IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ජීවිතයට හයියක් නැතත් ක්ලාලයට පණ දෙන කලහුගම වැසියෝ

 වියා සකස් කළ පන් කළාල


  • එදා පවුල් 30ක් විතර මේ කර්මාන්තයේ නිරත වෙලා සිටියත් අද ඉන්නේ පවුල් 06 ක් 
  • හැමදේකම මිල ගණන් ඉහළ යාමත් එක්ක පන් පැදුරු කර්මාන්තය රැක ගන්න ලොකු සටනක් කරන්න වෙලා
  • පන් පැදුරුවලට ඉල්ලු‍ම නැති වුණේ පිටරටින් තීන්තාවැල් පැදුරු කළාල ගෙන්වන්න පටන් ගත්තට පස්සේ
  • අත්හැරදාල තියෙන වගුරු ඉඩම්වල පන් වගා කළොත් රටට අවශ්‍ය පැදුරු හා ඒවයෙන් තවත් නිෂ්පාදන කරන්න පුළුවන්
  • ඒකාලෙ පැදුරු ආදායම මාසයක් ජීවත් වෙන්න හොදටම ප්‍රමාණවත්. ඒත් අද ජීවත් වෙන්න බැහැ
  • ගෙවල් ගානෙ ඇවිදලා පැදුරක් විකුණන්නෙ රුපියල් 750ට. කඩවල්වලින් අපෙන් ගන්නෙ 650ට
  • හදපු පැදුරක දෙපැත්තෙ වාටි මහ ගන්න රුපියල් 200 ක්

දඹදෙණිය ධර්මසිරි රණසිංහ 


කළාල විවීම කරන ලී මැෂිම

ගල්ලැහැ පන් කළාල නිෂ්පාදනයට වඩාත්ම ප්‍රචලිතව තිබූ දුම්බර මිටියාවතට නෑකම් කියන මහන්සියට වටිනාකමක් නැති වුවද තාමත් පන් කළාලය (පැදුර) සමග පොරබදන පිරිසක් අපට මුණගැසුණේ නාරම්මල මීවැව කලහුගම ගම්මානයේදීය.

ඈත අතීතයේ සිට පාරම්පරිකව තමන්ට උරුමව ආ මෙම පන් කළාල(පැදුරු) කර්මාන්තය තම පණ මෙන් අදටත් අමාරුවෙන් වුවද පවත්වාගෙන යන්නේ විනාශයට යා නොදී රැකගැනීමේ අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත් පාරම්පරිකව උරුමවූ දේශීය හස්ත කර්මාන්තයක අගය සුළු කොට තැකීම නිසාවෙන් දිනෙන් දින වළ පල්ලට යන පන් කළාල කර්මාන්තයේ හා කර්මාන්‍තකරුවන්ගේ කතාව රටා දමා වියූ පන් පැදුරේ අසිරිය මෙන් සුන්දර නොවේ. මේ ඔවුන්ගේ කතාවයි.

අයි. සෝමරත්න: මම මේ පන් කර්මාන්තය කරන්නේ වයස අවුරුදු 10 ඉදලා. අපේ අම්මලා තාත්තලාගෙ ඉඳලා ගැහැනු පිරිමි බේදයක් නැතුව හත්මුතු පරම්පරාවම රැකුණෙ මේ කර්මාන්තයෙන්. ඒත් කියන්න කණගාටුයි එදා මෙදා කාලය ගත්තම මට හිතෙනවා මේ කර්මාන්තයේ නිරත අවසාන පරම්පරාව අපිද කියලා. ඒ තරමට අද මේ කර්මාන්තය කරන පිරිස කෙමෙන් ඈත් වෙලා. එදා අතීතයේ මේ කලහුගම ගම්මානයම ප්‍රසිද්ධ කළාල කර්මාන්තයට. එදා පවුල් 30ක් විතර මේ කර්මාන්තයේ නිරත වෙලා හිටියා. ඒත් කියන්න කණගාටුයි අද පවුල් 06 ක් විතර තමයි මේ වැඩේ කරන්නෙ. 

