IMG-LOGO

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ලංකාවට වාසිද? අවාසිද?

සාරා කන්දෙගොඩ


ආර්ථික වර්ධනය ඉදිරියේ, ශ්‍රී ලංකාව ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක සිටී. ආර්ථික පසුබෑම තාවකාලිකව නතර කරගන්නට සමත්ව ඇති අතර වර්ධනයක් වුවමනා කරන අවකාශය කරා සේන්දුවෙමින් තිබේ. 
ආර්ථිකය දියුණු කිරීම සඳහා ධනය අවශ්‍යය. පිටතින් එන මුදල් ප්‍රමාණය අනුව රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ධනෝපායන ක්‍රියාවලිය සාර්ථක වේ. අලුත් වාර්තා අනුව සංචාරක ආදායම ඉහළ ගොස් තිබේ. විදේශගත ශ්‍රමිකයන් එවන විනිමය ප්‍රමාණයේ ද සැලකිය යුතු වර්ධනයක් ඇත. රටට විනිමය ගෙන එන මාර්ගවල විවිධාංගීකරණයක් අවශ්‍ය අතර එක ක්ෂේත්‍රයක අවදානමක් ඇති වුවහොත් අනෙක් පැත්තකින් පියවා ගැනීමට තරම් ශක්තිමත් විය යුතුව තිබේ. 
වසර 2028 වන විට විදේශ ණය ගෙවීම ආරම්භ කරන්නට සිදුවේ. බලශක්තිය, කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ආනයන සඳහා විනිමය අවශ්‍යතා තියුණුවීම වැළැක්විය නොහැක. විදේශ විනිමය ඉපැයීම සඳහා අලුතින් ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉතා සැලකිල්ලකින් කටයුතු කළ යුතුව ඇත.
අපනයනය අරමුණු කරගෙන අසූ ගණන්වල ඇඟළුම් කර්මාන්තය ආරම්භ කරන ලද අතර, එයින් පසු මහා පරිමාණ අපනයන අංශයක් බිහි වී නැත. අධිරාජ්‍යවාදී යුගයේ ඇති කරන ලද තේ, රබර්, කුළුබඩු හා මුතු මැණික් යන අංශවලට එපිටින් නිර්මාණය කරගත් අවස්ථා තීරණාත්මක ඒවා නොවේ. දියුණුව සඳහා වේගයෙන් තීරණ ගන්නා රටවල් ලෝකයේ අලුත් අවස්ථා කෙරෙහි නැඹුරුවෙමින් සිටී. අපනයන අවස්ථා අරමුණු කරගෙන රටවල් අතර ගිවිසුම් අත්සන් කරන අතර ශ්‍රී ලංකාවට ද අලුතින් අවධානය යොමු කළ යුතු පැති ගණනාවකි.


