IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බැඳුම්කරවල ආයෝජනය අවදානම් ද ?

මෙම ලිපිය ශ්‍රී ලංකා CFA සංගමය, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් සකස් කරන ලද සහයෝගීතා ලිපි මාලාවක කොටසකි. මෙම ලිපිය මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ දිගුකාලීන මූල්‍ය ආරක්ෂාව ගොඩනැගීමට අවශ්‍ය දැනුම සමග පුද්ගලයන් සවිබල ගැන්වීම අරමුණු කරයි. මෙම සතියේ, අප අපගේ ලිපි මාලාවේ තුන්වැනි ලිපිය ඉදිරිපත් කරන අතර එය ස්ථාවර ආදායම් සුරැකුම්පත් පිළිබඳව වරලත් මූල්‍ය විශ්ලේෂක කේෂාව පෙරේරා විසින් සකස් කරන ලද්දකි. 

ස්ථාවර ආදායම් යනු කුමක්ද යන්න අවබෝධ කර ගැනීම 

සාමාන්‍යයෙන් බැඳුම්කර ලෙස හඳුන්වන ස්ථාවර ආදායම් ආයෝජන, නිත්‍ය පොලී ගෙවීම් ලබාදෙන අතර ස්ථාවර කාලයක් අවසානයේ ඔබේ මුල් ආයෝජනය ද ආපසු ලබා දෙයි. ඔබ බැඳුම්කරයක් මිලදී ගන්නා විට, ඔබ රජයකට හෝ සමාගමකට මුදල් ණයට දෙන අතර, ඒ වෙනුවට, ඔබට ස්ථාවර පොලී ගෙවීම් (“Coupon Rate”) සහ කල්පිරීමේදී ඔබේ ප්‍රාග්ධනය ලැබේ. බැඳුම්කර ඒවායේ ස්ථාවරත්වය සහ පුරෝකථනය කළ හැකි ආදායම සඳහා අගය කරනු ලබන අතර, ස්ථාවර නමුත් අඩු අවදානම් ප්‍රතිලාභ අපේක්ෂා කරන සාම්ප්‍රදායික ආයෝජකයන් සහ විශ්‍රාමිකයන් සඳහා වඩා සුදුසු ආයෝජන පදනමක් සපයයි.

බැඳුම්කර ක්‍රියා කරන ආකාරය - මූලික කරුණු 

බැඳුම්කරයක් යනු ණය ගැනුම්කරුවකු (නිකුත් කරන්නකු) සහ ණයහිමියකු (ආයෝජකයකු) අතර නීත්‍යානුකූල ගිවිසුමකි. නිකුත් කරන්නා විසින් මූලික මුදල (මුහුණත වටිනාකම) ආපසු ගෙවීමට සහ කල්පිරීමේ දිනය දක්වා නිශ්චිත දිනවල (කූපන් දිනයන්) නිශ්චිත අනුපාතයකට (කූපන් අනුපාතය) නිතිපතා පොලී ගෙවීම් කිරීමට පොරොන්දු වේ. බැඳුම්කර ඒවායේ කල්පිරීම අනුව වර්ගීකරණය කර ඇත.

කෙටි කාලීන - අවුරුදු 3 දක්වා

මධ්‍ය කාලීන - අවුරුදු 3-10

දිගු කාලීන - අවුරුදු 10 ට වැඩි

බැඳුම්කර සඳහා ස්ථාවර පොලියක් ගෙවන අතර, ද්විතීයික වෙළෙඳපොළේ ඒවායේ වටිනාකම උච්චාවචනය විය හැකි අතර එහිදී බැඳුම්කර නිකුත් කිරීමෙන් පසු මිලදී ගෙන විකුණනු ලැබේ. ද්විතීයික බැඳුම්කර වෙළෙඳපොළේ බැඳුම්කර මිල සහ පොලී අනුපාත ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරයි. වෙළෙඳපොළ පොලී අනුපාත පහත වැටෙන විට පෙර නිකුත් කළ ඉහළ ස්ථාවර පොලී අනුපාත සහිත බැඳුම්කර ආයෝජකයන්ට වඩාත් ආකර්ෂණීය වන බැවින් ඒවායේ මිල ඉහළ යයි. අනෙක් අතට, වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යන විට, පෙර නිකුත් කළ අඩු පොලී අනුපාත ලබා දෙන කලින් නිකුත් කරන ලද බැඳුම්කරවල වටිනාකම අඩුවන අතර එමගින් ඒවායේ මිල පහත වැටේ. ඔබ කල්පිරීමට පෙර බැඳුම්කරයක් විකුණන්නේ නම්, වෙළෙඳපොළ පොලී අනුපාත මත පදනම්ව ඔබ ගෙවූ මුදලට වඩා වැඩි හෝ අඩු මුදලක් ඔබට ලැබිය හැකිය. උපචිත පොලිය (අවසන් ගෙවීමෙන් පසු උපයන ලද පොලිය), බැඳුම්කරයේ විකුණුම් මිලට එකතු කරනු ලැබේ.

