නැවතත් බදු පිළිබඳ කතිකාවක් සමාජය තුළ අරම්භ වී ඇති අතර ඒ පිළිබදව මාධ්‍ය මගින් ද විවිධ කරුණු ඉදිරිපත් වන බව නිරික්ෂණය වේ. රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ මත විටින් විට බදු නීති වෙනස්වීම සිදුවේ. එමගින් බදු ගෙවන්නාට ඇති විය හැකි අපහසුතා අවම කිරීමත් අපේක්ෂිත රාජ්‍ය බදු අයභාරය රැස්කර ගැනීමත් සාර්ථක බදු පරිපාලනයක තිබිය යුතු ගුණාංගයක් වේ. මේ දිනවල කතාබහට ලක්වන 2025 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන ආදායම් බදු සංශෝධන මගින් බදු ගෙවන්නන්ට සැලකිය යුතු සහනයක් පිරිනැමීමට ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කර ඇත. මේ ඒ පිළිබදව සිදුකරන කෙටි විමසුමකි.
ආර්ථික වශයෙන් රට යළි සම්පුර්ණයෙන්ම යථා තත්වයට පත්වී නොතිබීමත් අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ කොන්දේසියක් වන දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු අයභාරය සියයට 15 ක් පසු කර යාමේ ඉලක්කය පැවතීමත් හමුවේ මෙවන් බදු සහනයක් පිරිනැමීම රජයකට පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය සිදුකර තිබෙන බැවින් ආදායම් බදු ගෙවීමට ආදායම් තිබෙන පුද්ගලයන් විසින් රට සහ අනාගත පරපුර වෙනුවෙන් වගකීමෙන් එහා ගිය යුතුකමක් ලෙස සිතා නියමිත බදු ගෙවිය යුතුය. ගෙවන බදු මුදල් නාස්තියෙන් හා දුෂණයෙන් තොරව නැවත මහජනතාව වෙතම ගලා එන විට එහි වාසිය ආදායම් බදු ගෙවීමට ආදායම් නොමැති අයට මෙන්ම ආදායම් බදු ගෙවන අයටද හිමිවේ. එම නිසා සතුටින් සිටින ජාතියක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් බදු යනු වදයක් නොව යුතුකමක් ලෙස දකින්නට හුරුවෙමු |
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට 2025දී ඉදිරිපත් කළ සංශෝධන මගින් ආදායම් බදු අය කිරීමේ වෙනස්කම් කීපයක් සිදුකර තිබේ. ඒ අතරින් පුද්ගල ආදායම් බදු සහ ඒ සමග සම්බන්ධවන අත්තිකාරම් පුද්ගල ආදායම් බදු හා පොලී මත රදවා ගැනීමේ බදුවල සිදුවූ සංශෝධන පිළිබඳව වැඩි දෙනා උනන්දුවක් දක්වනු පෙනේ.
පුද්ගල ආදායම් බදු අයකරනු ලබන්නේ එක් වර්ෂයක අප්‍රේල් 01 සිට අනෙක් වර්ෂයේ මාර්තු 31 අතර මාස 12 ක කාලයකින් සමන්විත තක්සේරු වර්ෂයක් තුළ උපයන බදු අය කළ හැකි ආදායම පදනම් කරගනිමින්ය. ඒ අනුව සේවා නියුක්ති ආදායම්, ව්‍යාපාර ආදායම්, ආයෝජන ආදායම් සහ වෙනත් ආදායම් යන ප්‍රභව 4 න් එකක්, කීපයක් හෝ සියල්ල මගින්ම ඒ ඒ පුද්ගලයන්ට ආදායම් ලැබේ. එලෙස ලැබෙන ආදායමෙන් පුද්ගල සහනය වශයෙන් හිමිවන දිමනාව සහ සුදුසුකම් ලබන ගෙවීම් පවතී නම් එය අඩු කළ පසු ඉතිරිවන ආදායම බදු අයකළ හැකි ආදායම ලෙස හඳුන්වන අතර එම බදු අයකළ හැකි ආදායම මත නියමිත ආදායම් බදු අනුපාත අදාළ කර ගනිමින් බදු ගණනය කරනු ලැබේ.
