![]() |
| BOI සභාපති අර්ජුන හේරත් |
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජන සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුළුව ඇ.ඩො.මිලියන 827 දක්වා ළඟා වූ බවත් එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන සියයට 138 ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඊයේ (20) නිවේදනය කළේය.
මෙම ආයෝජන ගලා ඒම මූලාශ්‍ර හතරකින් සිදුවන බවත් කොටස් ප්‍රාග්ධනය - ඇ.ඩො.මිලියන 133ක්, නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම් - ඇ.ඩො.මිලියන 132ක්, ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් - ඇ.ඩො.මිලියන 231ක්, ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය- ඇ.ඩො.මිලියන 331ක් බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මෙම සෘජු විදේශ ආයෝජන ලැබීම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග 2025 දී අත්සන් කරන ලද ව්‍යාපෘති ගිවිසුම් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 124ක් ලෙස ආරක්ෂාත් කර ගෙන ඇත. ඉතිරිය පවතින ව්‍යාපෘති විසින් නැවත ආයෝජනය කිරීම සහ පුළුල් කිරීම තුළින් උත්පාදනය කරගෙන ඇත. මෙම ප්‍රගතිය නව ආයෝජකයන්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවතින ආයෝජකයන්ගේ අඛණ්ඩ කැපවීම යන දෙකම පිළිබිඹු කරන්නකි.
මීට අමතරව, 2025 පළමු මාස නවය තුළ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති 163 කින් ඩොලර් මිලියන 326 ක දේශීය ආයෝජනයක් ද කර ඇත.
මෙම කාලපරිච්ඡේදයේදී සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා විශාලතම දායකයා වූයේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය පෞද්ගලික සමාගම (CWIT) වන අතර එය අති නවීන වරාය යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 229ක් ආයෝජනය කළේය. 2022 දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කරන ලද උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ පිහිටුවන ලද මෙම ආයතනය වරාය අධිකාරිය සමග හවුල්කාරිත්වයෙන්, Adani International Port Holdings Pte Ltd (India) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) ආයතන විසින් මෙහෙයවනු ලබයි. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් අවසන් වූ පසු, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය, දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් කරමින්, වරායේ ධාරිතාව TEU මිලියන 3.2කින් පුළුල් කරනු ඇත.
ඉන්දියාවේ CEAT Ltd හි අනුබද්ධිත, ලංකාවේ නව සමාගමක් ලෙස ස්ථාපිත CEAT OHT Lanka Pvt Ltd, ලංකාවේ තරගකාරී ටයර් නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ස්ථාපිත කරමින් අපනයන වෙළඳපොළ සඳහා අධිවේගී මාර්ගයෙන් පිටත (OHT) ටයර් නිෂ්පාදනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 111 ක දායකත්වයක් ලබා දුන්නේය.
තවද, Michelin Lanka Pvt Ltd දිගින් දිගටම ලංකාවේ නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජනය කරන අතර, මෙම වසර තුළ තම මව් සමාගමෙන් ඇ.ඩො. මිලියන 72ක් ආයෝජන ලංකාවට ගෙන්වා ගත්තේය. Melco Resorts and Entertainment Limited (Hong Kong) හි අනුබද්ධිත ආයතනයක් වන Bluehaven Services Pvt Ltd ලංකාවේ විශාලතම ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka හි විනෝදාත්මක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 85ක් ආයෝජනය කරන ලදි.
මෙයට අමතරව ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම දේපල සංවර්ධන ව්‍යාපෘතියක් ඇ.ඩො. මිලියන 47ක් යොදවමින් කොළඹ නගරයේ නාගරික සංවර්ධන සඳහා දායක වී ඇත.
මෙම ව්‍යාපෘති පහෙන් ලැබෙන විදේශ ප්‍රාග්ධන ආයෝජන ගලා ඒම මේ වසරේ වාර්තා වූ මුළු ගලා ඒමෙන් සියයට 66කි. මේවායින් ඔබ්බට, තවත් ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති 150 ක් සාමූහිකව ඇ.ඩො. මිලියන 283 ක දායකත්වයක් ලබා දී තිබේ.
