LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී 2026 ‘ස්ලිම් - කැන්ටාර්’ ජනතා සම්මාන උළෙලේදී වසරේ “ජනතා මූල්‍ය සේවා සන්නාමය” ලෙස දසවැනි වරටත් කිරුළු පැළඳීය. අඛණ්ඩ දසවැනි වසරටත් ලද මේ සුවිසල් ජයග්‍රහණය සැබැවින්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. නොසැලෙන ජනතා විශ්වාසයේ දශකයක් සලකුණු කරන මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් ශ්‍රී ලාංකිකයන් අන් සියල්ලන් අභිබවා නිරන්තරයෙන් තෝරාගන්නා මූල්‍ය සේවා සන්නාමය ලෙස LOLC නාමය ශක්තිමත් ලෙස ස්ථාපිත කරයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), සහ කැන්ටාර් මගින් පිරිනමනු ලබන ජනතා සම්මානවල විශේෂත්වය වන්නේ, සන්නාම ඇතුළාන්ත සහ විශ්ලේෂණ පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන කැන්ටාර් විසින් පවත්වනු ලබන ස්වාධීන පාරිභෝගික සමීක්ෂණ මගින් ඒවා තීරණය කිරීමයි. මෙම පිළිගැනීම මුළුමනින්ම පදනම් වන්නේ ජනතා දැක්ම, සන්නාම ඇගයීම සහ පාරිභෝගික විශ්වාසය මත නිසා එය සැබෑ ජනතා සම්බන්ධතාවක් සහිත සන්නාමයක් පිළිබඳ වඩාත් අව්‍යාජ මිනුම් දණ්ඩක් බවට පත් කරයි. දශකයක් තිස්සේ අවිවාදිතව “ජනතා මූල්‍ය සේවා සන්නාමය” ලෙස මෙම කීර්තිනාමය හිමිකරගැනීම, LOLC සියලු‍ම ශ්‍රී ලාංකිකයන් සමග කල්පවත්නා සබඳතාවක් පවත්වා ගනිමින්, පරම්පරා ගණනක් උරුම වූ විශ්වසනීයත්වයකින්, ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතා අනුව නිරන්තරයෙන් පරිණාමය වීමේ හැකියාව, පෙන්නුම් කරයි. 
LOLC වසර ගණනාවක් මුළුල්ලේ සාම්ප්‍රදායික මූල්‍ය සේවා සැපයුම්කරුවකුගෙන් ඔබ්බට යමින් දිවයින පුරා පුද්ගලයන්, ව්‍යවසායකයන් සහ ප්‍රජාව උදෙසා විශ්වාසදායක හවුල්කරුවකු බවට පත්ව තිබේ. මූල්‍ය ප්‍රවේශය පුළුල් කරමින්, ඩිජිටල් නවෝත්පාදන සඳහා පුරෝගාමීත්වය සපයමින්, දිවයින පුරා විහිදුණු පැවැත්මක් සමගින්, LOLC ජනතා අභිලාෂ සමග සමීපව පෙළගැසී ඇති බව, දශකයක් පුරා මෙලෙස පිළිගැනීමට ලක්වීමෙන් මනාව පිළිබිඹු වෙයි.
මූල්‍ය සේවාවෙන් ඔබ්බට ගිය LOLC, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන ‘දිවිසවිය’ තුළින් ප්‍රජාව සමග සබඳතා සවිමත් කර ඇත්තේ, වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස එහි භූමිකාව ශක්තිමත් කරමිනි. වඩාත්ම ඇවැසි අවස්ථාවලදී සමාජයේ හදගැස්මට ප්‍රතිචාර දැක්වීමෙන් LOLC සමූහයට ජනතාවට අර්ථවත් බලපෑමක් ඇතිකරමින් ඔවුන් සමග සුවිශේෂී ගැඹුරු සබඳතාවක් ගොඩනගාගැනීමට හැකිව තිබේ. එය බොහෝ සන්නාමවලට මෙතෙක් ළඟා කරගැනීමට නොහැකි වී ඇති ඉදිරි පියවරකි. 
LOLC සමූහයට මං සලකුණක් වූ මෙම කීර්තිමත් සම්මානය පිළිබඳව අදහස් දක්වමින් LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “ජනතා මූල්‍ය සේවා සන්නාමය ලෙස අඛණ්ඩව වසර දහයක් කිරුළු පැළඳීම අසාමාන්‍ය ගෞරවයක් වන්නේ, එය අප සේවය සලසන ජනතාව තුළින් ඍජුවම ලැබෙන ප්‍රතිචාරයක් බැවිනි. ශ්‍රී ලාංකික ජනතාව දශකයක් තිස්සේ සිය මූල්‍ය සහකරු ලෙස LOLC පිළිබඳ විශ්වාසය තබා ඇති අතර, එය අප කරන සෑම කාර්යයකදීම පදනම ලෙස පවතී. අප මෙම ඓතිහාසික සන්ධිස්ථානය සමරද්දී, අවස්ථා පුළුල් කිරීම, ශක්තිමත් මූල්‍ය ඇතුළත් කිරීමක් සහ ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය ලොවට රැගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමු.” 
සන්නාමයක් ලෙස LOLC ලද මෙම පිළිගැනීම පිළිබඳව අදහස් දැක්වූ LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන අලෙවි සන්නිවේදන නිලධාරී, සුසාන් බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “මෙම පිළිගැනීම විශේෂයෙන් අර්ථවත් වන්නේ අව්‍යාජ ශ්‍රී ලාංකික ජනතා හඬ එමගින් පිළිබිඹු කරන බැවිනි. ඇස ගැටෙන සන්නාමයක් ලෙස පමණක් නොව සැබැවින්ම ජනතා අවශ්‍යතා සපුරාලන, ප්‍රවේශ විය හැකි සහ සමාජයේ සියලු‍ කොටස් උදෙසා විශ්වාසදායක සන්නාමයක් ගොඩනැගීම පිළිබඳ අපි සැමවිටම අවධානය යොමු කරමු. වසර දහයක් තිස්සේ අඛණ්ඩව මෙම උත්කෘෂ්ඨ සම්මානය ජයග්‍රහණය කිරීම එම උත්සාහයේ ප්‍රතිඵලයක් මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන් සමග අප ඇතුළාන්තයෙන්ම ගොඩනගා ඇති ශක්තිමත් සබඳතා මූර්තිමත් කරයි.”
අද වන විට මහාද්වීප හතරක විහිදුණු රටවල් 27 ක ශීඝ්‍ර වර්ධනයක් සමග ව්‍යාප්ත වෙමින්, පවතින LOLC, දේශසීමා අතික්‍රමණය කරමින් සිය දැක්ම ඉදිරියට රැගෙන යන්නේ, එහි ගමන් මඟ හැඩගැස්වූ ප්‍රජාව සමග ගැඹුරු සබඳතාවක් පවත්වා ගනිමිනි. ගෝලීය අපේක්ෂා සහ දේශීයත්වයට අදාළ වීම අතර මෙම සමතුලිතතාව, ජනතාව සමග සන්නාමයේ තිරසර කල් පවත්නා බැඳීම සවිමත් කිරීම උදෙසා මූලික කාර්යභාරයක් ඉටුකර ඇත. ශ්‍රී ලාංකිකයන් යළිත් වරක් සන්නාමයට කිරුළු පළඳවන විට එක් සත්‍යයක් පැහැදිලි වේ. ඒ දශකයක් පුරා ජනතා තේරීම LOLC බවයි.