2025 මාර්තු 31 න් අවසන් වූ තක්සේරු වර්ෂයේ දී පැවති පුද්ගල සහනය රුපියල් 1,200,000 කි. එය මාසයක් සදහා නම් රුපියල් 100,000 ක් විය. මෙය 2025 අප්‍රේල් 01 සිට ආරම්භ වන තක්සේරු වර්ෂයේ සිට රුපියල් 1,800,000 ක් නැතහොත් මසකට රුපියල් 150,000 දක්වා ඉහළ නන්වා ඇත. ඒ අනුව මෙතෙක් පුද්ගල ආදායම් බදු ගෙවන ලද යම් පිරිසට නව සංශෝධන යටතේ ආදායම් බදු ගෙවීමට සිදුනොවේ. පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු සේවා නියුක්තිකයකු නම් එම සේවා නියුක්ති ආදායමට අදාළ බදු කොටස පමණක් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු ලෙස (APIT) අදාළ ආයතන විසින් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත එවනු ලැබේ. මේ අඩු කිරීමට අදාළව ලබා දෙන බදු වක්‍ර සැකසීමේ දී ඉහළ නංවන ලද පුද්ගල සහනය අදාළ කරගන්නා බැවින් මෙතෙක් APIT අඩු කළ සමහර සේවා නියුක්තිකයන්ගේ අප්‍රේල් මස වැටුපෙන් බදු අඩු නොවේ. එසේම තවදුරටත් බදු අඩු කරන සේවා නියුක්තිකයන්ගෙන් වුවද මාර්තු මස අඩු වූ බදු ප්‍රමාණයට වඩා අඩු බදු ප්‍රමාණයක් අප්‍රේල් සිට අඩු වේ.
පුද්ගලයන් විසින් ආදායම් බදු ගෙවිය යුතු ආදායම් සීමාව වැඩි කර ලබාදුන් සහනයට අමතරව ආදායම් බදු අනුපාත වෙනස් කිරීම මගින් ද අමතර සහනයක් පිරිනමා ඇත. මෙතෙක් පැවති නීතිය අනුව බදු අය කළ හැකි ආදායමේ පළමු රුපියල් ලක්ෂ 5 ට සියයට 6 ක් ද දෙවැනි රුපියල් ලක්ෂ 5 ට සියයට 12 ක් ද තෙවැනි රුපියල් ලක්ෂ 5 ට සියයට 18 ක් ද සිව්වැනි රුපියල් ලක්ෂ 5 ට සියයට 24 ක් ද පස්වැනි රුපියල් ලක්ෂ 5 ට සියයට 30 ක් ද ඉතිරිය මත සියයට 36 ක් ද වශයෙන් බදු අය කරන ලදී. එහෙත් නව සංශෝධනයේ දී බදු අය කළ හැකි ආදායමේ පළමු රුපියල් ලක්ෂ 10 සඳහා සියයට 6 ක ආදායම් බදු අනුපාතයක් යොදා ගනු ලැබේ. උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුගේ බදු අයකළ හැකි ආදායම රුපියල් ලක්ෂ 10 ක් බව උපකල්පනය කළහොත් මෙයට පෙර ගෙවිය යුතු බද්ද වුයේ පළමු රුපියල් ලක්ෂ 5 ට සියයට 6 බැගින් 30,000 ක් සහ දෙවන රුපියල් ලක්ෂ 5 ට සියයට 12 බැගින් රුපියල් 60,000 ක් වශයෙන් රුපියල් 90,000 ක බද්දකි. එහෙත් නව සංශෝධන අනුව ඉදිරියේ දී බදු අය කළ හැකි රුපියල් ලක්ෂ 10 කට ගෙවිය යුතුවන්නේ සියයට 6 අනුපාතය යටතේ රුපියල් 60,000 ක් පමණි. මේ අනුව ගෙවිය යුතු බදු මුදල අඩු වන අතර එමගින් බදු ගෙවන්නාට සහනයක් හිමිවී තිබේ.
තක්සේරු වර්ෂයක දී හිමිවූ පුද්ගල සහනය රුපියල් ලක්ෂ 12 සිට රුපියල් 18 ක් දක්වා වැඩි විමත් බදු අය කළ හැකි පළමු රුපියල් ලක්ෂ 10 දක්වා සියයට 6 අනුපාතය යොදා ගැනිමත් නිසා තනි පුද්ගල බදු ගෙවන්නන් වෙත වාසිදායක තත්වයක් හිමිවීමෙන් ගෙවිය යුතු බද්දක් නොමැති වීම හෝ පෙර ගෙවන ලද බදු මුදලට වඩා අඩු බද්දක් ගෙවිම නිසා ඔවුන්ගේ වැය කළ හැකි ආදායම් වර්ධනය වී තිබේ. එය එම ජනතාවගේ ජීවන තත්වය වර්ධනයට හේතු වේ.
පොලී මත රදවාගැනීමේ බදු සම්බන්ධව කළ වෙනස් වීම් මෙවර සංශෝධනවල තවත් සුවිශේෂි වෙනසකි. මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව බැංකු හෝ මුල්‍ය අයතනයක් විසින් ගෙවනු ලබන පොලිය මත සියයට 5 ක් රඳවා ගනු ලැබීය. එලෙද රදවා ගත් බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කළ පසු අදාළ පුද්ගලයා ගෙවිය යුතු ආදායම් බද්දෙන් එම මුදල අඩුකර ගැනීමට අවස්ථාව හිමිවිය. යම් පුද්ගලයෙක් බදු ගෙවිය යුතු නොවේ නම් එසේ අඩු කළ බදු ප්‍රමාණය ආපසු ඉල්ලා සිටිමේ හැකියාව පැවති අතර එය දෙපාර්තමේන්තුව විසින් අදාළ තහවුරු කරගැනීම්වලින් පසුව ආපසු ගෙවනු ලැබේ. මෙය තරමක් කාලය වැයවන ක්‍රියාවලියක් බැවින් එය කඩිනම් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් කාර්තු පදනමින් ආපසු ගෙවීමට පහසුකම් සලසන ලදී.
