අන්තර්ජාල සේවා හේතුවෙන් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 10.6 කින් ඉහළට
SLT PLC සමාගමේ ආදායම සියයට 10.6 කින් වර්ධනය වී රුපියල් බිලියන 19.7 ක්
Mobitel සමාගමේ ආදායම සියයට 9.9 කින්, මෙහෙයුම් ලාබය සියයට 54.7 කින් සහ ශුද්ධ ලාබය සියයට 63.7කින් වර්ධනය වෙලා
SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සහ කැපීපෙනෙන ලාබදායීත්වයක් වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. මෙහෙයුම් ලාබය සහ ශුද්ධ ඉපැයුම් සැලකිය යුතු ලෙස ඉහළ යාම සහ බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා අඛණ්ඩ ඉල්ලුමක් පැවතීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. සමූහයේ මෙම ප්‍රතිඵල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන අතර, එය වසරේ ඉදිරි කාලය සඳහා සැලකිය යුතු උත්තේජනයක් වනු ඇත.
2026 වසරට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, රුපියල් බිලියන 30.8 ක සමුච්චිත ආදායමක් වාර්තා කර ගැනීමට සමූහය සමත් විය. මෙය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 27.9 ට සාපේක්ෂව සියයට 10.6 ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සමූහයේ දළ ලාබය පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 14.1 කින් වර්ධනය වී රුපියල් බිලියන 14.6 ක් ලෙස වාර්තා විය.
මෙහෙයුම් ලාබය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 3.7 ට සාපේක්ෂව සියයට 39.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.1 ක් ලෙස වාර්තා වී තිබේ. බදු පෙර ලාබය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 2.7 ට සාපේක්ෂව සියයට 55.4 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.2 ක් ලෙස වාර්තා වී ඇත. බදු පසු ලාබය රුපියල් බිලියන 3.1ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 2 ට සාපේක්ෂව සියයට 53.3 ක වර්ධනයකි.
විදුලි ගාස්තු හා ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ අඛණ්ඩව පැවති විනිමය පීඩනය හේතුවෙන් ඍජු පිරිවැය පෙර වසරට සාපේක්ෂව සියයට 7.6 කින් ඉහළ ගිය නමුත් මෙම පිරිවැය ඉහළ යාමට වඩා සැලකිය යුතු මට්ටමකින් ආදායම වර්ධනය වී තිබේ. මෙම කාල පරිච්ඡේදය තුළ මූල්‍ය පිරිවැය පහත වැටුණු අතර, විදේශ විනිමය අගයේ සිදු වූ වෙනස්කම් හේතුවෙන් 2025 පළමු කාර්තුවේ වාර්තා වූ විදේශ විනිමය අලාබවලට සාපේක්ෂව ශුද්ධ ලාබයක් හිමිවීම ලාබදායීත්වයට අමතර රුකුලක් විය. ලාබදායීත්වයෙහි සිදු වූ කැපීපෙනෙන වර්ධනයට සමගාමීව ආදායම් බදු පිරිවැය සියයට 61.3 කින් ඉහළ ගියේය.
“පළමු කාර්තුව තුළ අප වාර්තා කරගෙන ඇති මේ ශක්තිමත් කාර්යසාධනයෙන්, අභියෝග ජයගැනීම සඳහා SLT සමූහය සතු හැකියාව සහ අපගේ ක්‍රමෝපායන්හි සාර්ථකත්වය මැනැවින් පිළිබිඹු වෙනවා. ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සමග කැපීපෙනෙන ලාබදායීත්වයක් වාර්තා වීමෙන් පෙනී යන්නේ, තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් වසරේ ඉදිරි කාලසීමාව සඳහා අප ඉතා හොඳ ආරම්භයක් ලබාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වශයෙන්, නවෝත්පාදනය දිරිගැන්වීම, සම්බන්ධතා පහසුකම් ශක්තිමත් කිරීම සහ පාරිභෝගිකයන්, කොටස් හිමිකරුවන් සහ රට වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සඳහා අප කැප වී සිටිනවා.” SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.
සමාගම් මට්ටමින් ශක්තිමත් වර්ධනයක් වාර්තා කිරීමට SLT PLC සමත් වී ඇත. 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 17.8 ට සාපේක්ෂව එහි ආදායම රුපියල් බිලියන 19.7 දක්වා සියයට 10.6 කින් වර්ධනය වී තිබේ. දළ ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 13.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 9.9 ක් ලෙස වාර්තා විය.
මෙහෙයුම් ලාබය 2025 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 2.5ට සාපේක්ෂව රුපියල් බිලියන 3.5 දක්වා සියයට 36 කින් වර්ධනය වී තිබේ. බදු පෙර ලාබය රුපියල් බිලියන 2.9 ක් වූ අතර, එය 2025 පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1.9 ට සාපේක්ෂව සියයට 51 ක වර්ධනයකි. මෙම කාර්තුවේ බදු පසු ලාබය, පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 1.3 ට සාපේක්ෂව රුපියල් බිලියන 2.1 දක්වා සියයට 53.3 කින් ඉහළ ගොස් ඇත. පෙර සඳහන් කළ ගාස්තු සහ ඉන්ධන වියදම් සම්බන්ධ පීඩන හේතුවෙන් ඍජු පිරිවැය සියයට 7.9 කින් ඉහළ ගිය නමුත්, ආදායම සහ කාර්යක්ෂමතාව වර්ධනය වීම හේතුවෙන් මෙම පීඩනයෙන් එල්ල වූ බලපෑම අවම කර ගැනීමට හැකි වී තිබේ.
“මෙම කාර්තුවේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ, අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට, ඩිජිටල් සේවාවල පුළුල් කිරීමට සහ AI හා 5G තාක්ෂණයෙහි නවතම ප්‍රවණතා මෙරටට හඳුන්වා දීමට SLT-MOBITEL ඉතාමත් හොඳින් ස්ථානගත වී සිටින බවයි. ඒ ඔස්සේ දේශයේ ප්‍රගතිය බලගන්වන විශ්වාසනීය තාක්ෂණික හවුල්කරු ලෙස අප දැනට පණ පොවන භූමිකාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපට හැකි වේවි.” SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා පැවසීය.
පෙර වසරට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී සිය ආදායම සියයට 9.9 කින් හෙවත් රුපියල් බිලියන 1.2 කින් වර්ධනය කර ගැනීමට Mobitel සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම සියයට 28 කින් වර්ධනය වීම මෙන්ම අගය එකතු කළ සේවා, වෙනත් විසඳුම් සහ රෝමින් සේවාවලින් ලැබුණු ආදායම මීට බලපා ඇත. කෙසේ වෙතත් දේශීය හා ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ආදායම පහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd