IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ක්‍රියාත්මක කිරීමකින් තොර උපාය මාර්ගයේ විෂම චක්‍රය: ශ්‍රී ලාංකික ඛේදවාචකය

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්ති සම්පාදනය චාරිත්‍රයක් බවට පත්ව ඇති අතර එය කෙටුම්පත් කිරීම, දියත් කිරීම සහ මහා උපාය මාර්ග සාකච්ඡා කිරීම, රාමු සහ මාර්ග සිතියම්වල අඛණ්ඩ අභ්‍යාසයකි. සෑම නව රජයක්ම, අමාත්‍යාංශයක්ම හෝ නිලධාරියකුම ලේඛන, මාධ්‍ය සාකච්ඡා, පාර්ශ්වකරුවන්ගේ රැස්වීම් සහ නිර්භීත ප්‍රකාශ රැල්ලක් ගෙන එයි. එහෙත් ඔප දැමූ ආවරණ සහ හොඳ වචන සහිත දැක්මක් යටතේ අපහසු සත්‍යයක් තිබේ. ඒ ඉන් ක්‍රියාත්මක වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වීමයි. පුනරාවර්තනය විස්මයජනකය. ප්‍රතිඵල කලකිරීමට කරුණකි. එසේම එහි පිරිවැය ආර්ථික වශයෙන් පමණක් නොව, සමාජීය වශයෙන් සහ සදාචාරාත්මකව ද විනාශකාරී ය.

ශ්‍රී ලංකාවට අදහස්වලින් අඩුවක් නැත. ඇත්ත වශයෙන්ම, අපි ප්‍රතිපත්තිවලින් පිරී ඉතිරී ගොස් ඇත්තෙමු. ඩිජිටල් පරිවර්තනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අංශයේ නවීකරණය, ප්‍රවාහනය, බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය හෝ ජාතික නවෝත්පාදන උපාය මාර්ග වේවා, පසුගිය දශක දෙක තුළ රට විසින් ඉහළ මට්ටමේ ලේඛන දුසිම් ගණනක් නිෂ්පාදනය කර ඇත. ඒවායින් බොහොමයක් ජාත්‍යන්තර උපදේශන සහාය ඇතිව සංවර්ධනය කර ඇති අතර, සමහරක් සඳහා විශාල මූල්‍ය පිරිවැයක් දරා ඇත. ඒවා ශුභවාදීව දියත් කර ඇති අතර, සංඛ්‍යාලේඛන මගින් සහාය දක්වන තිරසාර සංවර්ධන ඉලක්ක, දේශගුණික විපර්යාස ක්‍රියාමාර්ග හෝ ඩිජිටල් ආර්ථිකය වැනි ගෝලීය ප්‍රවණතා සමඟ පෙළ ගැසී ඇත. එහෙත් මාස කිහිපයක් ඇතුළත, බොහෝ විට සති කිහිපයක් ඇතුළත, අවධානය වෙනත් තැනකට මාරු වේ. සැලසුම් දූවිලි බැඳෙයි. ගම්‍යතාව මියයයි. ජනතාව නැවත දුර්වල යටිතල පහසුකම්, කැඩුණු පද්ධති, අකාර්යක්ෂම පාලනය සහ විශ්වාසය නොමැතිකම යන පැරණි ගැටලුවලට මුහුණ දෙති.
උදාහරණයක් ලෙස රජයේ සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා නැවත නැවතත් කරන ඉල්ලීම් ගන්න. 2000 දශකයේ මුල් භාගයේ සිට සෑම පරිපාලනයක්ම විද්‍යුත් රාජ්‍ය පාලනය පොරොන්දු වී ඇත. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති නැවත නැවතත් කෙටුම්පත් කර ඇත. එහෙත්, 2025 දී, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් තවමත් දිගු පෝලිම්වල සිටගෙන සිටිමින්, අනවශ්‍ය ලියකියවිලි රැගෙන යන අතර, මූලික සහතිකයක් හෝ අනුමැතියක් ලබාගැනීම සඳහා නිලධාරීවාදය සමග පොරබදයි. මේ අතර, එස්තෝනියාව, රුවන්ඩාව හෝ බංග්ලාදේශය වැනි ඉතා අඩු සම්පත් ඇති රටවල් බරපතළ ඩිජිටල් පිම්මක් ගෙන ඇත. වෙනස කුමක්ද? ක්‍රියාත්මක කිරීම, අනුකූලතාව සහ දේශපාලන කැමැත්තයි. 
තවත් පැහැදිලි උදාහරණයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. 2021 දී, ශ්‍රී ලංකාව රසායනික පොහොර එක රැයකින් තහනම් කරමින් කාබනික-පමණක් ප්‍රතිපත්තියක් හදිසියෙම ප්‍රකාශයට පත් කරමින් ගෝලීය ප්‍රවෘත්ති බවට පත් විය. එය ඉදිරිපත් කරනු ලැබුවේ නිර්භීත හරිත උපාය මාර්ගයක් ලෙසය. එහෙත් එයට සූදානමක්, විද්‍යාත්මක යෙදවුම් සහ නිසි පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් නොතිබුණි. එහි ප්‍රතිඵලය වූයේ බෝග අසාර්ථකත්වය, ආහාර හිඟය සහ ආර්ථික හානියයි. මාස කිහිපයක් ඇතුළත, ප්‍රතිපත්තිය ආපසු හැරවීමට සිදු විය. එහෙත්, ගැඹුරු ගැටලුව තවමත් පවතී. ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ රාමු නොමැතිව අපි පුළුල් උපායමාර්ගික වෙනස්කම් දිගටම සිදු කරන්නේ ඇයි?
ප්‍රවාහනය තවත් ක්ෂේත්‍රයකි. උඩින් දිවෙන අධිවේගී මාර්ගවල සිට විදුලි බස් රථ දක්වා සහ සුහුරු රථවාහන පද්ධති දක්වා, අපි සැලසුම් දුසිම් ගණනක් දැක ඇත්තෙමු. ජාතික ප්‍රවාහන කොමිසම හෝ මහ නගර අමාත්‍යාංශය වැනි ආයතන ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් දියත් කර ඇතත්, මාර්ග තවමත් තදබදයට හසුව ඇත, පොදු ප්‍රවාහනය යල් පැන ගොස් ඇත සහ නාගරික සැලසුම් කිරීම අහඹු ලෙස පවතී. නව අමාත්‍යවරයකු වැඩ භාර ගන්නා සෑම අවස්ථාවකම, පෙර සැලසුම් අතහැර දමනු ලබන අතර, නව අධ්‍යයන ආරම්භ වේ. නැවත ආරම්භ කිරීම සඳහා පමණක් රුපියල් මිලියන ගණනක් සහ වසර ගණනාවක කාලය අහිමි වෙයි. 
අධ්‍යාපන අංශය ද කියන්නේ ඒ හා සමාන කතාවකි. බොහෝ ප්‍රතිපත්ති මගින් විෂයමාලා ප්‍රතිසංස්කරණ, වෘත්තීය පුහුණු ඒකාබද්ධ කිරීම සහ ඩිජිටල් ඉගෙනුම් යටිතල පහසුකම් පොරොන්දු වී ඇත. 2010 දී පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවකුට 2020 වන විට “ස්මාර්ට් පන්ති කාමරයක්” ලබාදෙන බවට පොරොන්දු විය. එහෙත් යථාර්ථයේ දී, බොහෝ පාසල් තවමත් මූලික සනීපාරක්ෂාව, ගුරුවරුන් නොමැතිකම සහ යල් පැන ගිය විෂය නිර්දේශ සමඟ අරගල කරයි. කමිටු, කාර්ය සාධක බළකායන් සහ පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයන වැඩසටහන් තිබියදීත්, පද්ධතිය තවමත් ප්‍රමාදවෙමින් පවතී. ගැටලුව වන්නේ දැක්මක් නොමැතිකම නොවේ. ගැටලුව තිරසාර බෙදාහැරීමක් නොමැතිකමයි.
මෙය සිදුවන්නේ ඇයි? සාක්ෂරතාවෙන් යුත්, ඔරොත්තු දෙන සහ සංස්කෘතික වශයෙන් පොහොසත් ජනගහනයක් සිටින ජාතියක් වන ශ්‍රී ලංකාව, කිසිදා ආලෝකය නොලබන උපාය මාර්ග සෑදීමේ උගුලට නිරන්තරයෙන් හසුවන්නේ ඇයි?
පළමුව, නිදන්ගත දේශපාලන අඛණ්ඩතාවක් නොමැතිකමය. සෑම මැතිවරණ චක්‍රයක් සමගම, අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් වෙනස් වේ. නව කණ්ඩායමට බොහෝ විට කලින් කළ කාර්යය ප්‍රතික්ෂේප කිරීම හෝ නොසලකා හරිමින් අලු‍තින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව දැනේ. ආයතනික මතකයට ගරු නොකිරීම, අනුපිටපත් කිරීම ප්‍රමාදය සහ බාධා කිරීම්වලට තුඩු දෙයි. ජාතික ප්‍රතිපත්ති දේශපාලන පෞරුෂයන් ඉක්මවා යන බව සහතික කිරීමට යාන්ත්‍රණයක් නොමැත. ප්‍රතිපත්තිය ජාතික න්‍යාය පත්‍රයක් නොව පෞද්ගලික වෙළඳ නාමයක් බවට පත්වේ.
දෙවනුව, අපගේ නිලධාරිවාදී සංස්කෘතිය බොහෝ විට ප්‍රතිඵලවලට වඩා ක්‍රියාවලියට විපාක දෙයි. සාර්ථකත්වය මනිනු ලබන්නේ ජනනය කරන ලද වාර්තා ගණන අනුව මිස භූමියේ සැබෑ ප්‍රතිඵල අනුව නොවේ. ලබා නොදීම සඳහා සීමිත වගවීමක් හෝ ප්‍රතිවිපාකයක් ඇත. බොහෝ රාජ්‍ය ආයතන නවීන ව්‍යාපෘති කළමනාකරණ පද්ධති හෝ සැබෑ ලෝක බලපෑම නිරීක්ෂණය කරන ප්‍රධාන කාර්ය දර්ශකවලින් සමන්විත නොවේ. රැස්වීම් පවත්වනු ලැබේ, වාර්තා ලියා ඇත, එහෙත් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වේ.
තෙවැන්න වන්නේ, මහජන උපදේශනය බොහෝ විට මතුපිටින් පෙනීමයි. බොහෝ ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේ බිම් මට්ටමේ අවම සහභාගීත්වයක් සහිත සම්මන්ත්‍රණ ශාලා තුළය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඒවා දේශීය යථාර්ථය පිළිබිඹු කිරීමට අසමත් වේ. ප්‍රජා සහභාගීත්වයෙන් තොරව, වඩාත් හොඳින් අදහස් කරන ලද උපාය මාර්ග පවා ක්‍රියාත්මක කිරීමේ බාධකවලට මුහුණ දෙන විට බිඳ වැටේ.
සිවුවැන්න වනුයේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් මත අධික ලෙස රඳා පැවතීමයි. බාහිර සහාය වටිනා විය හැකි නමුත්, එය සමහර විට ජාතික ප්‍රමුඛතා “ප්‍රක්ෂේපණය කිරීමට” හේතු වේ. ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේ රටට සැබවින්ම අවශ්‍ය දේ නොව, ජාත්‍යන්තර ආයතන අරමුදල් දීමට කැමති දේ අනුව ය. මෙය දිගුකාලීන ජාතික කැපවීම්වලට වඩා ඛණ්ඩනය වූ, කෙටි කාලීන උත්සාහය නිර්මාණය කරයි.
පස්වැනුව, “ක්‍රියාවට වඩා නිවේදනය” යන සංස්කෘතික ගැටලු‍වක් තිබේ. මාධ්‍ය දෘෂ්ටි විද්‍යාව සහ දේශපාලන රංග කලාවේ යුගයේ, නව ප්‍රතිපත්තියක් දියත් කිරීම ප්‍රධාන මාතෘකා බවට පත්වේ. වසර පහක් පුරා එය ක්‍රියාත්මක කිරීමේ දුෂ්කර, නිහඬ කාර්යය කිරීමෙන් එය සිදු නොවේ. නායකයන් බොහෝ විට නඩත්තු කරන්නන් නොව ආරම්භකයන් ලෙස දැකීමට කැමැත්තක් දක්වයි. දිරිගැන්වීමේ පද්ධතිය තිරසාරභාවයට නොව දෘශ්‍යතාවට නැඹුරු වේ.
මෙම අක්‍රියතාවට සැබෑ පිරිවැයක් ඇත. ආයෝජකයන් සඳහා, එය අවිනිශ්චිතතාවක් ඇති කරයි. පුරවැසියන් සඳහා, එය කලකිරීමට හේතු වේ. තරුණයන් සඳහා, එය සංක්‍රමණයට හේතු වේ. අපි ඉටු නොකර වැඩි වැඩියෙන් පොරොන්දු වන තරමට, ජාතියක් ලෙස අපට නැති වන්නේ විශ්වාසයයි.


 ඉතින්, ඉදිරි මාවත කුමක්ද? 
ශ්‍රී ලංකාව මෙම චක්‍රය බිඳ දැමිය යුතුයි. පළමුව, අපට ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුවක් අවශ්‍ය වන අතර, එය දේශපාලනික නොවන, වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද සහ ආයතනික වශයෙන් නැංගුරම් ලා ඇති එකක් විය යුතුය. ප්‍රතිපත්ති අමාත්‍යවරුන් සතු නොවිය යුතුය; ඒවා ජාතිය සතු විය යුතුය. මහ බැංකුව හෝ විගණකාධිපති කාර්යාලය මෙහෙයුම් ස්වාධීනත්වය භුක්ති විඳිනවා සේම, අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කර මෙහෙයවන ස්වාධීන බෙදාහැරීමේ ඒකකයක් අපට අවශ්‍ය වේ.
දෙවනුව, අප අපගේ රාජ්‍ය සේවය ඩිජිටල් මෙවලම්, පුහුණුව සහ පැහැදිලි නියෝග සමඟින් බලගැන්විය යුතුය. පරිපාලනය කිරීමට පමණක් නොව, සැපයීම සඳහා සිවිල් සේවකයන් දිරිමත් කළ යුතුය. දත්ත මත පදනම් වූ පාලනය ව්‍යතිරේකය නොව, සම්මතය බවට පත්විය යුතුය.
තෙවැනුව, පුරවැසි සහභාගීත්වය නැවත අර්ථ දැක්විය යුතුය. ඉහළ සිට පහළට සන්නිවේදනය කිරීම වෙනුවට, ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රජාවන්, වෘත්තීය සංගම් සහ ප්‍රාදේශීය නායකයන් සමග අඛණ්ඩ සංවාදයක නිරත විය යුතුය. ජංගම දුරකථන පාදක ප්‍රතිපෝෂණ පද්ධතිවල සිට සහභාගීත්ව අයවැයකරණ මෙවලම් දක්වා මෙම පරතරය පියවීමට තාක්ෂණයට උපකාරී වේ.
සිවුවැනුව, අපි අඛණ්ඩතාව සැමරිය යුතුය. අතීතයේ හොඳ ප්‍රතිපත්තියක් පිළිගත යුතු අතර, ඒවා වැඩිදියුණු කරමින්, දිගටම කරගෙන යා යුතුය. දේශපාලන පරිණතභාවය පවතින්නේ පෙර වැඩ මත ගොඩනැගීම තුළ මිස එය අහංකාරයෙන් ඉවත දැමීම මත නොවේ. මේ සඳහා, ප්‍රධාන උපාය මාර්ගවල තත්‍ය කාලීන ප්‍රගතිය පෙන්වමින් සැමට ප්‍රවේශ විය හැකි ජාතික ප්‍රතිපත්ති ලේඛනාගාරයක් හෝ ඩිජිටල් ප්‍රතිපත්ති ලු‍හුබැඳීමක් නිර්මාණය කළ හැකිය.
පස්වැනුව, ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීමේදී මාධ්‍ය සහ සිවිල් සමාජය වඩාත් ශක්තිමත් කාර්යභාරයක් ඉටු කළ යුතුය. ප්‍රතිපත්ති නිවේදන වාර්තා කිරීමෙන් මාධ්‍යවේදය නතර නොවිය යුතුය. එය මාස හයකට පසු, වසරකට පසු ගමන අනුගමනය කර දුෂ්කර ප්‍රශ්න ඇසිය යුතුය. පාසල් වැඩිදියුණු කර තිබේද? ගොවීන්ට සහාය ලැබේද? පද්ධති ගොඩනඟා තිබේද?
අවසාන වශයෙන්, ලෝකය වේගයෙන් ගමන් කරන බව ශ්‍රී ලංකාව වටහා ගත යුතුය. වරක් අපට පිටුපසින් සිටි රටවල් දැන් ඉදිරියෙන් සිටී. තවත් දශකයක ප්‍රමාදයන් අපට දරාගත නොහැක. දැක්ම පමණක් රටක් පරිවර්තනය නොකරනු ඇත. එය කළ හැක්කේ ක්‍රියාමාර්ගවලට පමණකි.
ශ්‍රී ලංකාව දක්ෂතාවෙන්, ස්වාභාවික සුන්දරත්වයෙන්, භූගෝලීය වාසියෙන් සහ අභිමානවත් ඉතිහාසයකින් ආශිර්වාද ලබා ඇත. එහෙත් අපගේ ජනතාවට සුදුසු අනාගතයක් ගොඩනැගීමට නම්, අප වචනවලින් ක්‍රියාවට මාරු විය යුතුය. උපාය මාර්ග වැදගත් නමුත් ඒවා ආරම්භය පමණි. වැදගත් වන්නේ ඉන් පසුව සිදුවන කාර්යයයි.
අපි ප්‍රමාණවත් ප්‍රතිපත්ති ලියා ඇත්තෙමු. ක්‍රියාත්මක කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිඵල පිළිබඳ වෙනස් කතාවක් ලිවීමට කාලයයි. ඊළඟ පරම්පරාව සඳහා අප ගොඩනඟන උරුමය එයයි. 
(මෙම ලියුම්කරු ඩිජිටල්, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ විසඳුම්, අලෙවිකරණය, නවෝත්පාදන, සංවර්ධනය, ඒකාබද්ධ කිරීම සහ වෙළෙඳපොළ සංවර්ධනය ආවරණය කරමින් ගෝලීය කීර්තිමත් සංවිධානවල වසර 30 කට වැඩි පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි)

සිංහලට පරිවර්තනය කළේ : අනිල් කරුණාරත්න



අදහස් (0)

ක්‍රියාත්මක කිරීමකින් තොර උපාය මාර්ගයේ විෂම චක්‍රය: ශ්‍රී ලාංකික ඛේදවාචකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site