IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පුළුල් ආර්ථික වර්ධන සැලැස්මක අවශ්‍යතාව

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බාහිර ණය බැඳීම් අසම්පූර්ණ කළ පසු, රට මුහුණ දුන්නේ නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයටය. 2022-2023 කාලය තුළ ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටුණු අතර ආර්ථික පද්ධතියේ දුර්වලතා ඇතිවිය. ශ්‍රී ලංකාව ණය පැහැර හැරීම සමගම සංවර්ධනයේ විශාල පසුබැසීමක් ඇති කළ අතර, “මූලික අවශ්‍යතා” සපුරාලීමේ අසාර්ථක රටක් ලෙස ලෝකය හඳුනාගත්තේය. එසේ වුවද මෙය වෙනස් වූ අවාසනාවන්ත හැරවුමක් ලෙස ද සැලකිය හැක.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය බහුවිධ, සංකීර්ණ සහ විවාදාත්මක හේතු රැසක ප්‍රතිඵලයක් ලෙස විකාශනය වී ඇත. දශක ගණනාවක් තිස්සේ පවත්නා මූල්‍ය හා ව්‍යාපාරික ගිණුම් හිගවීම් රජයේ ආදායම හා වියදම් අතර ගැඹුරු අසමතුලිතතාවක් ඇති කළේය. එය රටේ ණය බර මත දීර්ඝකාලීන බලපෑමක් එල්ල කළ අතර විදේශ ණය සහතිකවල විශ්වාසය අඩු විය. 2019 සිට 2022 දක්වා ක්‍රියාත්මක කළ අයුතු “දේශීය විසඳුම් “ලෙස හැඳින්වූ ආර්ථික ප්‍රතිපත්ති විශේෂයෙන් බදු අඩුකිරීම්, මුදල් අච්චු ගැසීම සහ විදේශ විනිමය පාලනය ආර්ථිකයේ විශ්වාසය බිඳ දැමූ අතර ආයෝජකයන්ගේ සහ මූල්‍ය වෙළෙඳපොළවල විශ්වාසය බොහෝ අංශවලින් බිඳ වැටිණි. 

එමෙන්ම අඩු ප්‍රතිලාභ සහිත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීන ප්‍රතිපත්ති බැංකු වෙතින් ලබාගත් ණය, රටේ ණය බර ඉතා ඉහළ නැංවු අතර, ඒ මගින් ප්‍රතිලාභ ලැබූ ආර්ථික වාසි සීමිත විය. එසේම, 2019 පාස්කු දා බෝම්බ ප්‍රහාරවලින් උද්ගත වු ආරක්ෂක හා සංචාරක කර්මාන්තය අර්බුදයට ලක් වු අතර, Covid-19 වසංගතයෙන් සංචාරක, ආයෝජන සහ නිෂ්පාදන ක්ෂේත්‍ර බිඳ වැටීම, සහ පසුකාලීනව රුසියානු-යුක්රේන යුද්ධයෙන් ඇති වූ ගෝලීය වෙළෙඳපොළ විකල්ප මගින් ඉන්ධන, ආහාර හා ඖෂධ හිගවීම් වැනි ගැටලු‍ ලංකාවේ ආර්ථික අර්බුදය තවත් ගැඹුරු කළේය.

මෙම සියලු‍ම අභියෝග එකට එකතු වීමෙන් ශ්‍රී ලංකාව 2022 දී ඉතිහාසයේ අතිමහත් මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. ණය ගෙවීම් අත්හිටුවීම, විදේශ විනිමය හිගවීම් සහ ජනතාවට අධික ජීවන වියදම් යටතේ පීඩා ඇති වීම ආර්ථිකය පමණක් නොව සමාජීය අස්ථාවරත්වයට බලපාන්නට හේතු විය. අද රට මුහුණ දී සිටින අභියෝගය වන්නේ මෙම අත්දැකීම් මත පදනම්ව ආර්ථික විශ්වාසය නැවත ගොඩනැගීම ණය පාලනය හා තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන්නේ කෙසේද යන්නයි.

ලංකාවේ ණය බර දැනටමත් ආර්ථික ස්ථායිතාවට මූලික බාධාවක් වී ඇත. අතීතයේදී ණය ලබාගැනීම සිදු වූයේ අනාගත ආදායම් ප්‍රතිලාභ නොසලකා හැරීමෙන් බව පැහැදිලිය. නව ආර්ථික සැලැස්මක ප්‍රථම පියවර විය යුත්තේ තිරසාර ණය කළමනාකරණ පද්ධතියක් ඇති කිරීම යි. එනම්, ණය ලබා ගැනීමේදී ඒ මගින් නිෂ්පාදන හැකියාව රැකියා අවස්ථා සහ ප්‍රතිලාභ ලබාදෙන ආකාරය සැලකිල්ලට ගත යුතුය. ලබා ගන්නා ණය නව ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීම සඳහා භාවිත විය යුතු අතර, ඉතිහාසයේ සිදුවූ පරිදි පරිභෝජන අරමුණු සඳහා නොවිය යුතුය. මේ මගින් රටට පූර්ණ වගකීමකින් යුත් ණය පාලන පද්ධතියක් සකස් කළ හැක.

ශ්‍රී ලංකාවේ ජාතික ණය බර වර්තමාන ආර්ථික අස්ථාවරභාවයේ ප්‍රධාන හේතුවක් විය. මේ මට්ටම තිරසාර මට්ටමකට අඩු කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය අනුපාතය සියයට 70 ට අඩු කිරීම මූලික ඉලක්කයක්වි ය යුතුය

ලංකාවේ රාජ්‍ය ආදායමෙන් සියයට අසූවක් පමණ බදු මත රඳා පවතින අතර, එය අස්ථාවර මාර්ගයකි. නව ආර්ථික සැලැස්මට අත්‍යවශ්‍ය මූලික මාර්ගයක් වන්නේ ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම යි. නිෂ්පාදන, තාක්ෂණික සේවා, සංචාරක ක්ෂේත්‍රය, සහ කෘෂිකර්මය වැනි ක්ෂේත්‍රවලින් තිරසාර ආදායම් මාර්ග ගොඩ නැගිය හැකි වන අතර එමගින් රටේ ආර්ථිකය ස්ථාවර කරයි. විශේෂයෙන්ම නිෂ්පාදන මත පදනම් වූ අපනයන ආර්ථිකයක් පවත්වා ගැනීම ලංකාවට විදේශ විනිමය ආදායම තහවුරු කර ගැනීමටද උපකාරී වේ.

ආර්ථික සංවර්ධනය සැබෑවක් වන්නේ එය සමාජයේ සියලු‍ම පන්තිවලට ප්‍රතිලාභ ලබා දෙන විට පමණි. එබැවින් ඇතුළත් වර්ධනය (Inclusive growth)  යනු, ශ්‍රී ලංකාවේ ග්‍රාමිය ජනතාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කාන්තා ව්‍යාපාරිකයන් සහ තරුණ ව්‍යාපාරිකයන් ආර්ථික ප්‍රතිලාභයට සෘජුව සම්බන්ධ වන ආර්ථික පද්ධතියක් ලෙස අර්ථ දැක්විය හැක. මෙම වර්ධනය තුළ ආර්ථික ප්‍රතිලාභ ඉහළ ආදායම් ලබන කාණ්ඩයකට පමණක් නොව සමාජයේ සියලු‍ කාණ්ඩ අතර බෙදී යාම වැදගත්වේ. එය රැකියා නිර්මාණය, දේශීය කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම, සහ ආදායම් අසමතුලිතතාව අඩු කිරීමෙන් සිදුවේ. ඇතුළත් වර්ධනයක් (Inclusive growth) මගින් ආර්ථික ප්‍රගතිය සමග සමාජීය ස්ථාවරභාවයත් තහවුරු කළ හැක. ආර්ථික සංවර්ධනයේ සාර්ථක මිනුම වන්නේ එය සමාජයේ සියලු‍ම පන්තිවලට ප්‍රතිලාභ ලබාදෙන අයුරින් සකස් වීමයි. එබැවින් ඇතුළත් වර්ධනයක් රටට අත්‍යවශය. ග්‍රාමීය ජනතාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කාන්තා ව්‍යාපාරිකයන් සහ තරුණ ව්‍යාපාරිකයන් ආර්ථික ප්‍රධාන ධාරාවට එකතු කර ගැනීම එම රටේ විශ්වාසය හා නිෂ්පාදන හැකියාව වැඩි කරයි. මෙවන් වර්ධනයක් තුළ ආදායම් අසමතුලිතතාව අඩු වන අතර, ජාතික එකමුතුවක් සහ සමාජීය ස්ථාවරභාවයක්ද ඇති වේ. එය රටේ දීර්ඝ කාලීන සංවර්ධනයට පිටුවහලකි.