වෙළෙඳ ගිවිසුම් හා ඒවායේ පැතිකඩ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය, චීන, ඩුබායි හා මෑතක දී කළ වියට්නාම සංචාරවල දී එම රටවල් සමග වෙළෙඳ ගිවිසුම් සහ ආයෝජන අවස්ථා ගැන සලකා බලා තිබේ. පසුගිය කාලය තුළ රටවල් කිහිපයක් ද්වීපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම්ව සිටියේය. ඉන්දු ශ්‍රී ලංකා 
වෙෙළඳ ගිවිසුම මෙහි දී පළමුවෙන් සිහිපත් කළ හැකිය. ඇමරිකාව, චීනය, සිංගප්පූරුව, යුරෝපා කොමිසම, ඉන්දුනීසියාව වැනි රටවල් සමග වෙ​ෙළඳ ගිවිසුම් ඇති කරගැනීමේ මූලික අවබෝධතා අත්සන් කර තිබේ.
 එහෙත් මේවා සාර්ථක කරගැනීමට අසමත්ය. ඉන්දියාව සමග අත්සන් කරන ලද වෙළෙඳ ගිවිසුම පවා අවසානයක් කරා කැඳවා නැත. එහි සේවා ගිවිසුම සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇතිබව පෙනේ. මෙහි වරද කොතැනක ද? රටවල් සමග වෙළෙඳ ගිවිසුමක දී ආනයන හා අපනයන අංශවලට ද්වී පාර්ශ්විකව වාසි ලබාගත හැකිවේ. අවසානයේ දී එය පාරිභෝගිකයන්ට, පොදු සාමාන්‍ය ජනතාවට හිමිවන බව අමතක කළ යුතු නැත. මහජන සුබ සිද්ධිය ගැන කල්පනා කරන දේශපාලනඥයන්, සැලසුම් සකස්කරන ප්‍රතිපත්ති සම්පාදකයන් හා නිලධාරීන් මෙරට වෙළෙඳ ගිවිසුම්වල වර්තමාන තත්වය හා අනාගතය ගැන විමර්ශනයක නිරතවීම සුදුසුය.
රටවල් දෙකක් අතර අන්‍යෝන්‍ය අවබෝධතාවක් අනුව විදේශ වෙළෙඳාම හසුරුවන පසු දෙපැත්තටම වාසි තිබිය යුතුවේ. ශ්‍රී ලංකාව දැනට අනුගමනය කරන වෙළෙඳාම අනුව මෙරටින් යැවෙන දේ සඳහා බදු සහන ඉල්ලන අතර එම රටවලින් ගෙන්වන දේ සඳහා අධික බදු පැනැවේ. ඇමරිකානු අලුත් ද්වී පාර්ශවික බදු නියමය අනුව ශ්‍රී ලංකාවට සියයට 45 ක අධිභාරයක් පැනවීමට පසුබිම පවා විදේශ වෙළෙඳාමේ අවාසිය බව සඳහන් වී තිබේ. 
ශ්‍රී ලංකාව 2002 දී ඇමරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට අවශ්‍ය මූලික අවබෝධතාව ඇති කරගත් නමුත් මෙරටින් යැවෙන ඇඟලුම්වලට ඇති අඩු බදු ප්‍රතිශතය හා ඇමරිකාවෙන් ගෙන්වන දේ සඳහා අය කරන අධික බදු සලකා බලන ලද මෙරට බලධාරීන් එම අවබෝධතාව තාක්ෂණික සාකච්ඡා සඳහා ගෙන යන පියවර පමා කර ඇත. ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වෙළෙඳ සහයෝගීතාවක් ඇතිකරගෙන තිබුණි නම් වර්තමානයේ පනවනලද අධික බදුවලින් ද, යම් ප්‍රමාණයකින් බැහැර වන බව නිරීක්ෂණය කළ හැකිය.


