![]() |
| සමීර ලියනගේ ප්‍රධාන අලෙවි නිලධාරී - ලංකා බැංකුව |
ලොව ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගත කිරීමේ ආයත.නයක් වන Brand Finance ආයතනයට අනුබද්ධිත Brand Finance Lanka සමාගමේ වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරිණි. මෙම ඇගයීම හරහා, ලංකා බැංකුව සිය ආයතනික වගකීම් මනා ලෙස ඉටු කරමින් මෙන් ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැක ගනිමින් සිදු කරන විශිෂ්ට ජනතා සේවය පිළිබිඹු කරන බව පැවසිය යුතු ම කරුණකි.
ජාත්‍යන්තර ව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන Brand Finance Lanka ආයතනය, සිය ශ්‍රේණිගත කිරීම් සඳහා අදාළ සන්නාමය ක්‍රියාත්මක කර ඇති අලෙවිකරණ උපාය මාර්ග, සන්නිවේදන ක්‍රමවේද, ගනුදෙනුකාර සේවාවන් හි ප්‍රශස්ත බව, ලබා ඇති සමස්ත ආදායම, පාලන ප්‍රමිතීන්, තිරසාරත්වය පිළිබඳ කැපවීම, ඩිජිටල් සේවා ප්‍රගතිය සහ අභ්‍යන්තර කළමනාකරණ ශක්තිය ආදී පුළුල් ක්ෂේත්‍රයක් වෙත අවධානය යොමු කරමින්, ගනුදෙනුකරුවන් හා ගනුදෙනුකරුවන් නොවන යන දෙපාර්ශ්වය ම මෙම සමීක්ෂණ සඳහා සහභාගි කර ගැනීම විශේෂත්වයකි.
ලංකා බැංකුව, 2009 වසරේ සිට 2019 වසර දක්වා පසු ගිය දශකය තුළ අඛණ්ඩ ව ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස නම් කෙරුණු අතර, ආර්ථික සහ දේශපාලන අස්ථාවර භාවය ආදී වශයෙන් පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක වසර කිහිපයකින් පසු ලංකා බැංකුව නැවතත් දේශයේ වටිනා ම සන්නාමය ලෙස තේරී පත් වීම සතුටට කරුණකි. එමෙන් ම මෙම වසර පුරාවට ම ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ අතර, රට ආර්ථිකමය වශයෙන් පීඩනයට පත් වූ සෑම අවස්ථාවක දී ම එම තත්ත්වයෙන් මිදීමට ලංකා බැංකුව ශක්තියක් වීම ප්‍රශංසනීය වේ. එම නිසා ම ලබා ගත් මෙම ජයග්‍රහණය සහ සන්නාමයක් ලෙස පැමිණි ගමන් මඟ පිළිබඳ ව තොරතුරු දැන ගැනීමට අපි ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ මහතා සමඟ සාකච්ඡා කළෙමු.
ලංකා බැංකුව වසරේ වටිනා ම සන්නාමය ලෙස Brand Finance Lanka වෙතින් ශ්‍රේණිගත වීම ප්‍රවීණ අලෙවිකරුවකු ලෙස ඔබ දකින්නේ කොහොම ද ?
මෙම ඇගයීම ශ්‍රී ලාංකික ජනතාව ලංකා බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසයට හොඳ ම සාක්ෂියක්. බැංකුකරණයේ දී, විශ්වාසය වඩාත් තීරණාත්මක සාධකයක්. ගනුදෙනුකරුවන් තමන්ගේ ඉතිරි කිරීම බැංකුව වෙත භාර දෙන්නේ දැඩි විශ්වාසයකින්. ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ මේ රටේ ජනතාව ආරක්ෂිත ම සහ විශ්වසනීය ම ආයතනය විදියට ලංකා බැංකුව වැළඳ ගෙන ඇති බවයි.
සන්නාම ඇගයීමේ දී Brand Finance Lanka ආයතනය ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කිරීම පිළිබඳ ව සඳහන් කළ යුතු ම යි. එහි දී ඔවුන් මූල්‍ය වගේ ම මූල්‍ය නොවන සාධකවලටත් අවධානය යොමු කිරීම විශේෂයි. මෙය ශ්‍රී ලාංකිකයින්ට වගේ ම අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ටත් ඉතා හොඳ පණිවුඩයක් ලබා දෙන බව මගේ අදහසයි.
2009 වසරේ සිට 2019 දක්වා වසර දහයක් අපි ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස අඛණ්ඩ ව තේරී පත් වීමට සමත් වුණා. වසර හයකට පසු නැවතත් එම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීම තුළින් අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට ලංකා බැංකුව සතු හැකියාව පිළිබිඹු වෙනවා. ඒ වගේ ම මෙම ජයග්‍රහණය තුළින් අපගේ මූල්‍ය ශක්තිය වගේ ම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අරමුණු අවබෝධ කර ගනිමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට අපගේ කැපවීමට උදාහරණ සපයන බවත් පැවසිය යුතු ම යි.
මෙම ජයග්‍රහණය දෙස අලෙවිකරණ කෝණයකින් බැලීමේ දී ඒ සඳහා ඩිජිටල් පරිවර්තනය, ගුණාත්මක ගනුදෙනුකාර සේවය, තිරසාරභාවය සහ ප්‍රශස්ත මට්ටමේ සන්නිවේදනය යන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් අප ලබා ගත් සාර්ථකත්වය හේතු වී ඇති බව පැවසුවොත් මා නිවැරදි යි. ඒ වගේ ම ලංකා බැංකු සන්නාමය ජනතාවගේ මනස තුළ ගැඹුරින් සනිටුහන් වී ඇති බවත්, විශ්වසනීයත්වය සහ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් අපගේ කැප වීම මෙම ජයග්‍රහණය හරහා තහවුරු වෙනවා.
සන්නාම පිළිබඳ සිදු කෙරෙන සමීක්ෂණය සඳහා Brand Finance ආයතනය ගෝලීය ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ ව ඔබගේ අදහස ?
සන්නාමයක් නිරන්තරයෙන් මූල්‍යකරණය හා බැඳී පවතිනවා. ඒ වගේ ම අදාළ ආයතනික ආකෘතිය මඟින් සන්නාමයේ ශක්තිය මනින බවත්, පසුව එයට මූල්‍ය වටිනාකමක් එක් වන බවත් පැවසුවොත් මා නිවැරදියි. සන්නාමය ශක්තිමත් කිරීම සඳහා අලෙවිකරණය උපායශීලී ව සහ ස්ථාවර ව ක්‍රියාත්මක කිරීම අනිවාර්ය යි.
සන්නාමයක වටිනාකම මැන බැලීම වෙනුවෙන් Brand Finance සමාගම අනුගමනය කරන විද්‍යාත්මක සමීක්ෂණ ක්‍රමවේදය තුළ දී ආයතනික යහ පැවැත්ම, තිරසාරභාවය, මානව සම්පත් කළමනාකරණය, ඩිජිටල් සේවා භාවිතය සහ ගනුදෙනුකාර සේවාව ආදී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරනවා. එහි දී ඔවුන් අදාළ ආයතනයේ ගනුදෙනුකරුවන්ගෙන් වගේ ම ගනුදෙනුකරුවන් නොවන පුද්ගලයන්ගේ අදහස් වෙතත් අවධානය යොමු කිරීම විශේෂයි. ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් නොවන පුද්ගලයින් පවා ලංකා බැංකු සන්නාමය ඇගයීම, සන්නාමයක් ලෙස අප ගොඩනඟා ගෙන ඇති කීර්තියට සහ සාර්ථකත්වයට හොඳ ම උදාහරණයක්.
මෙම ගෝලීය ඉදිරි දර්ශනය අපගේ අනාගතය පිළිබඳ චින්තනයට ඉතා වැදගත්. හොඳ මූල්‍ය කළමනාකරණයකින් තොර ව ශක්තිමත් සන්නාමයකට පැවතිය නොහැකි යි. ඒ වගේ ම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල, ආයතනික යහපැවැත්ම, ගනුදෙනුකරුවන් කෙරෙහි පක්ෂපාතිත්වය සහ විශ්වසනීයත්වය නොමැතිව ශක්තිමත් සන්නාමයක් ගොඩනැංවීම කළ නොහැකි යි. මෙම ශ්‍රේණිගත කිරීම තුළින් ලංකා බැංකුවේ කළමනාකරණ ශක්‍යතාව ඉතා හොඳින් පිළිබිඹු වෙනවා.
වේගයෙන් වෙනස් වන මූල්‍ය ක්ෂේත්‍රය වෙත සාර්ථකව අනුවර්තනය වීම වෙනුවෙන් ලංකා බැංකුව යොදා ගත් අලෙවිකරණ උපාය මාර්ගය මොනවා ද ?
ගනුදෙනුකාර අභිලාශ කේන්ද්‍ර කර ගත් උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කිරීම අපගේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක්. අපගේ අරමුණු හා ඉලක්ක කරා ගමන් කිරීමේ දී සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව නොරහසක්. උදාහරණයක් විදියට දැක්වුවොත්, අප ළමා ඉතුරුම් ගිණුමක් හඳුන්වා දීමේ දී එමඟින් ලබා දෙන පොලී අනුපාත පිළිබඳ වගේ ම, එම ඉතුරුම් හරහා දරුවාගේ අනාගතය ශක්තිමත් වන ආකාරයත් දැනුවත් කිරීම අවශ්‍ය ම වෙනවා. ඒ වගේ ම ජීවනෝපායන් නිර්මාණය කිරීම සහ ව්‍යවසායකයින් සවි බල ගැන්වීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ප්‍රවර්ධනය කිරීමත් අපගේ සාර්ථක අලෙවිකරණ උපායමාර්ගයක් විදියට දැක්වීමට පුළුවන්
ඩිජිටල් පරිවර්තනය අපගේ සාර්ථකත්වයේ ප්‍රධානතම අංගයක්. ඉලක්ක ගත ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා ගනුදෙනුකාර කේන්ද්‍රීය තොරතුරු සහ දත්ත මත විශ්වාසය තබන බව පැවසිය යුතු ම යි. අපි අපගේ ප්‍රවර්ධන කටයුතු සඳහා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කරනවා. තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඒ සඳහා නිවැරදි විසඳුම් ලබා දීමට එය අත්‍යවශ්‍ය බව මා විශ්වාස කරනවා.
ඒ වගේ ම පසුගිය අභියෝගාත්මක කාල වකවානුවල දී අප ක්‍රියා කළ ආකාරය සහ ඒවාට පිළිතුරු ලබා දීමට අප මැදිහත් වූ ආකාරය අපගේ සන්නාමයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සමත් වූ බව පැවසුවොත් මා නිවැරදි යි. කොවිඩ් වසංගතය අතරතුර රටේ සැපයුම් දාමයන්ට බාධා සිදු වූ විට, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ ආනයනය සඳහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබා දීම ඊට උදාහරණ විදියට දැක්විය හැකි යි. ඒ වගේ ම ඉන්ධන, ගෑස් සහ විදුලිය ආශ්‍රිත ව අර්බුදකාරී තත්වයක් නිර්මාණය වූ විට පවා එය සමනය කර ගැනීමට ලංකා බැංකුව සක්‍රීය මැදිහත් වීමක් සිදු කළ බවත් සිහිපත් කළ යුතු ම යි. අප මෙම මැදිහත් වීම් කිසිදු ප්‍රවර්ධන අරමුණකින් තොර ව ක්‍රියාත්මක කළත්, එය ජාතික සන්නාමයක් විදියට ලංකා බැංකුවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සමත් වූ බව පැවසිය යුතු යි.
තරගකාරී මූල්‍ය වෙළෙඳපොළ තුළ ලංකා බැංකු සන්නාමය අනෙකුත් මූල්‍ය ආයතනවලින් වෙනස්වීමට අලෙවිකරණ ක්‍රියාවලිය දායක වී ඇත්තේ කෙසේ ද ?
ලංකා බැංකුව සැම විටම අනෙකුත් සන්නාමයන්ගෙන් වෙන් ව රැඳී සිටින්නේ විශ්වාසය, ආයතනික අරමුණු සහ ව්‍යාපාර ධාරිතාව යන අංශ කෙරෙහි දක්වන දායකත්වය හේතුවෙන් බව පැවසිය යුතු ම යි. අතීතයේ ලබා ගත් ප්‍රගතිය, වෙළෙඳපොළ තුළ පවතින තත්වයන්ට අනුගතවීමේ හැකියාව සහ සාර්ථක ලෙස වගකීම් කළමනාකරණය කිරීම යන කරුණු පදනම්ව සන්නාමයක් කෙරෙහි විශ්වාසය ගොඩනැඟීම සිදු වන බව පැවසුවොත් මා නිවැරදියි. දිවයිනම ආවරණය කරමින් පිහිටා ඇති 660 කට අධික දේශීය ශාඛා ජාලය, 2300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන හා විදේශීය ශාඛා, ශක්තිමත් ඩිජිටල් සේවා කලඹ සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ පවතින සහයෝගිතාව තුළින් නිර්මාණය වී ඇති නියෝජිත බැංකු ජාලය හරහා අපගේ පුළුල් ව්‍යාප්තිය සනිටුහන් වී ඇති බවත් පැවසිය යුතු ම යි.
ඒ වගේ ම සේවා සහ නිමැවුම්වල නිර්මාණශීලී බව, අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ එමඟින් ජාතික හා සාමාජීය මට්ටමින් සිදු කළ හැකි දායකත්වය මත ලංකා බැංකුවේ අරමුණ කෙතරම් පොහොසත් ද යන්න විදහා පාන බව නොරහසකි. මේ සඳහා BOC Youth ණය යෝජනා ක්‍රමය හොඳ ම උදාහරණයක්. ඇපකරයක් තැබීමට නොහැකි, වයස අවුරුදු 30 ට අඩු ආරම්භක මට්ටමේ ව්‍යවසායකයන්ට එමඟින් අද්විතීය සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර සැලැස්ම යථාර්ථයක් කර ගැනීමට මෙම ණය යෝජනා ක්‍රමය හරහා ලංකා බැංකුව මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේ ම ලංකා බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය හරහා දැනටමත් තරුණ ව්‍යවසායකයන් 19,000 කට වැඩි පිරිසක් බල ගන්වා ඇති බව මා පවසන්නේ මහත් අභිමානයෙන්.
ලංකා බැංකුව කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට නවෝත්පාදන ඒකාබද්ධ කිරීමට කටයුතු කළා. ඒ අති නවීන ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය හා ඒකාබද්ධ කිරීමෙන් අපි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණයටත්, ඩ්‍රෝන නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම, නිවැරදි කෘෂි පර්යේෂණ සඳහා සහාය වීම, ජලය හා පොහොර භාවිතය ප්‍රශස්ත කිරීම හරහා අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහා ඩ්‍රෝන භාවිත කිරීම දිරිගැන්වීම වැනි ක්‍රියාකාරකම් හරහා ඒ ආශ්‍රිත වපසරිය පුළුල් කිරීමටත් ලංකා බැංකුව නොමඳ සහයෝගය ලබා දුන්නා. මෙම වැඩසටහන් හරහා තිරසාර, දත්ත මත පදනම් වූ කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය කරන අතර ම ශ්‍රී ලාංකේය ගොවිතැන තරඟකාරී ගෝලීය කෘෂි ක්ෂේත්‍රයට සරිලන අයුරින් වැඩි දියුණු කිරීමට අපි අරමුණු කරනවා. නවීන බැංකුකරණ ක්‍රමවේද හරහා සාම්ප්‍රදායික කර්මාන්ත නවීකරණය කිරීම සඳහා සාධනීය ලෙස බලපෑම් කළ හැකි ආකාරයට මෙය හොඳ ම උදාහරණයක්.
අපගේ පුහුණුව ලත් අති දක්ෂ කාර්ය මණ්ඩලයත් අපගේ වෙනස විදහා පාන බව අවධාරණය කළ යුතු යි. 8,000 කට අධික අපගේ කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් වයස අවුරුදු 35 ට අඩු වීම විශේෂත්වයක්. ඔවුන් ශක්තිය, කැප වීමේ හැකියාව සහ ඩිජිටල් සාක්ෂරතාව ඉතා ඉහළයි. අපගේ ශාඛා ජාලය ආශ්‍රිත ව වගේ ම ඩිජිටල් සේවා ආශ්‍රිතවත් ගනුදෙනුකරුවන් වෙත ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබා දීමට එම සුවිශේෂත්වයත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
තාක්ෂණික දැනුම සහිත තරුණ පරම්පරාවේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම ලංකා බැංකුවේ සාර්ථකත්වය හා සමපාත වන්නේ කොහොම ද ?
