 2026/27 මූල්‍ය වර්ෂයට මනා ආරම්භයක් දී සිය ව්‍යාපාරික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත. එහිදී, 2026 ජුනි 30 දිනෙන් අවසන් වූ කාර්තුවේ සමූහයේ බදුවලට පෙර ලාබය (PBT) රුපියල් බිලියන 1.7 දක්වා ද, බදුවලට පසු ලාබය (PAT) රුපියල් බිලියන 1.0ක් වශයෙන් සියයට 158කින් ඉහළ නැංවීමට ද සමත්ව ඇත. එමගින් සමූහයේ පොලී, බදු, ක්ෂයවීම් සහ අස්පර්ශනීය වත්කම්වල වටිනාකම අඩු කිරීමට පෙර ඉපැයීම් (EBITDA)  රුපියල් බිලියන 5.3ක් වශයෙන් සියයට 23කින් ඉහළ නංවා ඇත. පසුගිය වසරේ එම කාලසීමාව හා සසඳන විට පෙනී යන්නේ සමූහයේ ව්‍යාපාර සියල්ල පුරාවට වඩාත් සවිමත් මෙහෙයුම් කාර්යසාධනයක් පවතින බවයි. 

ඡන්දබලය සහිත කොටස්හිමි (බාහිර සමාගම්, හවුල්කාර හෝ සහායක ව්‍යාපාර වැනි ආයෝජක සමාගම්) ආයෝජක සබඳතා හරහා ලත් මෙහෙයුම් ආදායම් සහ සවිමත් දායකත්වය, මෙම කාර්තුව තුළ සමූහයේ ලාබදායීත්වය ඉහළ නැවීමට ඉවහල් වී ඇත. 2026/27 වර්ෂයේ පළමු කාර්තුව සඳහා සමකොටස් වල ආයෝජකයන්ට හිමි ලාබය රුපියල් බිලියන 1.5 කි. පසුගිය වර්ෂයේ එම කාලසීමාව හා බලන කල, එය සියයට 172.0ක ඉහළ නැංවීමකි. පෝට් සිටි BOP ව්‍යාපෘතිය, භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙත ඉන්ධන සැපයුම් කටයුතු, සහ එතෙර වරාය කළමනාකාරිත්ව ව්‍යාපාර තුළින් වැඩිදියුණු වී ඇති කාර්යසාධනය මෙහිදී කැපී පෙනෙයි. ඒ හරහා, අදාළ කාලසීමාව තුළ සමූහයේ ඉපැයීම්වලට ලැබුණු දායකත්වය අතිමහත් ය. 

එම කාර්තුවේ ඉපැයීම්වලට සමූහයේ සමුද්‍රීය හා භාණ්ඩ ප්‍රවාහන සැපයුම් අංශයෙන් ද මූලික දායකත්වයක් ලැබී ඇත. එමගින් රුපියල් බිලියන 1.7ක් වශයෙන් සියයට 58.2ක ඉහළ නැවීමක් බදුවලට පෙර ලාබයෙන් පෙන්නුම් කෙරේ. සමූහය සිදු කළ නෞකා මෙහෙයුම් කටයුතු ප්‍රමාණයෙන් ඉහළ ගොස් තිබීම මෙකී කාර්යසාධනයේ දියුණුවට මූලික හේතුවයි. එතෙර වරාය කළමනාකාරිත්ව කටයුතු, භාණ්ඩ ප්‍රවාහන හා බහලුම් සේවා වෙතින් ලද උසස් කාර්යසාධනය ද එම වාර්තාගත දායකත්වයට අත්වැලක් සපයා ඇත. 

මෙකී කාර්තුව සඳහා බදුවලට පෙර ලාබය (PBT) වශයෙන් සමූහයේ සංචාරක අංශය රුපියල් බිලියන 1.0ක පාඩුවක් වාර්තා කර ඇත. ඊට මූලික හේතු ලෙස පෙන්නුම් වන්නේ, දැනට මැදපෙරදිග පවතින භූ-දේශපාලනික අවිනිශ්චිතතා මත එක්සත් රාජධානිය සහ යුරෝපය පදනම් කරගත් සංචාරක වෙළෙඳපොළ වෙතින් මතු වූ මන්දගාමී ඉල්ලුමයි. ගමනාන්ත කළමනාකාරිත්ව හා ගුවන් සමාගම් පිළිබඳ සාමාන්‍ය විකුණුම් නියෝජිත ව්‍යාපාරයන්හි කාර්යසාධනය මගින් සමූහයේ සංචාරක අංශයේ ඉපැයුම්වලට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. පෙර කී බලපෑම යම් තරමකට අඩු කරගැනීමට එය උපකාරී වූ බව පෙනේ.

අදාළ කාර්තුව සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට සමූහයේ ක්‍රමෝපායික ආයෝජන අංශය සමත්ව ඇත. ඒ අනුව, පසුගිය වසරේ ඊට සමාන කාලසීමාව තුළ පෙන්වන ලද අලාභය හා බලන කළ රුපියල් මිලියන 650ක බදුවලට පෙර ලාබයක් මෙවර වාර්තා වේ. ඊට බෙහෙවින් උපකාරී වී ඇත්තේ වැඩිදියුණු කළ මෙහෙයුම් කටයුතු හා විදේශ විනිමය හරහා අත්පත් කරගත් සතුටුදායක ප්‍රතිඵලයි. 

සමූහයේ සේවා අංශය ද මෙවර සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් ව ඇත. එහිදී බදුවලට පෙර ලාබය රුපියල් මිලියන 452ක් වශයෙන් සියයට 64.8කින් ඉහළ නංවා ඇත. මෙම කාර්තුවට අදාළ කාලසීමාව තුළ එකී අංශයේ කාර්යසාධනය ඉහළ නැංවීමට හේතු වී ඇත්තේ පෝට් සිටි BOP ව්‍යාපෘතිය වැනි ඡන්දබලය සහිත කොටස්හිමි ආයෝජක සබඳතා හරහා ලද කැපී පෙනෙන දායකත්වයන් ය. 

මේ අනුව, පළමු කාර්තුවේ කාර්යසාධනයෙන් සමූහයේ සියලු අංශ පුරා සුභවාදී ප්‍රගතියක් පෙන්නුම් කෙරෙයි. ගෝලීය වෙළෙඳපොළ හා කර්මාන්ත ක්ෂේත්‍රවල පවත්නා විවිධ මෙහෙයුම් තත්වයන් හි අවිනිශ්චිතතා හමුවේ වුවද සමූහයේ මූලික ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ මට්ටමක පැවති බැව් පෙනේ. එය සමස්ත ලාබදායී තත්වයේ සැලකිය යුතු ප්‍රගතියට සැබෑ පිටිවහලක් වී ඇත. මූල්‍ය වර්ෂයේ ඉදිරි කාර්තුවල දී ද මෙම කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සමූහය අදහස් කරයි. 

සමාගමේ මෙහෙයුම් ලාබය ඉහළ නැංවීමට මෙන්ම සමාජ වගකීම් වෙත ද වැඩි වටිනාකම් එකතු කරමින්, ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 44,490ක ප්‍රමාණයක් වෙනත් ආකාරයන්ගෙන් නැවත-භාවිත කිරීමට ද සමූහය කටයුතු කර ඇත. එමගින් පළමු කාර්තුව තුළ ඝන මීටර මිලියන 5.5ක ට වැඩි වැසි ජල ප්‍රමාණයක් රැස් කරගැනීමට ද සමත් ව ඇත. සමූහයේ තිරසර භාවය, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම් හැකියාව සහ ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන් ආදී සියල්ලට පාදක වන ක්‍රමවේද සහ ක්‍රියාවලි සවිමත්ව තබාගැනීමට සමූහය අඛණ්ඩව කටයුතු කරනු ලබයි. ඒ අතරවාරයේ, සිය ‘ශූන්‍ය-ශුද්ධ ක්‍රමෝපාය’ (Net-Zero Strategy) අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, කාබන් විමෝචනය අවම කිරීමෙහි ලා ප්‍රායෝගික හැකියා අවස්ථා විමසා බැලීමටත් මහජනතාව සහ පුද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමගින් එක්ව කටයුතු කිරීමට ද සමූහය වග බලා ගනියි. 

රටවල් 12ක කර්මාන්ත 17ක් පුරාවට 20,000ක ට වැඩි සේවක සේවිකාවන් සංඛ්‍යාවකගේ සවිය හා බලය සහිතව වසර 150ක ට අධික කාලයක් විශිෂ්ටත්වය මත පදනම්ව ගොඩ නැගුණු එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගම (Aitken Spence PLC) 1983 වර්ෂයේ සිට ම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමකි.