වරලත් මූල්‍ය විශ්ලේෂක බිමල් පෙරේරා
මෙම ලිපිය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා CFA සංගමය විසින් පළකරන සහයෝගිතා ලිපි මාලාවක තවත් ලිපියකි. මෙමගින් මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ දිගුකාලීන මූල්‍ය ආරක්ෂාව ගොඩනැගීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් සමග පුද්ගලයන් සවිබල ගැන්වීම අරමුණු කරයි. අද ලිපිය ඒකක භාර අරමුදල්වල ආයෝජනය සම්බන්ධයෙන් ලියන ලද්දකි.
ඒකක භාරවල ආයෝජනය සරල ලෙස පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකිකයෝ තම පෞද්ගලික මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කල, බොහෝ විට බැංකු ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු සහ ඉඩම් මිලදී ගැනීම් වැනි තමාට ඉතා හුරුපුරුදු ආයෝජන මාර්ග මත විශ්වාසය තැබීමට නැඹුරු වෙති. ඒකක භාර හෙවත් CIS වැනි වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද (Professionally Managed) ආයෝජන විකල්ප පිළිබඳ වර්තමාන සමාජය තුළ ජනතාවට ඇත්තේ සීමිත දැනුවත්භාවයකි. එහෙත් මෙම ආයෝජනයෙන් ආයෝජකයන්ට තම ආයෝජන වඩා හොඳින් විවිධාංගීකරණය කරමින් ආයෝජනය කිරීමට අවස්ථාවක් සපයන අතර දිගු කාලීන ධනය උත්පාදනයට ද සහාය වේ.
ගෝලීය වශයෙන් සලකා බලන විට, ඒකක භාර සහ සාමූහික ආයෝජන අරමුදල් යනු සුළු පරිමාණ ආයෝජකයන් විසින් ඉතිරි කරන්නන්ගේ සිට විශ්‍රාමිකයන් දක්වා වඩා බහුලව භාවිත කරන ආයෝජන උපකරණයකි. ඊට හේතුව පහසුවෙන් ආයෝජනයට ප්‍රවේශ විය හැකි බව, නම්‍යශීලීභාවය සහ වෘත්තීය වශයෙන් කළමනාකරණය කරන ලද ආයෝජන මාර්ගයක් යන හේතුය. එහෙත් ශ්‍රී ලංකාවේ, මෙම ආයෝජන උපකරණවල ආයෝජනය කරනු ලබන පිරිස ඉතා සීමිතය. ආයෝජකයන් තුළ ඇති අඩු දැනුවත්භාවය සහ ඒකක භාර ක්‍රියා කරන ආකාරය පිළිබඳ තිබෙන සීමිත මූල්‍ය සාක්ෂරතාව මෙම අඩු සහභාගීත්වයට හේතු වී තිබේ.
අප එම බාධක බිඳ දමා ඒකක භාර ක්‍රියා කරන ආකාරය, එම ආයෝජන ඇත්තේ කවුරුන් වෙනුවෙන්ද, සහ කුඩා මුදලකින් වුවද ආයෝජනය ආරම්භ කළ හැකි ආකාරය පිළිබඳව වැඩිදුර කරුණු සොයා බලමු.
ඒකක භාරයක් යනු කුමක්ද?
ඒකක භාරයක් යනු බොහෝ ආයෝජකයන් පිරිසකගෙන් එක් රැස්කර ගන්නා ලද සාමූහික අරමුදලකි. ඊට රුපියල් 1,000 හෝ රුපියල් මිලියන 10 බැගින් හෝ වේවා ආයෝජකයන්ට දායක විය හැකිය. මෙසේ එකතු කරගත් අරමුදල වෘත්තීය අරමුදල් කළමනාකරුවකු විසින් රජයේ සුරැකුම්පත් (උදා: භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර), සාංගමික සහ ලයිස්තුගත සමාගම් කොටස් වැනි වත්කම්වල ආයෝජනය කරනු ලබයි.
ඔබ ආයෝජනය කරන විට, ඔබ කොපමණ මුදලක් ආයෝජනය කරනවාද යන්න මත පදනම්ව අරමුදලින් කොටසක් (යම් කිසි ඒකක ප්‍රමාණයක්) ඔබට ලැබේ. එය තවදුරටත් පැහැදිලි කළහොත් අරමුදල සතු මුළු ඒකක ප්‍රමාණයෙන් යම් ඒකක ප්‍රමාණයක් ඔබ හිමි කර ගැනීමකි. ඔබ ආයෝජනය කළ මුදලට සමානුපාතිකව මෙසේ ඔබ විසින් මිලදී ගන්නා ඒකක වල වටිනාකම දිනපතා වෙනස් වේ. එක් එක් ඒකකයේ අගය NAV ලෙසද හඳුන්වයි. එය ශුද්ධ වත්කම් වටිනාකම (NAV) ලෙස ද හඳුන්වයි. NAV, එම ඒකක භාර අරමුදල් ආයෝජනය කර ඇති සුරැකුම්පත්වල (වත්කම්) කාර්ය සාධනය මත පදනම්ව දිනපතා වෙනස් වේ.
ඒකක භාර ආයෝජනය අඩු වියදමකින්, පහසුවෙන් කිරීමට ඉඩ සලසන මෙන්ම වෘත්තීය කළමනාකරණයකින් යුතු වාසි ලබා දේ. එමගින් ආයෝජකයාට සෑහීමකට පත් විය හැකි ප්‍රතිලාභයක් ලබා දෙයි. සෑම ශ්‍රී ලාංකිකයකුටම රුපියල් 1,000 කින් හෝ රුපියල් 100,000 කින් වුවද ආරම්භ කළ හැකි මෙම ආයෝජනය ශක්තිමත් මූල්‍ය අනාගතයක් ගොඩනැගීමටද වටිනා අවස්ථාවක් ආයෝජකයන්ට ලබා දෙයි.
ඒකක භාර ආයෝජනයට ඔබ පිවිසිය යුත්තේ ඇයි?
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ඒකක භාර ආයෝජනය වෙත යොමු විය යුත්තේ පහත කරුණු නිසාය.
අඩු මුදලකින් ආරම්භක කිරීමේ හැකියාව. (ඔබට රු. 1,000ක් වැනි කුඩා මුදලකින් වුවද මෙම ආයෝජනය ආරම්භ කළ හැකිය)
විවිධාංගීකරණය(ඔබේ මුදල් වත්කම් කිහිපයක ආයෝජනය කිරීමක් මෙයින් අදහස් කෙරේ. එක් වත්කමකට පමණක් සීමාවීමක් නොමැතිව විවිධ වත්කම්වල ආයෝජනය මෙහි ඇති සුවිශේෂත්වයකි)
වෘත්තීය අරමුදල් කළමනාකරණය (වෘත්තිය නිපුනතාවක් සහිත විශේෂඥයන් විසින් ඔබේ ආයෝජන හසුරුවමින්, නිරන්තර නිරීක්ෂණයට ලක්කරමින් අවදානම නිසි ලෙස කළමනාකරණය කරමින් ආයෝජනය කරන නිසා අරමුදලට නිසි ප්‍රතිලාභ ඔවුන් ලබා දේ)
ද්‍රවශීලතාව (සංවෘත අරමුදල් හැර අනෙකුත් අරමුදල් ඔබට ඕනෑම වේලාවක මුදල් බවට පහසුවෙන් පරිවර්තනය කිරීම කළ හැකිය. එනම් ඔබගේ මුදල් ආපසු ලබා ගත හැකිය.)
අධීක්ෂණය (මෙය ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන උපකරණයක් නිසා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC සෘජු අධීක්ෂණයට ලක් වන බැවින් ආයෝජනවලට ඉහළ ආරක්ෂාවක් ලැබේ.
ඒකක භාර වර්ග
ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන ඒකක භාර වර්ග මොනවාද යන්න පහත අයුරින් පෙන්වා දිය හැකිය.
මුදල් වෙළෙඳපොළ අරමුදල් (Money Market Fund)
මෙම අරමුදල් වැඩි වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් වැනි කෙටි කාලීන, ආරක්ෂිත උපකරණවල ආයෝජනය කරයි. ප්‍රධාන ඉලක්කය වන්නේ ඉහළ ප්‍රතිලාභ නොව ප්‍රාග්ධන සංරක්ෂණයයි. මාස කිහිපයක් සඳහා ආරක්ෂිතව මුදල් ආයෝජනය කිරීමට කැමැති ආයෝජකයන් සඳහා මෙම අරමුදල් වඩා සුදුසු වන අතර සමහර විට දිගු කාලීන ආයෝජනයක් තීරණය කරන අතරතුරද මෙම අරමුදල යෝග්‍ය ආයෝජනයකි.