දශක අටකට වැඩි ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සහ ඩිජිටල් පරිවර්තනය හරහා නව පරපුර ආමන්ත්‍රණය කිරීම යන දෙක ම නිවැරදි ව කළමනාකරණය කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. ගෙවීම් කටයුතු ඇතුළු සමස්ත බැංකු සේවා පහසුකම් සලසන BOC Flex ජංගම යෙදුම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රධානතම ඩිජිටල් සේවාවක්. ඔවුන්ට ඕනෑ ම වේලාවක, ඕනෑ ම තැනක සිට ජංගම දුරකථනය භාවිත කර බැංකු කටයුතු සිදු කිරීමේ හැකියාව මෙමඟින් අපි ලබා දී තිබෙනවා.
අධ්‍යාපනය සහ රැකියා අවස්ථා වර්ධනය කර ගැනීම සඳහා අපි තරුණයින් වෙත නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. සෑම වසරක ම අපි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් මිලියන 30 කට ආසන්න ශිෂ්‍යත්ව ලබා දීමට අපි කටයුතු කරනවා. එම ශිෂ්‍යත්ව ඔවුන් උපාධිය ලබා ගන්නා තෙක් ලබා දීම විශේෂයි. ඊට අමතර ව අපගේ Dream Builders වැඩසටහන හරහා අපි විශ්වවිද්‍යාල සමඟ එක් වෙලා රට පුරා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අධ්‍යාපනය සහ රැකියා අතර පරතරය පියවීමට දායකත්වය ලබා දෙනවා. මෙවැනි ව්‍යාපෘති සමාන්‍ය වැඩසටහන්වලින් ඔබ්බට ගිය අනාගත ආයෝජන වැඩසටහන් විදියට හඳුන්වා දීමට පුළුවන්. අපගේ සන්නිවේදන ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළ විට, TikTok, WhatsApp සහ Instagram ඇතුළු තරුණ තරුණියන් අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය භාවිත කිරීම හරහා අපි ඔවුන් වෙත වඩාත් සමීප වී තිබෙනවා. එයත් ලංකා බැංකුව වෙත තරුණ තරුණියන්ගේ ආකර්ෂණය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව පැවසිය යුතු ම යි.
ලංකා බැංකුවේ මූල්‍ය අරමුණු සමඟ, මෙම සන්නාම ඇගයීම වැදගත් වන්නේ කෙසේද?
සාර්ථක වෙළෙඳ නාමයක්, මූල්‍ය වත්කමක් විදියට සැලකීමට පුළුවන්. ඒ වගේ ම අලෙවිකරණය සහ මූල්‍ය කටයුතු එකිනෙක බැඳුණු ක්ෂේත්‍ර දෙකක්. යම් සන්නාමයක් ඇගයීමට ලක් කිරීමේ දී එම සාධකවලට අමතර ව අපක්ෂපාතීත්වය, කීර්තිය සහ දිගු කාලීන වටිනාකම් නිර්මාණයට එම සන්නාමයේ දායකත්වය යන සියලු ම අංශ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්. ඊට අමතර ව සේවක සහභාගීත්වය, පාලනය සහ තිරසාරභාවය යන සියල්ල ම සන්නාමයක වටිනාකම ඉහළ නැංවීමට බලපාන බව පැවසුවොත් මා නිවැරදියි. අලෙවිකරණය ආයතනික ඉලක්ක සමඟ පෙළගැස්වූ විට මැනිය හැකි වටිනාකමක් නිර්මාණය වන බව ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඉතා හොඳින් වටහා ගෙන තිබෙන බව අවධාරණය කිරීමට කැමතියි.
ආයතනික යහ පැවැත්ම, තිරසාරභාවය සහ සමානාත්මතාව ලංකා බැංකු සන්නාමයේ වර්ධනයට බලපාන්නේ කෙසේ ද ?
සන්නාමයේ වර්ධනයට ආයතනික යහ පැවැත්ම, තිරසාර භාවය සහ සමානාත්මතාව අත්‍යවශ්‍යයි. ශක්තිමත් පාලනය තුළින් විශ්වසනීයත්වය ගොඩ නැංවෙනවා. ඒ වගේ ම තිරසාරභාවය තුළින් පරිසරයට, ජනතාවට වගේ ම ආර්ථිකයට අපගෙන් ඉටු විය යුතු වගකීම් පිළිබිඹු කරනවා. කාර්ය මණ්ඩලය තුළ සමානාත්මතාව පිළිබඳ සංස්කෘතියක් ගොඩනැඟීමත් ඉතා වැදගත්.