ඉස්සර අපේ වැඩිහිටියො එක්ක පන් හොයාගෙන ත්‍රිකුණාමලය, ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන වගේ ප්‍රදේශවලට ගිහිල්ලා නැවැතිලා ඉදලා තමයි පන් කපාගෙන ලොරිවල පටවාගෙන අරගෙන ඇවිත් පන් පැදුරු කර්මාන්තය කළේ. දැන් නම් අපි ඒ ප්‍රදේශවලට යන්නෙ නැහැ. හලාවත, කුලියාපිටිය වගේ ප්‍රදේශයේ වගුරුවල මාඔයේ ඇළවල්වල පන් තියෙනවා. ඒවායෙන් තමයි කපාගෙන එන්නෙ. 

හැමදේකම මිල ගණන් ඉහළ යාමත් එක්ක අපිට පන් පැදුරු කර්මාන්තය රැක ගන්න අතීතයෙ වාගෙ නෙමෙයි අද මාර සටනක් කරන්න වෙලා තියෙන්නෙ. ගොඩක් පන් පැදුරුවලට ඉල්ලු‍ම නැති වුණේ පිටරටින් තීන්තාවැල් පැදුරු කළාල ගෙන්වන්න පටන් ගත්ත හින්දා. අද ඕනෑ තරම් අත්හැරදාල තියෙන වගුරු ඉඩම් තියෙනවා. ඒවායෙ පන් වගා කළොත් අපිට රටට අවශ්‍ය පැදුරු හා ඒවයෙන් තවත් නිෂ්පාදන කරන්න පුළුවන්. 

රටින් ගෙන්වන්න යන විශාල ධනස්කන්ධයක් රටේ ඉතිරි කර ගන්න පුළුවන්. අනික දේශීය නිෂ්පාදනයක් හින්දා පරිසර හිතකාමියි. මේවා පහුගිය කාලෙ රටේ පාලනය ගෙන ගිය එක බලධාරියකුවත් අවබෝධ කර ගත්තෙ නැහැ. 

ගොඩක් අය පැදුරු කියපුවම දුම්බර කියන නම විතරයි දන්නෙ. ඒත් අපිත් ඒ නිෂ්පාදනම කරන අය. ඒ කාලෙ ප්‍රසිද්ධ දුම්බර කළාල පැදුරු හැදුවෙ දුම්බර අපේ නෑදෑ පරම්පරාව. අපි ඉල්ලන්නෙ දුම්බරට සලකන සැලකිල්ල අපිටත් දක්වන්න කියලා. අද පන් පැදුරක් වියල ජීවත් වෙනව කියන එක විශ්ව කර්ම වැඩක්. ඒකාලෙ පැදුරු ආදායම මාසයක් ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වුණාට අද ජීවත් වෙන්න බැහැ. ගෙදර ඔක්කොම රස්සා කරන්න ඕන. 

පන් පැදුරු කර්මාන්තය ලාබ වුණත් පාඩු වුණත් මට අවුරුදු 70 වෙලත් මම මේක කරන්නෙ අනාගත පරම්පරාවට දකින්න වත් ඉතිරි කර රැක ගන්න ඕන හින්දා. මම ඉල්ලන්නෙ පිටරටින් මොන දේ ආවත් අපේ රටේ දේ ආරක්ෂා කර ගත්තෙ නැත්නම් ඒ රටටත් මිනිස්සුන්ටත් ඉදිරියක් නැහැ.

 අයි. බිළිදී: අතීතයත් එක්ක ගත්තම අපේ පන් පැදුරු කර්මාන්තයට වෙලා තියෙන නස්පැත්තිය ගත්තම හරිම කණගාටුවක් තමයි දැනෙන්නෙ. මට අවුරුදු 10 ඉඳලා තමයි මේ කර්මාන්තය කරන්නෙ. 

පට්ටලේ නූල් ඇදලා ගත්තම ඉස්සර දවසකට පැදුරු 05ක් වත් වියලා තමයි එතැනින් නැගිටින්නෙ. ඒ තරමට හරි උනන්දුවෙන් අපි මේ කර්මාන්තෙ කළා. මම හදන පැදුරක් ගෙවල් ගානෙ ඇවිදලා විකුණන්නෙ රුපියල් 750 ට. කඩවල් වලින් අපෙන් ගන්නෙ 650 ට. එහෙම දෙන එක පාඩුයි. මොනවා කරන්නද අපිත් ජීවත් වෙන්න ඕනනෙ.

අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හදන පැදුරුවල වාටි මහ ගන්න මැෂිමක් නැති කම. දැනට කර්මාන්තය කරගෙන යන අයටවත් සහනදායී මිලට හරි ආධාරයකට හරි මැෂින් ලබා දෙනවා නම් අපිට ඒක පහසුවක්. හදපු පැදුරක වාටියක් මහ ගන්න රුපියල් 100 ක් යනවා. දෙපැත්තට ම 200 යි. පැදුරක් හදලා ඉවර කරන්න රුපියල් 270 ක් විතර යනවා. සොච්චම් ලාබයක් තමයි තියෙන්නෙ.

පන් පැදුරු කර්මාන්තය නිදහස් කර්මාන්තයක්. ගොඩක් අය මේ ගැන බාල්දු කරලා කතා කරන හින්දා නව පරම්පරාව මේකට කිසිම ඇල්මක් දක්වන්නෙ නැහැ. ඒ තරමට එපා කරවලා. අපෙන් පස්සෙ නම් කර්මාන්තය තවත් වළ පල්ලට වැටේවි. රටකට මේ වගේ කර්මාන්ත තියෙන එක ඒ රටේ වාසනාවක්. ඒ හින්දා මම ඉල්ලන්නෙ රාජ්‍ය අංශයේ මැදිහත්වීම ලබා දීලා මේ කර්මාන්තයත් කර්මාන්තයේ නිරත අයත් රැක ගන්න කියලා.

එල්. ජී. උංගී: අවුරුද්දේ හැමදාම පන් පැදුරු කර්මාන්තයට ගන්න පන් වැවෙන්නෙ නැහැ. අප්‍රෙල් හා අගෝස්තු මාසවලයි පන් මොරන්නෙ. අපි පන් තියෙන ප්‍රදේශ වලට ගිහිල්ලා පන් කපලා ලොරි වල පටවාගෙන එනවා.ලොරිවලට දුර ප්‍රමාණය අනුව තමයි අයකිරීම ඩිමෝ බට්ටා ලොරියක නම් රුපියල් 7000-10000 ත් අතර ගන්නවා. ලොකු ලොරියක නම් රුපියල් 15000න් එහා ගන්නවා. එහෙම අරගෙන එන පන්අව්වෙ හොදට වේළලා එකින් එක පලා ගන්න ඕනෑ. ඊට පස්සෙ අව්වෙ නැවත වේළාගෙන සයිස් කරලා අග මුල කපලා සයිස් කරගෙන තීන්ත පොඟවා ගන්නවා. ඊට පස්සෙ බිම හයි කරලා තියෙන පට්ටලයේ එක පැත්තකට මැෂිම හිර කරලා නූල් අදින්නෙ. ඊට පස්සෙයි පැදුර විවීම ආරම්භ කරන්නෙ.

කුකුල් සායම් ග්‍රෑම් 25 ක් රුපියල් 100ක් වෙනවා. තන්ගුස් නූල් පන්දුවක් රුපියල් 450 ක් වෙනවා. එක නූල් පන්දුවකින් පැදුරු 05 යි වියන්න පුළුවන්. අපිට පැදුරු වියන්න ගන්න පුළුවන් නූල්, සායම්, රෙදි ටිකවත් සහන මිලට ගන්න අවස්ථාවක් දෙනවා නම් ඒක අපිට සහනයක් වෙනවා. මේ කර්මාන්තය රැක ගන්න ඉදිරියට රාජ්‍ය අංශය මැදිහත්වෙලා තරුණ පිරිස යොමු කරනවා නම් ඒක මේ කර්මාන්තයෙ පැවැත්මට වටිනවා. මේ වගේ කර්මාන්ත ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලයි මම ඉල්ලන්නෙ.



අදහස් (1)

ජීවිතයට හයියක් නැතත් ක්ලාලයට පණ දෙන කලහුගම වැසියෝ

S.m.m.bandara Friday, 10 October 2025 02:38 PM

මට මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන් මොකක්හරි නම්බර් එකක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site