සෞදි අරාබි රාජ්‍යය සහ ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, සවුදියා  (Saudia - SV) සහ ෆ්ලයිනාස් (Flynas - XY) ගුවන් සේවා සමග උපායමාර්ගික හවුල්කාරිත්ව ඇති කරගත් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි. මෙම සහයෝගීතාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත ජාලය පුළුල් වන අතර සෞදි අරාබි රාජ්‍යය තුළ හා ජාත්‍යන්තර ගමනාන්ත වෙත ප්‍රවේශ වීමට මගීන්ට අවස්ථාව උදා වේ.
මෙම හවුල්කාරිත්වය යටතේ, සවුදියා ගුවන් සේවය ජාත්‍යන්තර ගමනාන්ත 7ක් සහ සෞදි අරාබි රාජ්‍යයේ දේශීය ගමනාන්ත 13ක් වෙත ප්‍රවේශය ලබා දෙන අතර, ෆ්ලයිනාස් ගුවන් සේවය තවත් ජාත්‍යන්තර ගමනාන්ත 8ක් සහ සෞදි අරාබි රාජ්‍යයේ දේශීය ගමනාන්ත 6ක් එක් කරයි. එමගින් මගීන්ට ඉහළ සංචාරක නම්‍යශීලීභාවයක් සහ බාධාවකින් තොරව සෞදි රාජ්‍යයේ ගමනාන්ත වෙත ගමන් කළ හැකි වේ.
සවුදියා ගුවන් සේවය සමග මගීන්ට අම්මාන්, අබුඩාබි, බහරේන්, කයිරෝ, ඩුබායි, කුවේට් සිටි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ගමනාන්ත වෙත ගමන් කළ හැකිය. 

ජෙද්ද, අබහ්, මදීනා සහ ටබුක් වැනි සෞදි අරාබියේ ප්‍රධාන දේශීය ගමනාන්ත ද ඊට ඇතුළත් වේ. ෆ්ලයිනාස් ගුවන් සේවය ඇඩිස් අබාබා, කරච්චි, ගීසා, ටෂ්කන්ට් සහ සොහාග් වැනි ජාත්‍යන්තර ගමනාන්ත වෙත ද ජිසාන්, නජ්රාන්, දම්මාම් සහ ජෙද්ද වැනි දේශීය ගමනාන්ත වෙත සම්බන්ධතා ද ලබා දෙමින් මෙම ජාලය තවදුරටත් පුළුල් කරයි. සෞදි අරාබිය පුරා සංචාරය කරන මගීන්ට දැන් රියාද් සහ දම්මාම් හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොළඹ බලා ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් සමග බාධාවකින් තොරව සම්බන්ධ විය හැකි අතර, එතැන් සිට ගුවන් සේවයේ ජාත්‍යන්තර ජාලයේ ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කළ හැකිය. දෙරට අතර ව්‍යාපාරික, විවේකී සහ නෑදෑ හිතමිතුරන් බැලීමට යන (VFR) සංචාරකයන්ගේ වර්ධනය වන ඉල්ලු‍ම සපුරාලීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට රියාද් සහ දම්මාම් යන නගර දෙකෙන්ම කොළඹ බලා දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.