ලියාපදිංචි වූ වාහන 60,444 කින් 43,166ක්ම යතුරුපැදි


මැයි මාසයේදී මෙරට වාහන ලියාපදිංචිය ඒකක 60,444 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය අප්‍රේල් මාසයේදී වාර්තා වූ වාහන 50,500 ක ලියාපදිංචිය හා සැසඳීමේදී සියයට 19.7 ක ඉහළ යාමක් බව HNB ස්ටොක්බ්‍රෝකර්ස් සමාගම සිය වාර්තාවක් මගින් පවසයි.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එම සමාගම මෙම වාර්තාව සකස් කර තිබේ. ඒ අනුව මෙලෙස ලියාපදිංචි වූ වාහන අතරින් 43,166ක්ම යතුරුපැදි වන අතර එය අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 11.9 ක වර්ධනයකි. එසේම බ්‍රෑන්ඩ් නිව් කාර් සහ SUV රථ ලියාපදිංචියත් පෙර මාසයට සාපේක්ෂව සියයට 20.7 කින් ඉහළ ගොස් තිබේ.
මෙහිදී මැයි මාසයේදී මෝටර් කාර් රථ ලියාපදිංචිය 4,393 ක් ලෙස සටහන්ව ඇති අතර, ඉන් කාර් රථ 1,110ක් එනම් සියයට 25.3ක් බ්‍රෑන්ඩ් නිව් රථ වෙයි. මෙය අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 164.3 ක වර්ධනයකි. ඒ අනුව වසරේ මේ දක්වා බ්‍රෑන්ඩ් නිව් කාර් රථ ලියාපදිංචියේ පංගුව 18.4ක් බවට පත්ව තිබේ.

එසේම SUV යටතේ මැයි මාසයේදී රථ 4,912ක් ලියාපදිංචි කෙරී ඇති අතර, ඉන් රථ 1,606 ක් එනම් සියයට 32.7 ක්ම බ්‍රෑන්ඩ් නිව් ඒවා වෙයි. මෙය අප්‍රේල් හා සැසඳීමේදී සියයට 12.3 ක අඩුවීමකි. කෙසේ වෙතත් වසරේ මේ දක්වා බ්‍රෑන්ඩ් නිව් SUV රථ ලියාපදිංචියේ පංගුව සියයට 40.8 ක් බවට පත්ව තිබේ. 
මීට අමතරව වාණිජ වාහන ආනයනය යටතේ මැයි මාසයේදී අලු‍තින් වාහන 2,002ක් ලියාපදිංචි කර ඇති අතර, ඉන් රථ 1,055 ක් එනම් සියයට 50.2ක් බ්‍රෑන්ඩ් නිව් වාහන වෙයි. මෙය අප්‍රේල් මාසය හා සැසඳීමේදී සියයට 10.9 ක අඩුවීමකි. කෙසේ වෙතත් වසර තුළ මේ දක්වා බ්‍රෑන්ඩ් නිව් වාණිජ වාහන ලියාපදිංචියේ පංගුව සියයට 58.9 ක් බවට පත්ව ඇතැයිද HNB ස්ටොක්බ්‍රෝකර්ස් සඳහන් කරයි. 
මේ අතර මැයි මාසය අගදී මහ බැංකුව ගනු ලැබූ තීරණයකට අනුව වාහන සඳහා වන ලීසිං අනුපාතය සියයට 10කින් පහත හෙළීම මෙන්ම, මුදල් අමාත්‍යාංශය මගින් වාහන ආනයනය සඳහා මාස තුනක කාලයකට දැනට පවතින 30 ක බද්දට අමතරව සියයට 50ක තාවකාලික අධිභාරයක් පැනවීමට ගත් තීරණය ඉදිරියේදී වාහන ආනයනය වෙත බලපානු ඇතැයි එම සමාගමේ අදහස වී තිබේ.