මුදල් වෙළෙඳපොළ අරමුදල් වඩාත් සුදුසු වන්නේ:
හදිසි ඉතිරිකිරීම් සඳහා යොමුවන්නන්, කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීම සඳහා බලාපොරොත්තු වන්නන් (උදා: සංචාරයක් හෝ භාණ්ඩ මිලදී ගැනිමක් සඳහා ඉතිරි කිරීම) සහ ද්‍රවශීලතාව සොයන කෙටි කාලීන ආයෝජකයන් වැනි අය සඳහාය.
ආදායම් අරමුදල් (Income Funds)
මෙම අරමුදල් සාංගමික ණයකර සහ රජයේ බැඳුම්කරවල ආයෝජනය කරන අතර, පොලී ගෙවීම් හරහා ස්ථාවර ආදායම් ප්‍රවාහයක් ආයෝජකයන්ට ලබා දෙයි. ඒවා කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ අරමුදල්වලට වඩා ස්ථායී වන අතර ඉහළ අවදානමකින් තොරව පුරෝකථනය කළ හැකි ප්‍රතිලාභ අපේක්ෂා කරන විශ්‍රාමිකයන් හෝ ගතානුගතික ආයෝජකයන්ට වඩා සුදුසුය.
ආදායම් අරමුදල් වඩාත් සුදුසු වන්නේ:
ආදායමක් සොයන විශ්‍රාමික පුද්ගලයන් සහ
ස්ථාවර තැන්පතු වලින් මාරු වන නමුත් ඒ හා සමාන අඩු අවදානම් සහිත විකල්ප ආයෝජන සොයන පුද්ගලයන්ටය.
හිමිකම් අරමුදල් (Equity Funds)
හිමිකම් අරමුදල් ප්‍රධාන වශයෙන් ලයිස්තුගත සමාගම්වල කොටස්වල ආයෝජනය කරයි. මෙම අරමුදල් දිගුකාලීන සහ ප්‍රාග්ධන වර්ධනය අරමුණු කර ගෙන ඇති අතර වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් ආයෝජනය කර තබා ගත හැකි අයට වඩාත් සුදුසුය. ප්‍රතිලාභ ඉහළ විය හැකි නමුත් ආයෝජනයෙහි අස්ථාවරත්වයද අන්තර්ගතව ඇත.
හිමිකම් අරමුදල් වඩාත් සුදුසු වන්නේ :
තරුණ වෘත්තිකයන් සහ වෙළෙඳපොළ උච්චාවචනයට ඔරොත්තු දිය හැකි ආයෝජකයන්ට විශ්‍රාම දිවියට ඉතිරි කරන හෝ දිගු කාලීන ධනය අපේක්ෂාවෙන් ඉතිරි කරන ආයෝජකයන්ටය.
සමතුලිත අරමුදල් (Balanced Funds)
සමතුලිත අරමුදල් කොටස් සහ බැඳුම්කර මිශ්‍රණයක ආයෝජනය කරන අතර, එමගින් ස්ථාවර ආදායම් සහ කොටස් ආයෝජනයේ පවතින අවදානම සහ ප්‍රතිලාභ සංයෝජනයක් ලබා දෙයි. මෙම සමතුලිත අරමුදල් වඩාත් සුදුසු වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජනයට තම සියලු මුදල් නොයොදන සහ බැඳුම්කරවල ද ආයෝජනය කිරීමට කැමැති පුද්ලයන්ටය. එය තවදුරටත් පැහැදිලි කළහොත් මෙම අරමුදල්.
දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් ඉතිරි කරන, ආරම්භ කළ යුත්තේ කුමන වත්කම්වලද යන්න නිසි අවබෝධයක් නොමැති පළමුවරට ආයෝජනය කරන සහ අවුරුදු 5ත්, 7ත් අතර කාලයකට ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මධ්‍ය කාලීන ඉලක්ක සහිත ආයෝජකයන්ට වඩාත් සුදුසුය.
ආංශික අරමුදල් (Sector Funds)
මේවා බැංකු, තාක්ෂණය හෝ නිෂ්පාදන වැනි නිශ්චිත අංශ කෙරෙහි අවධානය යොමු කරන විශේෂිත අරමුදල් වේ. මෙම අරමුදල් තෝරාගත් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බැවින් ඒවා වඩාත් අවදානම් සහ වඩාත් අස්ථාවර වේ. මෙම අරමුදල් ඉහළ අවදානමක් ගැනීමට කැමැති මෙන්ම මනා ඉවසීමක් ඇති පළපුරුදු ආයෝජකයන් සඳහා වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම තෝරාගත් ව්‍යාපාර ක්ෂේත්‍රවලින් ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරන ආයෝජකයන්ට මෙන්ම දැනටමත් සාමූහික අරමුදල්වල ආයෝජනයට පුරුදු වී සිටින ආයෝජකයන්ට මෙවැනි අරමුදල් වඩාත් සුදුසුය.
ප්‍රතිලාභ ලබා ගත හැක්කේ කාටද? සැබෑ ජීවිත උදාහරණයක් ගෙන පහත අයුරින් සලකා බැලිය හැකිය.
පළමු උදාහරණය:
”කොළඹ පදිංචි 25 හැවිරිදි තරිඳු විධායක නිලධාරියකු වන අතර ඔහු සිය පළමු රැකියාව ආරම්භ කළා පමණි” යැයි සිතමු. ඔහුගේ සම්පූර්ණ වැටුප වියදම් කරනවා වෙනුවට, ඔහු මසකට රුපියල් 5,000 ක් ඉතිරි කර කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ ඒකක භාර අරමුදලක වසර 10-15 ආයෝජනය කළා යැයිද සිතුවොත් ඔහුගේ මුදල් සැලකිය යුතු ලෙස වර්ධනය විය හැකිය. ඒ ඔහුට මුදල් එක්රැස්කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබීම සහ දිගුකාලීනව ආයෝජනය කළ බැවිනි. එවැනි පුද්ගලයන් ඉක්මනින් පොහොසත් වීමට උත්සාහ නොකරයි. ඔහු සෙමින් හා ස්ථාවරව ධනය ගොඩනගා ගැනීමට උත්සාහ දරයි. ඔහුට වඩාත් ගැළපෙන අරමුදල් වර්ගය හිමිකම් හෝ සමතුලිත අරමුදල්ය.
දෙවැනි උදාහරණය:
පෙරේරා මහතා, වයස අවුරුදු 63 ක් වූ විශ්‍රාමික ගුරුවරයකු යැයි උපකල්පනය කරමු. පෙරේරා මහතාට අවශ්‍ය වන්නේ විශ්‍රාම යාමෙන් පසු මාසික ආදායමක් උපයන අතරම ඔහුගේ EPF සහ පාරිතෝෂික මුදලින් කොටසක් ආරක්ෂිතව ආයෝජනය කිරීමටයි. ඔහු ආදායම් අරමුදලක් සහ මුදල් වෙළෙඳපොළ අරමුදලක් තෝරා ගන්නා අතර එය භාණ්ඩාගාර බිල්පත් වැනි රජයේ සුරැකුම්පත් වල ආයෝජනය කරයි. මෙය ඔහුගේ ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමට සහ ඉතිරිකිරීමේ ගිණුමකට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීමට බෙහෙවින් උපකාරී වේ. මෙවැනි ආයෝජකයන් සඳහා වඩාත් ගැළපෙන අරමුදල් වර්ග වන්නේ ආදායම් සහ මුදල් වෙළෙඳපොළ අරමුදල්ය.
තුන්වැනි උදාහරණය:
නාලක, වයස අවුරුදු 45 ක් වන දෙදරු පියකු යැයි උපකල්පනය කරමු. නාලක ස්ථාවර ආදායමක් උපයන නමුත් තව අවුරුදු 8කින් හෝ 10 කින් තම දරුවන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීමට අවශ්‍ය වේ. ඔහු සමතුලිත අරමුදලක රුපියල් 10,000 ක මාසික ආයෝජන සැලැස්මක් ආරම්භ කරයි. කුඩා සහ විනයානුකූල ආයෝජනවලින් පවා කාලයත් සමග සැලකිය යුතු මුදලක් එක් රැස්කර ගත හැකි බව ඔහු දනී. මෙවැනි ආයෝජකයන්ට වඩාත් ගැළපෙනුයේ සමතුලිත හෝ වර්ධන අරමුදල්ය.