කෙසේ වෙතත් නව සංශෝධන ක්‍රියාත්මක විමේ දී පොලී මත රඳවා ගන්නා බදු සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනස්කම් සිදු කර ඇත. මෙයට පෙර පැවති තත්වය යටතේ තෝරා බේරා ගැනීමකින් තොරව බැංකු විසින් සියලුම ගනුදෙනුකරුවන්ගෙන් අදාළ බදු අඩු කරන ලදී. එහෙත් නව ක්‍රමවේදය අනුව ආදායම් බදු සඳහා බැදියාවක් නැති පුද්ගලයන් වෙන්කර බදු බැදියාවක් පවතින අයගෙන් පමණක් අදාළ බද්ද අඩු කරනු ලැබේ. මේ සදහා තමාගේ ගිණුම පවත්වාගෙන යන බැංකු හෝ මුල්‍ය ආයතන වෙත ප්‍රකාශයක් කළ යුතුය. එමගින් සියලුම ආදායම් ප්‍රභවයන්ගෙන් තක්සේරු වර්ෂයකට රුපියල් 1,800,000 ට අඩු ආදායම් සහිත පුද්ගලයන්ට ලැබෙන පොලියෙන් සියයට 10 ක රඳවා ගැනීමේ බදු අයවීම වළක්වා ගත හැකිය. මේ සඳහා අදාළ වන ආකෘති පත්‍රය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවියේ (www.ird.gov.lk) ඇතුළත් කර ඇත. එය බාගත කරගෙන සම්පුර්ණ කර භාරදිය හැකි අතර ඒ සදහා බදුගෙවන්නා හඳුනා ගැනිමේ අංකයක් (TIN) ලබාගෙන තිබීම අත්‍යවශය වේ.
ශ්‍රී ලංකාවෙන් පිටත දී ප්‍රයෝජනයට ගැනීම සදහා සේවා සපයා, ඒ සඳහා විදේශ ව්‍යවහාර මුදලින් මෙරට බැංකුවක් හරහා ලැබෙන ලැබීම් සහ ලාබ මත සියයට 15 ක උපරිම අනුපාතයකින් බදු අය කිරීමට මෙවර සංශෝධන මගින් යෝජනා කර තිබේ. මෙයට පෙර, ආදායම් බද්දෙන් මෙම සේවා සැපයීම් නිදහස් කර තිබුණත් මෙවර බද්දට යටත් කර ඇත. කෙසේ වෙතත් අනෙකුත් පුද්ගලයන්ට බදු අයවන ආදායම මත සියයට 36 ක උපරිමයක් දක්වා බදු අය කරන තත්වයක දී මෙම ආදායම මත සියයට 15 ක උපරිමයකින් නතර කර තිබේ. කෙසේ වෙතත් විදේශ සේවා නියුක්තියක නියැලෙන පවුලේ සමාජිකයන් හෝ වෙනත් හිත මිතුරන් විසින් විදේශයක සිට මෙරට පුද්ගලයෙක් වෙත එවන මුදල් වෙනුවෙන් එය ලැබෙන පුද්ගලයා බදු ගෙවිය යුතු නොවේ.
සමස්තයක් ලෙස 2025 අප්‍රේල් 01 සිට සංශෝධනය වූ පුද්ගල ආදායම් බදු නීති මගින් බදු ගෙවන්නන් වෙත පැවති පීඩනය අවම කිරිමට උත්සාහ කර තිබෙන බව අවිවාදිතය. ආර්ථික වශයෙන් රට යළි සම්පුර්ණයෙන්ම යථා තත්වයට පත්වී නොතිබීමත් අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ කොන්දේසියක් වන දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු අයභාරය සියයට 15 ක් පසු කර යාමේ ඉලක්කය පැවතීමත් හමුවේ මෙවන් බදු සහනයක් පිරිනැමීම රජයකට පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය සිදුකර තිබෙන බැවින් ආදායම් බදු ගෙවීමට ආදායම් තිබෙන පුද්ගලයන් විසින් රට සහ අනාගත පරපුර වෙනුවෙන් වගකීමෙන් එහා ගිය යුතුකමක් ලෙස සිතා නියමිත බදු ගෙවිය යුතුය. ගෙවන බදු මුදල් නාස්තියෙන් හා දුෂණයෙන් තොරව නැවත මහජනතාව වෙතම ගලා එන විට එහි වාසිය ආදායම් බදු ගෙවීමට ආදායම් නොමැති අයට මෙන්ම ආදායම් බදු ගෙවන අයටද හිමිවේ. එම නිසා සතුටින් සිටින ජාතියක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් බදු යනු වදයක් නොව යුතුකමක් ලෙස දකින්නට හුරුවෙමු.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සහන රැගෙන එන බදු සංශෝධන