ජීවන් සුකුමාරන් නව සභාපතිවරයා ලෙස පත් කෙරේ


ආසන්න වසර පහකදී ඒකක භාර කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක්


ශ්‍රී ලංකා ඒකක භාර සංගමයේ (UTASL) ඉදිරි වැඩකටයුතු සඳහා නායකත්වය ලබා දීමේ අරමුණින් නව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුව SENFIN Asset Management  හි ජීවන් සුකුමාරන් මහතා එහි සභාපතිවරයා ලෙස පත් විය. 

2026 - 2027 වසර සඳහා පත් කරනු ලැබූ නව නායකත්ව මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කාවින් කරුණාමූර්ති මහතාත් (First Capital Wealth Management), ලේකම්වරයා ලෙස අසංක හේරත් මහතාත් (Lynear Wealth Management), සහකාර ලේකම්වරයා ලෙස ගයාන් ද සිල්වා මහතාත් (Capital Alliance) පත් වූ අතර භාණ්ඩාගාරිකවරයා ලෙස විශාන් පෙරේරා  (Softlogic Invest) මහතා පත් විය. 

පසුගිය වසර 5ක කාලය තුළ ඒකක භාර ආයෝජකයන්  සංඛ්‍යාව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර කළමනාකරණය කරනු ලබන වත්කම් ප්‍රමාණයද සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ආර්ථික තත්වයන් මධ්‍යයේ ආයෝජන සඳහා යොමු වීමේ පැහැදිලි වෙනසක් ඒ තුළින් මනාව ප්‍රදර්ශනය වේ.

නව සභාපති ජීවන් සුකුමාරන් මහතා මෙහිදී සඳහන් කර සිටියේ “පසුගිය කාලය තුළ ඒකක භාර කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. මීළඟ අදියරේදී ශ්‍රී ලංකාවේ විවිධ භූගෝලීය/මහජන කොටස් හරහා පුද්ගල ආයෝජක සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුයි. එහිදී නාගරික කලාපයෙන් පිටත ආයෝජකයන්ගේ අවබෝධය හා දැනුවත්භාවය වැඩි කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවක් වනවා. එසේම දිගු කාලීන විශ්වාසය ගොඩනැගීම සහ ඒකක භාරයන්හි ආයෝජනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීම වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද ආයෝජන විසඳුම් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම අත්‍යාවශ්‍ය වනවා.” යනුවෙනි.

ඒකක භාර කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින සාර්ථකත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාම නව නායකත්ව මණ්ඩලයේ අරමුණයි. මේ සඳහා ඔවුන් ආයෝජන අධ්‍යාපනය, ඩිජිටල් පහසුකම් සහ නව නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. ඉදිරි වසර කිහිපය තුළ වැඩි දියුණු කරන ලද ඩිජිටල් පහසුකම් හරහා ඒකක භාර ආයෝජන පහසුකම් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන අතර ඒ හරහා රට පුරා සිටින ආයෝජකයන්ට ඉතා විනිවිද පෙනෙන හා පහසු අයුරින් ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ වීමට හැකි වේ. මීට අමතරව ඒකක භාර ආයෝජන සඳහා ගෙවිය යුතු බදු පිළිබඳව ආයෝජකයන්ට පැහැදිලි අවබෝධයක් ලබා දීමටද මෙම නායකත්ව මණ්ඩලය කටයුතු කරනු ඇතැයි පවසයි.