රටවල් අතර වෙළෙඳ ගිවිසුම් හා නිෂ්පාදන රටාව
1998 අග භාගයේ ඉන්දු - ලංකා සහයෝගීතා ගිවිසුම යෝජනා වූ අතර, එය එක්තරා සන්ධිස්ථානයකට ළඟාවෙන්නේ 2000 වසරේ මාර්තු මාසයේ ය. එහි දෙවැනි පියවරක් වශයෙන් ආර්ථික සහ තාක්ෂණික සේවා ගිවිසුමක් අත්සන් කිරීමට 2016 වසරේ දී යෝජනා වේ. ආර්ථික හා සේවා අංශවලින්  සම්බන්ධවීම අනතුරක් සේ ශ්‍රී ලංකාවේ පිරිස් කල්පනා කරන ලද අතර අද දක්වා ඉන්දියාවේ ආර්ථික ගමන්මග ගැන ශ්‍රී ලංකාවට නිසි තක්සේරුවක් නැත.  
අලුත් වාර්තා අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව බලශක්ති ක්ෂේත්‍රයේ එකතුවීමකට සූදානම්ය. ඉන්දියාවේ තෙල් පිරිපහදු අංශයෙහි හිඟය දැනට සමස්තයෙන් සියයට තිහක ප්‍රතිශතයකි. පිරිපහදු ඉන්ධන ආනයනය කරන්නට සිදුවනු ඇති බව ඉන්දීය වාර්තා දක්වයි. වසර 2040 වන විට මෙම අවශ්‍යතාව දෙගුණ වෙතැයි සැලකේ. 2038 වන විට ඉන්දියාවේ විදුලිය ඉල්ලුම එරට තවත් ප්‍රශ්නයක් විය හැකි බව පර් යේෂකයෝ පෙන්වාදී ඇත්තාහ.
 සමස්ත යුරෝපා ප්‍රජාවගේ විදුලිය අවශ්‍යතාවන්ට වඩා ඉන්දියාවට විදුලිය අවශ්‍ය වන අතර එය දැන් පවතින උත්පාදනය මෙන් දෙගුණයක් පමණ වියහැකි බව දැක්වේ. ආර්ථික හො සේවා ගිවිසුම අනුව දෙරටටම වාසි සහගත ලෙස බලශක්තිය හා වෙෙළඳ පොළ උපායශීලීව හසුරුවා ගත හැකිවේ. කෙසේ වෙතත් එකී පැවැත්ම සඳහා මහා පරිමාණ නිෂ්පාදනයක් අවශ්‍ය කෙරේ. එවැනි පියවර රහිතව ඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රයෝජනයක් නැත.
පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ තානාපති වටමේස සාකච්ඡාවට පසුගිය දා සහභාගී වූ ජපාන තානාපතිවරයාගෙන් දෙරට අතර පවතින මිත්‍රශීලීභාවය පදනම් කරගෙන වෙළෙඳ ගිවිසුමකට යා නොහැකි මන්ද යන කාරණය මෙරට මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. තානාපති අකියෝ ඉසොමාටා මහතාට අනුව ජපානයෙන් ගෙන්විය හැකි අතර එම ආනයන ප්‍රමාණය පියැවීම සඳහා ශ්‍රී ලංකාවෙන් යැවිය හැකි දේ නැත. එම පසුබිම අනුව වෙළඳ ගිවිසුමකින් පලක් නැත. ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා ශ්‍රී ලංකාව අධික තීරු බදු පනවා ඇති අතර එය කිසිසේත්ම වෙළෙඳ ගිවිසුමකට හිතකර තත්වයක් නොවන බව ද තානාපතිවරයාගේ අදහස බව පෙණින. මෙහි දී දෙරට අතර ව්‍යාපෘති හා ආයෝජන අවස්ථාවල දී සමහරු අල්ලස් හා කොමිස් ඉල්ලන බවද ප්‍රසිද්ධියේ කියා සිටියේය. වෙළෙඳ ගිවිසුම් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙම අභ්‍යන්තර දූෂිත තත්ව ගැන නැවත සිතා බලන්නට ද එය වැදගත් බව නිරීක්ෂණය කළ හැකි විය.  


