රුපියලේ අවප්‍රමාණයක් අපේක්ෂාවෙන් අපනයනකරුවන් ඩොලර් මාරු නොකිරීම සහ ආනයනකරුවන් ආනයන වැඩි කිරීමත් හේතුවක් 


2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 09 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 8 කින් පමණ අවප්‍රමාණය වී තිබෙන බව මහ බැංකුව පවසයි. 
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු වත්මන් ආර්ථික තත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහනකදී මෙම කරුණු අනාවරණය විය. 
ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිය යන මැයෙන් මෙය සංවිධානය වී තිබුණි. 
ඒ අනුව මෙහිදී මූලිකවම ඉන්ධන සහ වාහන ඇතුළු ඉහළ ආනයන වියදම්, සංචාරක කර්මාන්තය ඇතුළුව විදේශ විනිමය ගලා ඒම් අඩුවීම්, වෙළෙඳපොළ සහභාගිවන්නන්ගේ මිලදී ගැනීම් සහ අලෙවි කිරීම් පිළිබඳ තීරණ, රුපියලේ තවදුරටත් අවප්‍රමාණය වීමක් බලාපොරොත්තුව අපනයන ආදායම් රුපියල් බවට පත් කිරීම් ප්‍රමාදවීම්, අපේක්ෂිත රුපියලේ අවප්‍රමාණය වීමත් සමගින් ඊට එරෙහිව ආනයනකරුවන් සිය ඇණවුම් ඉහළ දැමීම සහ විදේශ විනිමය මිලදී ගැනීම මෙන්ම රජයේ සුරැකුම්පත් හරහා සහ කොළඹ කොටස් හුවමාරුව හරහා විදේශීය ආයෝජන පිටතට ගලා යෑම්ද හේතුව වී තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි. 
මේ අතර 2025 වසරේදීද රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 5.6ක අවප්‍රමාණයක් පෙන්නුම් කළ බවත්, මේ වසරේ මුල් මාස දෙකේදී පමණක් එය සියයට 0.2ක ඉහළ යාමක් සිදු වූ බවත් මහ බැංකුව පවසයි. 
එසේම වසරේ ගත වූ කාලසීමාවේදී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8කින් අවප්‍රමාණය වෙද්දී, මැලේසියානු රින්ගිට් සියයට 0.1 කින්ද, ඉන්දුනීසියානු රුපියල සියයට 7.9 කින්ද, ඉන්දියානු රුපියල 6.2 කින්ද, තායිලන්ත බාත් සියයට 4.1 කින්ද, පිලිපීන පෙසෝ සියයට 4.6 කින්ද සහ නේපාල රුපියල සියයට 6 කින්ද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබෙන බවත් මෙහි සඳහන් වෙයි.