කලාපීය රටවල් වන ඉන්දියාව සහ බංග්ලාදේශයේ ඒකක භාර අරමුදල්වල ආයෝජන තත්වය
ඉන්දියාවේ, අද වන විට ආරම්භ කර ඇති ඒකක භාර අරමුදල් ගිණුම් ප්‍රමාණය මිලියන 150 කට වඩා අධිකය. අඩු වියදම් ආයෝජන ක්‍රම මගින් ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයන්ට මාසික සැලසුම් හරහා ආයෝජනය කිරීමට හැකියාව ලැබී ඇත. රජය විසින් මෙහෙයවනු ලබන ප්‍රචාරණ මගින් එනම් ආයෝජන ජනප්‍රිය කිරීමට “Mutual Funds Sahi Hai උපකාරී වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඒකක භාර වෙළෙඳපොළ වර්ධනය වන ආකාරය
ශ්‍රී ලංකාවේ ඒකක භාර කර්මාන්තය පෙරට වඩා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව කිව හැකිය. කළමනාකරණ සමාගම් යටතේ ඇති මුළු වත්කම් ප්‍රමාණය වර්තමානය වන විට රුපියල් බිලියන 500 ඉක්මවන අතර ඒකක භාරවල ආයෝජනය කර ඇති මුළු ආයෝජකයන් සංඛ්‍යාව 103,000 කට වඩා වැඩිය. 2019 වර්ෂයේ සිට කර්මාන්තය හත් ගුණයකින් පමණ වර්ධනය වී ඇති අතර වර්තමානය වන විට බලපත්‍රලාභී අරමුදල් කළමනාකරුවන් 16 දෙනකු සහ අරමුදල් 86 ක් ක්‍රියාත්මක වේ. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයන් ඉතිරිකිරීම්වලට පමණක් සීමා නොවී මේ වන විට විකල්ප ආයෝජන වෙත ගමන් කිරීමට පටන් ගෙන ඇති බවයි.
සාමූහික ආයෝජන අරමුදල් ඒකක භාරවල ආයෝජනය කිරීමේ අවදානම් මොනවාද?
ඕනෑම ආයෝජනයක් මෙන්, ඒකක භාර ආයෝජනයෙහිද අවදානමක් ඇත. වෙළෙඳපොළ උච්චාවචනය වේ, පොලී අනුපාත බැඳුම්කර වටිනාකම් වලට බලපෑම් කළ හැකි අතර, සමහර අරමුදල් ආපසු ගැනීම් සැකසීමට යම් කාලයක් ගතවනු ඇත. ප්‍රතිලාභ ද අරමුදල් කළමනාකරුවන්ගේ කුසලතාව මත රඳා පවතින අතර, බොහෝ අරමුදල්වලට ආවේණික ගාස්තු ඇත. මෙවැනි අවදානම් ඒකක භාර ආයෝජනයෙහි අන්තර්ගත වුවද, නිවැරදි අරමුදල තෝරා ගැනීමෙන්, විවිධාංගීකරණය කිරීමෙන් සහ දිගු කාලීනව යම් ඉවසීමකින් යුතුව ආයෝජනය කිරීමෙන් මෙම අවදානම් කළමනාකරණය කළ හැකිය.
නිවැරදි ඒකක භාර අරමුදල තෝරා ගන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර පහත අයුරින් අවබෝධ කර ගත හැකිය.
1. ඔබේ ආයෝජන අරමුණ තීරණය කිරීම ප්‍රථමයෙන් කළ යුතුය. එනම්, ඔබ ඔබගෙන් මෙසේ විමසිය යුතුය. ” මම ඉතිරි කරන්නේ විශ්‍රාම දිවිය ගත කිරීමටද, අධ්‍යාපනය හෝ නිවසක් තනා ගැනීමටද? මා සකස් කර ගත යුත්තේ කෙටි කාලීන ආයෝජන සැලැස්මක්ද එසේ නැතහොත් දිගු කාලීන සැලැස්මක්ද?” යනාදී ලෙස විමසා බැලිය යුතුය. ඔබේ අරමුණ අනුව ඔබට ගැළපෙන අරමුදල තීරණය කරයි.