මෙම ගුණාංග වර්ධනය කිරීම, ජනතාවට අපගේ සන්නාමය පිළිබඳ ව ඉතා පැහැදිලි අවබෝධයක් ලබා දීමට ඉතා වැදගත්. එය සන්නාමයේ කීර්ති නාමයට සෘජු ව ම බලපාන බවත් පැවසිය යුතු ම කරුණක්. ගනුදෙනුකරුවන්ට දුර්වල ආයතනික පාලනයක් දකින්නට ලැබුණහොත් සන්නාම වටිනාකම පහත වැටීමට එය ප්‍රබල හේතුවක් බවට පත් වෙනවා. එය සන්නාමය වටා ගොඩනැඟී ඇති විශ්වසනීයත්වයටත් දැඩි හානියක්.
අපි මෙම සාධක අපගේ ආයතනික උපාය මාර්ග සමඟ ඒකාබද්ධ කළා. එම නිසා අපගේ සන්නාමය අපගේ ගනුදෙනුකරුවන් තුළ වගේ ම ගනුදෙනුකරුවන් නොවන පුද්ගලයින් තුළත් ධනාත්මක ආකල්ප ගොඩනැඟෙන අයුරින් වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා.
ඉදිරි වසර 5 තුළ ලංකා බැංකු සන්නාමය වර්ධනය කරා ගෙන යාම සඳහා ඔබේ දැක්ම කුමක් ද ?
ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීය ම මූල්‍ය සහකරු ලෙස අඛණ්ඩ ව ඉදිරියටත් කටයුතු කිරීම අපගේ ප්‍රධානතම අරමුණු අතරින් එකක්. ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආයතනික කළමනාකාරිත්වය මෙම අවශ්‍යතාව මැනෙවින් වටහා ගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ඉදිරිය සැලසුම් කිරීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම වඩාත් තීව්‍ර කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා. මෙහි මූලික පියවරක් ලෙස ඩිජිටල් සේවා පුළුල් කිරීමට, AI තාක්ෂණය හරහා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉලක්ක කර ගත් සේවා පුළුල් කිරීමට සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අප දියත් කරන වැඩසටහන් ශක්තිමත් කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බවත් පැවසිය යුතු ම යි.
ඒ වගේ ම අපගේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගනිමින් දකුණු ආසියාව තුළ ප්‍රබල ම සන්නාමය බවට ලංකා බැංකුව පත් කිරීමේ මෙහෙයුම් අපි දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසීය යුතු ම යි. The Banker සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට ලංකා බැංකුව නැවතත් ශ්‍රේණිගත කිරීම සහ අපගේ ඉස්ලාමීය බැංකු සේවා ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වීම අපගේ සන්නාමය ජාත්‍යන්තරය ජය ගනිමින් සිටින බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකියි.
ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ පැවැත්මට අවශ්‍ය මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම අපගේ මූලික පදනම විදියට හඳුන්වා දීමට පුළුවන්. අලුත උපන් දරුවකුගේ පළමු ඉතුරුම් ගිණුමේ සිට තරුණ හා කාන්තා ව්‍යවසායකයින් වෙනුවෙන් ව්‍යාපාර ණයක් හෝ ගොවි ප්‍රජාව වෙත නවීන තාක්ෂණය හඳුන්වා දීම මෙන් ම ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම දක්වා ලංකා බැංකුව විශ්වසනීය හවුල්කරුවෙකු විදියට ශ්‍රී ලාංකික ජන සමාජය සමඟ බැඳී පවතිනවා. අපගේ සන්නාමයේ මූලික හරය එය යි. එය ඉදිරි වසරවල දීත් අපගේ ජයග්‍රාහී මාවතට ශක්තියක් වනු ඇති බව මා තරයේ විශ්වාස කරනවා.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලංකා බැංකුව, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස නම් කිරීම අපගේ ගනුදෙනුකාර භවතුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්