යුරෝපා කොමිසම හා චීනයේ වෙළෙඳ ගිවිසුම්
යුරෝපා කොමිසමට අයත් නියෝජිත පිරිසක් නොබෝදා මෙරටට පැමිණියහ. එහි දී ජී.එස්.පී. ප්ලස් බදු සහන ගැන සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතකට බදු සහන යටතේ අපනයනයට ඉඩ දී තිබේ. යුරෝපා කොමිසම එම සහනය ලබාගෙන එකී රටවල් අත්පත් කරගෙන ඇති ආර්ථික හා සමාජ ප්‍රගතිය තක්සේරු කරන අතර එම විනිශ්චය අනුව ඉදිරියට ද තීරු බදු සහන ලබා දිය යුතු ද යන්න තීරණය කරනු ඇත. වාර්තා දක්වන පරිදි ශ්‍රී ලංකාවට අපනයන අංශයේ දී තෝරාගත් භාණ්ඩ වර්ග 2,600 ක් සඳහා විවිධ ප්‍රතිශතවලින් බදු සහන ලබාගත හැකිය. වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන ඇඟලුම් සම්බන්ධයෙන් පවා යුරෝපා ප්‍රජාව ලබා දී ඇති කෝටාව සම්පූර්ණ කර  නැත. 
එම කොමිසම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ඇති පරිදි ශ්‍රී ලංකාව භාණ්ඩ වර්ග ප්‍රමාණය ගැන බරපතළ තැකීමක් නැති අතර ඇඟලුම් කෝටාවෙන් පවා ප්‍රයෝජනයට ගෙන ඇති ප්‍රමාණය සියයට හැත්තෑවක් පමණ වේ. ඉතිරි කොටස සම්බන්ධයෙන් ඇති බාධා කවරේද යන්න මෙරට අපනයන සංවර්ධන අංශ සොයා බැලීම සුදුසුය. යුරෝපා රටවලට යැවිය හැකි සහ එම රටවල් අනුගමනය කරන ප්‍රමිති සලකා නිපදවිය හැකි අලුත් අංශ හඳුනාගෙන මෙරට ව්‍යවසායකයන් දිරිමත් කිරීම අවශ්‍යය. එවැනි පියවර රහිතව තව දුරටත් දී ජී.එස්.පී. ප්ලස් බදු සහන ඉල්ලා සිටීම ප්‍රයෝජනයක් තිබේ ද යන්න ප්‍රශ්න කළ යුතුය.
ශ්‍රී ලංකාවට ඇති අවස්ථා සලකා බලා යුරෝපා කොමිසම හා මෙරට අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ හැකිය. කෙසේ වෙතත් දැනට සපයා ඇති රාමුව ඉක්මවන පරිදි කටයුතු කළ නොහැකිව තිබිය දී තවත් වටයකින් වෙ​ෙළඳ සහයෝගීතාව ඉල්ලා සිටීම පලක් නැත.
වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් චීනය සමග ඇති රාමුව ද එයට නොවෙනස්ය. චීනය ඉල්ලන ද්‍රව්‍ය සපයන්නට මෙරට නිෂ්පාදකයෝ අසමත්ය. කෘෂි නිෂ්පාදන අපනයනය සඳහා දෙරට අතර ගිවිසුමක් තිබෙන නමුත් මෙරට නිපදවන කෘෂි භෝග දේශීය වෙළෙඳපොළට පවා ප්‍රමාණවත් නැති අවස්ථාවක අපනයනය කරන්නේ මොනවාද? ලෝකයේ දෙවැනි විශාලතම ජනගහනය සහිත රටට විකිණිය හැකි දේ අසීමිතය. සිංගප්පූරුව දශක කිහිපයකට කලින් ගප්පි මත්ස්‍යයන් සුරතලයට ඇති කිරීම සඳහා චීනයට අපනයනය කළේය. දැන් ඔවුන් අරවානා නමැති චීන ජාතිකයන් වාසනාව ගෙන එන බව උපකල්පනය කරන මසුන් බෝකර මහා පරිමාණයෙන් අපනයනය කරමින් සිටී. මෙරට අත්හැර දමා ඇති කුඹුරු ඉඩම්වල මඩ පොකුණු සකස් කර සුරතල් මත්ස්‍ය කර්මාන්තය දියුණු කළහොත් ලබාගත හැකි අවස්ථා තිබේ. මේවා දියුණු කිරීමෙන් හැර ද්වී පාර්ශවික වෙෙළඳ ගිවිසුම් පලක් නැත.


ගිවිසුම් අත්සන් කරන්නට කලින් නිෂ්පාදනය
රාජ්‍ය නායකයෝ සිය නිල සංචාර අතරතුර වෙෙළඳ ගිවිසුම් අත්සන් කරති. බදු සහන හා ආයෝජන අවස්ථා ගැන සඳහන් කෙරේ. සංචාරය අවසන් වූ පසු ඒවා මතකයෙන් බැහැර වේ. වර්තමාන ආණ්ඩුව පමණක් නොව මෙතෙක් පැවැති ආණ්ඩු ගණනාවක් රටවල් සමග ඇති කරගත් සහයෝගීතා ඉදිරියට ගෙන ගියේ  නම් ශ්‍රී ලංකාව ඉතාම සංවර්ධිත රටකි. 
තෝරාගත් රටවල් කිහිපයක වෙ​ෙළඳපොළ අවශ්‍යතා සලකා බලා අලුත් භාණ්ඩ නිපදවන ක්‍රම රටට හඳුන්වා දිය යුතුය. ව්‍යවසායකයන් බිහි කරන පසු සුළු හා මධ්‍ය පරිමාණ පමණක් නොව මහා පරිමාණ අංශ ද වැදගත්ය. මහා පරිමාණ නිපදවීම සඳහා ප්‍රාග්ධනය හිඟ අවස්ථාවල අපනයන ගම්මාන ක්‍රමය අත්හදා බැලිය හැකිවේ. වැල්දොඩම්, අන්නාසි, කුළුබඩු සඳහා ගම්මාන ක්‍රම ඉතිහාසයේ තිබුණි. 
තායිලන්තය මෙම අවශ්‍යතාව සලකා එක ගමක් එක නිෂ්පාදනයක් යන සංකල්පය ක්‍රියාවට නංවයි. රජයේ සහන ලැබෙන ගම්මානයක සියලුම දෙනා එකම දෙයක් නිපදවන අතර එය ප්‍රමිතියකට අනුව අපනයනය සලකා සකස් කෙරේ. අවසානයේ දී මහා පරිමාණ නිෂ්පාදකයකු ගේ තත්වයට හැරවේ. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි මෙය ඉතා ප්‍රචලිත සංකල්පයකි. එක ගමක් එක නිෂ්පාදනයක් අදහස ජපානයෙන් ආරම්භ වූ අතර අද වන විට එක්සත් ජාතීන් පවා තෝරාගත් රටවල දිළිඳු ගම්මාන නගා සිටුවීම සඳහා ක්‍රියාවට නංවමින් සිටී. ශ්‍රී ලංකාව මෙම උපාය තෝරාගත යුතුය. සැලකිය යුතු බදු සහන සහිතව මහා පරිමාණ ව්‍යවසායකයන් මෙරටට කැඳවීමට උත්සාහ කරන අතර මෙරට තෝරගත් ගම්මාන අපනයන බෝග නිපදවන තැන් බවට හැරවීම සුදුසුය. රජයේ නිලධාරීන් යෙදවිය යුතු අතර ව්‍යාපාර ඇති කිරීම, නෛතික කටයුතු, උපදේශන සේවා, ප්‍රාග්ධනය, අලෙවිකරණය යනාදිය සාක්ෂාත් කරගත හැකි පරිදි සැලසුම් කළහොත් අපනයනය ඇති කරගත හැකිවේ. අවසානයේ දී වාසිය රටට අත්පත් වේ. 
අඩු මිලට, උසස් ප්‍රමිතියකින් යුතු භාණ්ඩ නිපදවිය යුතු අතර තෝරාගත් රටවල වෙළෙඳපොළ කෙළින්ම ඉලක්ක කළ යුතුවේ. නිෂ්පාදනය ඉහළ ගිය පසු රටවල් සමග සාකච්ඡා කර සෘජු වෙෙළඳාමට ප්‍රවේශ විය හැකිය. එහි දී ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ඇති කරගත හැකිවේ. තේ, රබර්, පොල් හෝ ඇඟලුම් හැර ප්‍රධාන අපනයනය කරන දෙයක් රහිත පසුබිමක් තුළ ලෝකයේ අනෙක් රටක් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම පලක් නැත. ඇමරිකාව එය පෙන්වා දෙන අතර ඉන්දියාව, චීනය හා යුරෝපා කොමිසම ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටී.



අදහස් (0)

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ලංකාවට වාසිද? අවාසිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1677 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site