2. ඔබ තුළ අවදානම දැරීමට ඇති කැමැත්ත ඔබ තේරුම් ගත යුතුය. එනම් ඔබගේ ආයෝජනය සුළු වශයෙන් හෝ පහත වැටෙනු දැකීමට ඔබ අකමැති නම් , මුදල් වෙළෙඳපොළ හෝ ආදායම් අරමුදල් වලට යොමුවීම වැදගත් වේ. ඔබ තරුණ වයසේ පසුවන්නකු නම්, සහ අවුරුදු 10කට වඩා වැඩි කාලයක් බලා සිටිය හැකි නම්, කොටස් හෝ සමතුලිත අරමුදල් ඔබට වඩාත් ගැළපෙනු ඇත.
3. ඔබේ ආයෝජන කාල පරාසය තීරණය කරගැනීමද වැදගත්වේ. අවුරුද්දකට අඩු කාලයක් තුළ ඔබ මුදල් නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මුදල් වෙළෙඳපොළ අරමුදල ගැළපේ. ඔබ අවුරුදු 1ත්-5ත් අතර කාල පරාසයක් සඳහා ආයෝජනය කිරීමට කැමැති නම්, ආදායම් හෝ සමතුලිත අරමුදල්වල ආයෝජනය ඔබට හොඳින් ගැළපේ. එසේම ඔබ අවුරුදු 5කට වඩා වැඩි කාලයක් සඳහා ආයෝජනය කිරීමට කැමැති නම් කොටස් හෝ සමතුලිත අරමුදල් ඔබට උචිත වේ. මෙහිදී ඔබ සිහි තබා ගත යුත්තේ කාලය ඔබේ විශාලතම වත්කම බවයි. ඔබේ මුදල් ආයෝජනය කරන තාක් කල්, එය වඩා හොඳින් වර්ධනය විය හැකිය.
4. අරමුදලේ තොරතුරු පත්‍රිකාව ( Fact Sheet) හොඳින් අධ්‍යයනය කළ යුතුය. සෑම විටම අරමුදලේ තොරතුරු පත්‍රිකාව සමාලෝචනය කරමින් කටයුතු කිරීම ඒකක භාරවල ආයෝජනය කරන්නකුට ඉතා වැදගත්වේ. එම තොරතුරු පත්‍රිකාවෙහි අරමුදලේ අරමුණු, අවදානම් මට්ටම, අතීත කාර්ය සාධනය, ගාස්තු සහ වත්කම් වෙන් කිරීම පිළිබඳ විස්තර ගෙනහැර දක්වයි.
5. බලපත්‍රලාභී අරමුදල් කළමනාකරුවකු සමඟ ඔබගේ ආයෝජන පවත්වා ගන්න. ඒකක භාර ආයෝජනයේදී ඔබ තනිවම තීරණ ගැනීමට අවශ්‍ය නැත. බලපත්‍රලාභී කළමනාකරුවන් ඔබට මග පෙන්වනු ඇත. ඔබගේ ආයෝජන අරමුණු සමග ගළපමින් නිවැරදි අරමුදලක් තෝරා ගැනීමට ඔවුන් ඔබට උදව් කරනු ඇත. වර්තමානය වන විට මාර්ගගතව හෝ යෙදුම් හරහා මෙම ආයෝජන වෙත ප්‍රවේශ විය හැකිය.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම ඒකක භාර ආයෝජනය අඩු වියදමකින්, පහසුවෙන් කිරීමට ඉඩ සලසන මෙන්ම වෘත්තීය කළමනාකරණයකින් යුතු වාසි ලබා දේ. එමගින් ආයෝජකයාට සෑහීමකට පත් විය හැකි ප්‍රතිලාභයක් ලබා දෙයි. සෑම ශ්‍රී ලාංකිකයකුටම රුපියල් 1,000 කින් හෝ රුපියල් 100,000 කින් වුවද ආරම්භ කළ හැකි මෙම ආයෝජනය ශක්තිමත් මූල්‍ය අනාගතයක් ගොඩනැගීමටද වටිනා අවස්ථාවක් ආයෝජකයන්ට ලබා දෙයි.
ඒකක භාර ආයෝජනයට ප්‍රවේශය වන විට වැදගත් වන්නේ කලින් ආරම්භ කිරීම, නිතර ආයෝජනයෙහි රැඳී සිටීම සහ ඔබගේ අයෝජන අරමුණ මතක තබා ගැනීමයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
අපි නොදන්න යුනිට් ට්‍රස්ට් (Unit Trusts)