ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සහ චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම සංස්කෘතික හා සංචාරක පරිපාලන ඇකඩමිය (CACTA) අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදුවිය. 
මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සම්බන්ධ වූ අතර, අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා SLITHM ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, CACTA  වෙනුවෙන් එහි ඉහළ නිලධාරියකුත් සහභාගි වූහ. SLITHM ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ විය. 
මෙහිදී අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, නව්‍යකරණය ප්‍රවර්ධනය කිරීම සහ අනාගත සංචාරක වෘත්තිකයන් ගෝලීය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව සූදානම් කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්ව වැදගත් බව පවසා තිබේ.