බැඳුම්කරවල පොලී අනුපාත තීරණය වන්නේ කෙසේද? 

1. කෙටිකාලීන වෙළෙඳපොළ අනුපාත මෙහෙයවනු ලබන්නේ සමස්ත පොලී අනුපාත සඳහා පදනම් අනුපාතය ලෙස ක්‍රියා කරන මහ බැංකු ප්‍රතිපත්ති අනුපාත මගිනි. ඊට අමතරව, අනාගත ප්‍රතිපත්ති තීරණ පිළිබඳ අපේක්ෂා (අනුපාත ඉහළ දැමීම් හෝ පහළ දැමීම් වැනි) වෙළෙඳපොළ පොලී අනුපාත වෙනස් වන ආකාරය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑ හැකිය.

2. නිකුත් කරන්නා: බැඳුම්කර නිකුත් කරනු ලබන්නේ රජය (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වැනි) සහ පෞද්ගලික සමාගම් (සාංගමික ණයකර ලෙස හැඳින්වේ) විසිනි. නිකුත් කරන්නකුට එහි පොලී ගෙවීම් සපුරාලිය නොහැකිවීමේ අවදානම වැඩිවන තරමට, පිරිනමන පොලී අනුපාතය වැඩි වේ. ණය ශ්‍රේණිගත කිරීම් යනු මූඩීස්, එස්ඇන්ඩ්පී සහ ෆිච් ශ්‍රේණිගත කිරීම් වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් නිකුත් කරන ලද ස්වාධීන තක්සේරු කිරීම් වන අතර එමගින් රජයක් හෝ සමාගමක් තම ණය ආපසු ගෙවීමට ඇති ඉඩකඩ කොපමණදැයි මනිනු ලැබේ. ආරක්ෂිත “ආයෝජන ශ්‍රේණියේ” සිට අවදානම් සහිත “සමපේක්ෂණ” ශ්‍රේණි දක්වා, පැහැර හැරීමේ අවදානම තේරුම් ගැනීමට ඒවා ආයෝජකයන්ට උපකාරී වේ. කෙසේ වෙතත්, ණය ශ්‍රේණිගත කිරීම් යනු මතයක් මිස සහතික නොවේ. එබැවින් ඒවා ඔබේම විශ්ලේෂණය සමග සලකා බැලිය යුතුය.

3. කල්පිරීමේ කාලය : දිගු කල්පිරීම් වැඩි අවිනිශ්චිතතාවක් ගෙන දෙන අතර එම නිසා ආයෝජකයන් මෙම අවදානමට ගැලපෙන ලෙස ඉහළ පොලී අනුපාතයක් (කාලීන වාරිකයක් ලෙස හැඳින්වේ) ඉල්ලා සිටී.

4. ද්‍රවශීලතාව: බැඳුම්කරයක් නිතර ගනුදෙනු නොවුවහොත්, එය ඉක්මනින් විකිණීම දුෂ්කර විය හැකිය. එය ද්‍රවශීලතා අවදානම යනුවෙන් ද හැඳින්විය හැකි අතර මෙම අවදානම ගැනීම වෙනුවෙන් ඉහළ වාරිකයක් ලෙස හැඳින්වෙන ඉහළ පොලී අනුපාතයක් ගෙවයි.

ආයෝජකයන් බැඳුම්කරවලින් ප්‍රතිලාභ උපයන ආකාරය

1. පොලී ආදායම (කූපන් ගෙවීම්): බොහෝ බැඳුම්කර සාමාන්‍යයෙන් සෑම මාස හයකට වරක් නිතිපතා පොලියක් ගෙවයි.

උදාහරණය: ඔබ සියයට 12 කූපනයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක රුපියල් 100,000 ක් ආයෝජනය කරන්නේ නම්, කල්පිරෙන තෙක් සෑම මාස හයකට වරක් ඔබට රුපියල් 6,000 ක් ලැබේ.

