IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උණවේරුවේ සේසත් කර්මාන්තයත් කබලෙන් ළිපට

  • නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබීමත් අමුද්‍රව්‍ය හිඟයත් බරපතළ ප්‍රශ්නයක්
  • වර්තමානයේ කර්මාන්තයේ නිරතව සිටින පවුල් ගණන 50 ක්
  • නිෂ්පාදකයන්ගෙන් අඩු මිලට ගත්තත් වෙළෙඳපොළේ ගිනි ගණන්
  • මිනිරන් ලබා ගැනීමේදී සහ ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර නොදීම සේසත් කර්මාන්තය කඩා වැටීමට හේතුවක්
  • රජයේ අවධානය යොමුකර මේ කර්මාන්තය නගා සිටුවීමට සහාය අවශ්‍යයි

මාතලේ - මහේෂ් කීර්තිරත්න

ගාමිණී විජේසූරිය තිළිණ මදුශංක සහ හිරන්ති නිමේෂා යුවළ

ලංකාවේ එක් පළාතකට පමණක් සීමා වූ සේසත් කර්මාන්තය ගැටලු‍ රැසක් නිසා අභාවයට යමින් පවතින බව එම කර්මාන්තයේ නිරත මාතලේ යටවත්ත උණවේරුව ගම්මානයේ පිරිස් පවසති.

අතීතයේ ඌර්ණගම වෙහෙර ඉදිවූ නිසා ඌර්ණගම ලෙස හැඳින්වූ බවත් පසුව උණගම වී වර්තමානයේ දී උණවේරුව වී ඇති බව සඳහන් වේ.

ඉතිහාසයේ සඳහන් වන්නේ “අව් අතු” ලෙසින් හැඳින්වූ මෙම අපූර්ව නිර්මාණය පසු කලෙක සේසත් ලෙස හැඳින්වූ බවය. සඝමිත් තෙරණිය ලංකාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ශිල්ප කුල 18 ක් පැමිණි බවත් ඒ පිරිස් අතරින් පිරිසක් මෙම ගම්මානයේ සිට මෙම නිර්මාණ කාර්යයෙහි නිරත වී ඇති බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

වසර 1887 දී ඒ.සී. ලෝරි විසින් කළ සමීක්ෂණයකදී මාතලේ අවට විවිධ පාරම්පරික කලා ශිල්ප කරගෙන යන ගම්මාන 36 ක් තිබෙන බව හෙළි වී තිබේ.

ඒ අතර පැමිණි “දිනිමුතුවල්ලියා” නමින් රත්න වල්ලි කුලියට අයත් බ්‍රාහ්මණ කුල වංශිකායට පැවරී ඇති කාර්යය බවට පත් වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට සෙවණ සැලසීම බවත් ඒ අනුව නිර්මාණය වූ අව් අතු සේසත් පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙසේ පැමිණි දිනිමුතුවල්ලියා නම් අය විසින් යටවත්ත ප්‍රදේශයේ පිහිටි දිවිල්ල ගම්මානයේ ජීවත් වූ බවත් පසුව එම පරම්පරාවේ පිරිස් විසින් මෙම නිර්මාණවල යෙදුණු බව පැවසේ.

පුරාණයේ මෙම සේසත් ප්‍රභූන් අව් රශ්මියෙන් ආරක්ෂා කිරීමට යොදාගත් බවත් පසුව සේසත සෞභාග්‍ය මෙන්ම ගාම්භීරත්ව පෙන්නුම් කිරීම සඳහා නිවෙස්වල තැබීම සඳහා සිදු කළ නිර්මාණයක් බවද පැවසේ.

වර්තමානයේ දී මෙම ගම්මානයේ පාරම්පරිකව ජීවත් වන පිරිස් තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබීම නිසා සහ අමුද්‍රව්‍ය හිඟය නිසා දැඩි අපහසුවට පත්ව සිටිති.

වර්තමානයේ දී මෙම ගම්මානයේ පවුල් 50 ක් පමණ මෙම කර්මාන්තයේ නිරතව සිටින අතර පවතින ප්‍රශ්න හමුවේ ඔවුන් ද ක්‍රමක්‍රමයෙන් මෙම ශිල්පයෙන් ඈත්වෙමින් සිටී.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාරම්පරික ශිල්පියකු වන ගාමිණී විජේසූරිය මහතා මෙසේ කියා සිටියේය.

“අපි නිර්මාණය කරන මෙම සේසත් ඉතා අඩු මිලට අපෙන් ගන්නේ. එහෙත් කොළඹ ආදී ප්‍රදේශවලට වැඩි මුදලකට විකිණෙනවා. විවිධ කාලවකවානුවලදී මෙම කර්මාන්තය නගා සිටුවීමට වැඩසටහන් දියත් කළත් ඒවාද ඇනහිටලා. අතරමැදියන් විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා. මේ වන විට පතුරු මිනිරන් ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකම නිසා ද ගැටලු‍ රැසක් නිර්මාණය වෙලා. සේසත් අලෙවි නොවීම බරපතළ ප්‍රශ්නයක්.”

මේ පිළිබඳව අදහස් දැක්වූ එස්.ජී. උපාලි මහතා කියා සිටියේ මෙවන් අදහසකි.

“අද අපිට ඇති ලොකුම ප්‍රශ්නය සේසත් නිර්මාණය කිරීම සඳහා පතුරු මිනිරන් සොයා ගැනීමේ ගැටලු‍වයි. මොරගහකන්ද ජලාශය හැදෙන්න කලින් හොඳම මිනිරන් තිබුණේ එහේ. ඒවා ඔක්කොම යටවුණා ජලාශය නිසා. අපි විවිධ ඉල්ලීම් කළා යටවෙන්න කලින් ගොඩගමු කියලා. එහෙත් ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. වර්තමානයේ දී මේවා ගන්න නැති තත්වයට පත්වෙලා. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවෙලා මේ කර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

සේසත් අලෙවි කිරීමේ නිරත යුවළක් වන තිළිණ මදුශංක සහ හිරන්ති නිමේෂා යන අය පැවසුවේ මෙවන් අදහස්ය. 

“අපි මේ ගම්මානයේම හිඳිමින් සේසත් අලෙවි කිරීම් අන්තර්ජාලය සහ ලැබෙන ඇණවුම් ඔස්සේ සිදු කරනවා. එහෙත් විවිධ ගැටලු‍ රැසක් මේ කර්මාන්තයේ පවතිනවා. ඒ සඳහා නිසි විසඳුම් ලබා දිය යුතුයි. මේ සඳහා විවිධ ස්ථානවලින් ඉල්ලු‍මක් තියෙනවා. එහෙත් විධිමත් ලෙස අලෙවි කළ යුතුයි. මෙම නිර්මාණය සඳහා විශාල කාලයක් ශ්‍රමයක් යනවා. ඒ සඳහා නිසි වටිනාකමක් ලැබිය යුතුයි. මේ වන විට රටවල් කිහිපයකට සේසත් ලබා දෙමින් සිටිනවා. ඒ සඳහා ලොකු ඉල්ලු‍මක් තියෙනවා. එහෙත් මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි. මේ ප්‍රදේශයේ දක්ෂ නිර්මාණකරුවන් සිටිනවා. ඉදිරි පරපුරට මේවා දායාද කළ යුතුයි. අභාවයට යන මෙම කර්මාන්තය රැක ගැනීම අත්‍යවශ්‍යයි.” 

සේසත රැඳවීම සඳහා ගන්නා ලාක්ෂා මිට සකස් කිරීමේදී ගැටලු‍ රැසකට මුහුණ පා සිටිනවා.” 

කර්මාන්තකරුවන් කියා සිටින්නේ පාරම්පරික කලා ශිල්පීන් රැක ගැනීමට නම් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය. ඔවුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබා දීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබා දිය යුතු බවය. දායකත්ව විශ්‍රාම වැටුපක් හෝ ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීමට නිසි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

උණවේරුව සේසත් කර්මාන්තයේ වැඩිපුර නිරතව සිටින්නේ කාන්තාවන්ය. සිය පවුලට ආර්ථික ශක්තියක් ලබාගන්නේ සේසතේ විවිධ රටා මවමින්ය. සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ යමින් එම කටයුතු සිදු කරන අතර වැසි දිනවලදී ඔවුන් දැඩි අපහසුතාවට පත්වන්නේ වේළා ගැනීම් ආදිය කිරීමට නොහැකි වන නිසාය. ඒ සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන යම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මිනිරන් ලබා ගැනීමේදී සහ ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර නොදීම නිසා සේසත් කර්මාන්තය කඩා වැටීමේ බරපතළ අවදානමකට පත්ව තිබෙන අතර විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරන පිරිස් අගය කළ යුතුය. ලංකාවේ ඇති එකම සේසත් නිපදවන උණවෙරුව ගම්මානය හා ජනතාව ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීමට නව රජයේ අවධානය ද යොමුවිය යුතු බව ඔවුන්ගේ අදහසයි.



අදහස් (0)

උණවේරුවේ සේසත් කර්මාන්තයත් කබලෙන් ළිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site