BOI සභාපති අර්ජුන හේරත් මහතා මෙසේ පැවසීය.“2025 මුල් මාස නවය තුළ විදේශ ප්‍රාග්ධන ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 827 දක්වා වර්ධනය වීමෙන් ලංකාවේ ව්‍යාපාරික පරිසරය කෙරෙහි ආයෝජකයන් තුළ ඇති නව විශ්වාසය පෙන්නුම් කරනවා. පවතින ව්‍යවසායකයන්ගේ ශක්තිමත් සහභාගිත්වයෙන් ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳව ආයෝජකයන්ගේ විශ්වාසය පිළිබිඹු කරනවා. රජය සහ ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වාසය තබමින් නව සහ පවතින ව්‍යාපෘති මෙම ආකර්ෂණීය කාර්ය සාධනයට දායක වූවා.
කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය , CEAT OHT Lanka, Michelin සහ Melco වැනි ව්‍යාපෘති මගින් විදේශ ප්‍රාග්ධනය ගෙන ඒම පමණක් නොව රැකියා උත්පාදනය, තාක්ෂණය හුවමාරු කිරීම සහ ලංකාව ගෝලීය සැපයුම් දාමයන්ට ඒකාබද්ධ කිරීම ද සිදු කරනවා. උපායමාර්ගික ආයෝජන සඳහා පහසුකම් සැලසීමට සහ ලංකාව දිගුකාලීනව ඉහළ වටිනාකමකින් යුත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සහතික කිරීමට ආයෝජන මණ්ඩලය පූර්ණ ලෙස කැපවී සිටිවා.
2025 ජනවාරි සහ සැප්තැම්බර් අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ නව ව්‍යාපෘති 48ක්, දැනට පවතින ව්‍යාපෘති පුළුල් කිරීම් 49ක් සහ ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ අනුමැතිය ලත් ව්‍යාපෘති 7කින් සමන්විත සමස්ත ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 1,060ක් සහිත ව්‍යාපෘති 104ක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත. මෙයින්, ඇ. ඩො. මිලියන 540ක් විදේශීය ප්‍රාග්ධනය නියෝජනය කරන අතර ඇ. ඩො. මිලියන 520 දේශීය ප්‍රාග්ධනය වේ.
මෙම අනුමත ව්‍යාපෘති රබර් ආශ්‍රිත නිෂ්පාදන, සූර්ය බලශක්ති උත්පාදනය, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, අපනයනය සඳහා ඖෂධීය භෝග මත පදනම් වූ නිෂ්පාදන, සිමෙන්ති ඇඹරීම සහ ඇසුරුම් කිරීම, පතල් කැණීම සහ සැකසීම, කිරි ආශ්‍රිත නිෂ්පාදන ආදිය ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු ව්‍යාපෘති වේ.
එමෙන්ම, තිරසාර ආයෝජක විශ්වාසය සනාථ කරමින් විදුලි සංදේශ, නේවාසික සංවර්ධන, පුහුණු ආයතන සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති පුළුල් කිරීම් ඇතුළු විවිධ අංශ සඳහා ද අනුමැතිය ලබා දෙන ලදි.
විශේෂයෙන්ම ICT, ඛනිජ තෙල් පිරිපහදු කිරීම, පුනර්ජනනීය බලශක්තිය සහ උසස් තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්‍රවල දැනට සාකච්ඡා මට්ටමේ පවතින් නව යෝජනා කිහිපයක් හා දැනට ක්‍රියාත්මකව පවතින ව්‍යාපෘ තී සමඟින් 2025 සඳහා, ආයෝජන සඳහා ලබා ගන්නා විදේශ වාණිජ ණය ඇතුළත් මුළු සෘජු විදේශ ආයෝජන ගලාඒම ඇ.ඩො. බිලියනය (US$ 1 Bn) පසු කරනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විශ්වාසයයි.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළමු මාස නවයේදී ඩො.මිලියන 827ක සෘජු විදේශ ආයෝජන