2. වට්ටම් සහිත උපකරණ (භාණ්ඩාගාර බිල්පත්): භාණ්ඩාගාර බිල්පත් (රජයන් විසින් නිකුත් කරන ලද කෙටිකාලීන සුරැකුම්පත්) සඳහා බැඳුම්කරවලට මෙන් කාලීන පොලියක් ගෙවන්නේ නැත. ඒ වෙනුවට, ඔබ ඒවා වට්ටමක් යටතේ මිලදී ගෙන පරිණතභාවයේ දී සම්පූර්ණ මුහුණත වටිනාකම ලබා ගනී.

උදාහරණය: දින 364 කින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල ඔබ රුපියල් 92,000 ක් ආයෝජනය කළේ නම් (වට්ටම් සහිතව මිලදී ගත්තේ නම්); පරිණතභාවයේ දී, (කල්පිරීමේදී) ඔබට රුපියල් 100,000 ක් (මුහුණත වටිනාකම) ලැබේ. ඔබේ ප්‍රතිලාභය රුපියල් 8,000 කි. පොලී අනුපාතය සියයට 8.7 කි.

3. ප්‍රාග්ධන ලාබ හෝ පාඩු: ඔබ පරිණතභාවයට පෙර බැඳුම්කරයක් විකුණන්නේ නම්, ඔබට වෙළෙඳපොළ පොලී අනුපාත මත පදනම්ව ලාබයක් (ප්‍රාග්ධන ලාභයක්) හෝ අලාබයක් ලබාගත හැකිය.

උදාහරණය: ඔබ සියයට 10ක කූපනයක් සමග රුපියල් 100,000 කට සාංගමික ණයකරයක් මිලදී ගෙන පොලී අනුපාත පහත වැටීමෙන් පසු එය රුපියල් 105,000 කට විකුණන්නේ නම්, ඔබට ලැබුණු පොලී ආදායම රුපියල් 5,000 කි. 

බැඳුම්කර සහ කොටස් අතර වෙනස හඳුනා ගැනීම: අවදානම සහ ස්ථාවරත්වය අවබෝධ කර ගැනීම

කොටස් සහ බැඳුම්කර විවිධ භූමිකා ඉටු කරයි. කොටස් සමාගමක හිමිකාරිත්වය සහ ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙයි. එහෙත් වැඩි අස්ථාවරත්වයක් සහ අවදානමක් ඇත. බැඳුම්කර යනු සමාගම් හෝ රජයන්ට ණය සැපයීමක් වන අතර, එම ණය සපයන්නන්ට ස්ථාවර, පුරෝකථනය කළ හැකි ආදායමක් සහ අඩු අවදානමක් ලබා දෙයි.

පුරෝකථනය කළ හැකි ආදායම: බැඳුම්කර කොටස් මෙන් නොව ස්ථාවර පොලියක් ගෙවන අතර, කොටස් සඳහා ලාභාංශ ගෙවූවද එය නිශ්චිත නොවේ.

සමාගමක් ඈවර කිරීමේදී ප්‍රමුඛතාව: සමාගමක් අසමත් වී ඈවර කළහොත් බැඳුම්කර හිමියන්ට කොටස් හිමියන් පෙර පියවීම් සිදුකරනු ලැබේ.

පරිණතභාවය: බැඳුම්කරවලට ආපසු ගෙවීම සඳහා නියමිත අවසන් දිනයක් ඇත. කොටස් එසේ නොවේ.

ශ්‍රී ලාංකික අත්දැකීම්: 1994-2024 දක්වා, සියලු‍ කොටස් මිල දර්ශකයේ (ASPI) වාර්ෂික නාමික ප්‍රතිලාභ සියයට 14.57 ක සාමාන්‍යයක් සහ සියයට 37.10 ක උච්චාවචනයක් පෙන්නුම් කළේය. සාපේක්ෂව භාණ්ඩාගාර බිල්පත්වල සාමාන්‍ය සියයට 11.34 ක ප්‍රතිලාභයක් වූ අතර පාඩු නොමැත. බැඳුම්කර ස්ථාවරත්වයක් ලබාදුන් අතර වැඩි අවදානමක් සහිතව කොටස් ඉහළ දිගුකාලීන ප්‍රතිලාභයක් ලබා දුන්නේය.

බැඳුම්කර ආයෝජනය කිරීමේ අවදානම්

බැඳුම්කර සාමාන්‍යයෙන් කොටස්වලට වඩා අඩු අවදානම් සහිත නමුත් අවදානම් රහිත නොවේ. ප්‍රධාන අවදානම් කිහිපයක් එහි අන්තර්ගත වන අතර පහත සඳහන් අවදානම් දැකගත හැකිය.

පොලී අනුපාත අවදානම: පොලී අනුපාත ඉහළ යන විට, බැඳුම්කර මිල පහත වැටේ. මෙය දිගුකාලීන බැඳුම්කර සඳහා වඩාත් කැපී පෙනේ.

ණය (පැහැර හැරීමේ) අවදානම: නිකුත් කරන්නා පොලිය හෝ මූලික ආයෝජනය ගෙවීමට අපොහොසත් වීමේ අවදානම මින් අදහස් වේ. සාමාන්‍යයෙන් මෙම අවදානම සාංගමික බැඳුම්කර හෝ ඉහළ ප්‍රතිලාභයක් සහිත බැඳුම්කරවල වැඩි වශයෙන් දැකගත හැකි අතර එම බැඳුම්කරවල ණය ඇගයීම ද පහළ මට්ටමක පවතී. රජයේ බැඳුම්කරවල සාමාන්‍යයෙන් අඩු ණය අවදානමක් සහිත බැවින් එය වඩාත් ආරක්ෂිත වේ. එහෙත් ශ්‍රී ලංකාවේ 2022 ස්වෛරී පැහැර හැරීම මගින් පෙන්නුම් කරන්නේ මෙවැනි බැඳුම්කර පවා ආර්ථික අර්බුදවලින් බලපෑමට ලක්විය හැකි බවයි. (සටහන: ශ්‍රී ලංකා රජයේ රුපියල් බැඳුම්කර හිමි ආයෝජකයන්ට 2022 පැහැර හැරීමෙන් ඍජුවම බලපෑමක් ඇති නොවූ අතර එය ප්‍රධාන වශයෙන් බාහිර ණය හෝ විදේශ මුදල් බැඳුම්කරවලට බලපෑවේය. කෙසේ වෙතත්, දේශීය බැඳුම්කර හිමියන් ඉහළ උද්ධමනය සහ තියුණු පොලී අනුපාත වෙනස්වීම් සහ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව හරහා වක්‍ර බලපෑම් අත්විඳ ඇත.)

උද්ධමන අවදානම: ඉහළ යන උද්ධමනය ස්ථාවර පොලී ගෙවීම්වල සැබෑ වටිනාකම අඩු කරන අතර එමගින් කාලයත් සමග භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අඩු වේ.

ද්‍රවශීලතා අවදානම: විශේෂයෙන් සාංගමික ණයකර වැනි සමහර බැඳුම්කර, මිල වට්ටමක් නොමැතිව ද්විතීයික වෙළෙඳපොළේ ඉක්මනින් විකිණීමට අපහසු විය හැකිය.

ණය ශ්‍රේණිගත කිරීම්වල කාර්යභාරය

ශ්‍රී ලංකා බැඳුම්කර වෙළෙඳපොළ: දළ විශ්ලේෂණයක්

රජයේ සුරැකුම්පත්: ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද, මේවා ඉතා විශ්වාසදායක ලෙස සලකනු ලබන අතර “ලේඛන රහිත” (ඉලෙක්ට්‍රොනික) ආකාරයෙන් ලබාගත හැකිය.

ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස හඳුන්වන බලපත්‍රලාභී අතරමැදියන්ගෙන් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් (ප්‍රාථමික වෙළෙඳපොළේ අවම වශයෙන් රුපියල් මිලියන 5) නව බැඳුම්කර නිකුතුවලට ඉල්ලු‍ම් කළ හැකි අතර ද්විතීයික වෙළෙඳපොළෙන් කුඩා ප්‍රමාණවලින් මිලදී ගත හැකිය. සියලු‍ම ගනුදෙනු ඉලෙක්ට්‍රොනික වන අතර LankaSecure පද්ධතිය මගින් කළමනාකරණය කරනු ලබන අතර, ආරක්ෂාව සහ ද්‍රවශීලතාව සපයයි.

සාංගමික ණයකර : සමාගම් අරමුදල් රැස් කිරීම සඳහා ණයකර නිකුත් කරයි. ඒවා සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ලැයිස්තුගත කර ඇත.

කල්පිරීමේ කාලය: සාමාන්‍යයෙන්, අවුරුදු පහක් පමණ

පොලිය: ස්ථාවර හෝ පාවෙන අනුපාත (උදා: වාර්ෂිකව සියයට 12.5 හෝ භාණ්ඩාගාර බිල්පත් අනුපාතවලට සම්බන්ධ)

ගෙවීම් වාර ගණන: වාර්ෂිකව, ද්විවාර්ෂිකව හෝ කාර්තුමය වශයෙන්

ආරක්ෂාව: බොහෝ විට අනාරක්ෂිත, ඈවර කිරීමේදී විවිධ ප්‍රමුඛතා සහිතව

අරමුණ: ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම හෝ ව්‍යාපාර පුළුල් කිරීම

තිරසාර බැඳුම්කර (GSS+): මෑත කාලීන නියාමන වෙනස්කම් හේතුවෙන් හරිත (පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා මුදල් ණයට ගැනීම), නිල් (සාගර හා පිරිසුදු ජලය සංරක්ෂණ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරයි). සමාජීය සහ තිරසාරභාවයට සම්බන්ධ බැඳුම්කර සඳහා ඉඩ සලසයි. මේවා පාරිසරික හෝ සමාජීය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කරන අතර ESG (පාරිසරික, සමාජීය, පාලනය) නිර්ණායක කෙරෙහි අවධානය යොමුකරන ආයෝජකයන් ආකර්ෂණය කරයි.

ඔබේ ආයෝජන කළඹේ ඇති බැඳුම්කර: ඒවා වැදගත් වන්නේ ඇයි

බැඳුම්කර විවිධාංගීකරණය වූ ආයෝජන උපාය මාර්ගයක ප්‍රධාන අංගයකි. ඒවා සපයන්නේ:

ස්ථාවරත්වය: කොටස්වලට වඩා අඩු අස්ථාවරත්වයක්, විශේෂයෙන් වෙළෙඳපොළ පසුබෑම් අතරතුර.
පුරෝකථනය කළ හැකි ආදායම: නිතිපතා පොලී ගෙවීම්, අයවැයකරණය සහ විශ්‍රාම ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.

අවදානම් අඩු කිරීම: කොටස් වැනි අවදානම් සහිත වත්කම්වලින් විය හැකි පාඩු පියවා ගැනීමට උපකාරී වේ

සමබර ආයෝජන කළඹක්: බැඳුම්කර සහ කොටස්වල නිවැරදි මිශ්‍රණය ඔබේ වයස, අවදානම් දරාගැනීමේ හැකියාව සහ මූල්‍ය ඉලක්ක මත රඳා පවතී. තරුණ ආයෝජකයන්ට අඩු බැඳුම්කර ප්‍රමාණයක් තබාගත හැකි අතර විශ්‍රාම යාමට ආසන්න අය හට ස්ථාවරත්වය සහ ආදායම සඳහා බැඳුම්කරවල ආයෝජනය වැඩි කළ හැකිය.

නිගමනය: ශ්‍රී ලාංකික ආයෝජකයන් සඳහා බැඳුම්කරවල කාර්යභාරය

බැඳුම්කර ඔබේ ඉතුරුම් වර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට විශ්වාසදායක ක්‍රමයක් ලබා දෙයි. එමෙන්ම ස්ථාවර ආදායමක් ලබා දෙයි. සමස්ත ආයෝජන අවදානම අඩු කරයි. සාමාන්‍යයෙන් කොටස්වලට වඩා ආරක්ෂිත වුවද, ඒවා සම්පූර්ණයෙන්ම අවදානම් රහිත නොවේ. පොලී අනුපාත, උද්ධමනය සහ ණය හා සම්බන්ධ අවදානම් ප්‍රතිලාභවලට බලපෑම් කළ හැකිය. ශ්‍රී ලංකා වෙළෙඳපොළ නව්‍ය තිරසාර ආයෝජන විකල්ප ඇතුළුව රජයේ සහ සාංගමික බැඳුම්කර පරාසයක් ඉදිරිපත් කරයි. බැඳුම්කර ක්‍රියා කරන ආකාරය සහ ඊට සම්බන්ධ අවදානම් තේරුම් ගැනීමෙන්, ආයෝජකයන්ට වඩාත් ඔරොත්තු දෙන සහ සමබර ආයෝජන කළඹක් ගොඩනැගීමට ස්ථාවර ආදායම් සුරැකුම්පත් භාවිත කළ හැකිය.



අදහස් (0)

බැඳුම්කරවල ආයෝජනය අවදානම් ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30533 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12543 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 788 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site