ආර්ථික සංවර්ධනයේ දිගුකාලීන මූලධර්මයක් වන්නේ නවෝත්පාදන හා අධ්‍යාපන යයි. ලෝකයේ සියලු‍ම දියුණු රටවල් දැක්වූ ආකාරයෙන්, නවෝත්පාදන හැකියාවක් නොමැති රටක් ඉදිරියට යා නොහැක. එබැවින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය හා තාක්ෂණික පුහුණුව යථා තත්වයට පත් කර, විශේෂයෙන් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, ගණිතය) ක්ෂේත්‍රවල දක්ෂ මිනිසුන් බිහි කළ යුතුය. තරුණ පරපුර නවෝත්පාදන කර්මාන්තවලට සහ තාක්ෂණික ව්‍යාපාරවලට ආකර්ෂණය කිරිමෙන් රට තුළම ආදායම් හා රැකියා අවස්ථා උදා කළ හැක. අධ්‍යාපනයේ නවීකරණය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය රටේ ආර්ථිකය ගෝලීය තරගකාරී මට්ටමකට ගෙන යාමට උපකාරී වේ. දියුණු රටක මූලික හරය වන්නේ නවෝත්පාදන හා අධ්‍යාපනය යි. ලංකාවේ අධ්‍යාපන පද්ධතිය 21වැනි ශතවර්ෂයේ ගෝලීය තත්වයන්ට ගැළපෙන ආකාරයට සංස්කරණය කළ යුතුය. තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයෙන් තරුණ පරපුර නව කර්මාන්තවලට ආකර්ෂණය කර ගැනීම ඒම රටේ ආදායම හා නිෂ්පාදන ඵලදායීත්වය වැඩි කරයි. STEM අධ්‍යාපනය (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය) යටතේ දක්ෂ පුද්ගලයන් බිහි කිරීම, රටේ නවෝත්පාදන හැකියාවක් ගොඩනැගීමට මූලික වේ. එමගින් ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් තරගකාරී දියුණු රටක් බවට පත් කළ හැක.

අනාගත ආර්ථිකය පරිසර හිතකාමී ආර්ථිකයක් ලෙස පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. හරිත ආර්ථිකය යනු, නිෂ්පාදන හා පරිභෝජන ක්‍රියාවලිය පරිසරයට හානි නොවන ආකාරයට කිරීම වගබලා ගනියි. නවීන ශක්ති මූලාශ්‍ර (සූර්ය, සුළං, ජල විදුලිය) වැඩි දියුණු කිරීමෙන් ඉන්ධන ආනයනය අඩු කළ හැකිය. එමගින් පරිසරයත් ආරක්ෂා වේ. කෘෂිකර්මයේදී තිරසාර ක්‍රම භාවිත කිරීම, නගර සංවර්ධනයේදී හරිත පද්ධති අනුගමනය කිරීම, සහ  “Green Finance”  ව්‍යාපෘති ආකර්ෂණය කිරීමෙන් ලංකාවට පරිසරය හා ආර්ථිකය සමබර කර ගත හැක.

රජයට ඉදිරියේ ඇති අභියෝගය සරලය. එහෙත් විශාලය. පරණ වැරදි නැවත නැවත නොකර, අනාගත පරපුරක් සඳහා තිරසාර, සාධාරණ සහ නවෝත්පාදනමය ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍ය වේ. එය සාර්ථක වන්නේ රජය, පෞද්ගලික අංශය සහ ජනතාව එක්ව ක්‍රියාත්මක වූ විට පමණි. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ පැලැස්තර සංශෝධන නොව සත්‍ය පරිවර්තනයකි. ණය පාලනයේ සිට අධ්‍යාපන පරිසරය දක්වා විහිදෙන සමතුලිත සංවර්ධනයකි. ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනයක් පමණක් නොව, සංවිධානාත්මක පරිවර්තනයක් අවශ්‍ය වේ. එය සාර්ථක වන්නේ ප්‍රාථමික ආර්ථික ක්ෂේත්‍ර වන කෘෂිකර්මය, සංචාරක ක්ෂේත්‍රය, අධ්‍යාපනය සහ තාක්ෂණය, නව සංකල්පයකින් යළි ගොඩනැගීමෙනි. මේ ක්ෂේත්‍ර රටේ ආර්ථිකයේ පදනම් වන අතර, ඒවාට නිවැරදි ආකල්ප සහ නවීන ක්‍රියාමාර්ග එකතු කිරීම ඉතා වැදගත්ය.
ශ්‍රී ලංකාව ඉදිරි දශකයේදී පුළුල් ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට අත්‍යවශ්‍ය සාධක බොහෝය. ඒ අනුව අපට පෙනී යන සාධක කිහිපයකි.

කෘෂිකර්මය අගය එකතු කරන නිෂ්පාදන පද්ධතියක් කරා ගමන් කිරීම

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය වසර ගණනාවක් තිස්සේ ජීවනෝපාය මාර්ගයක් වුවත් වර්තමාන ගෝලීය වෙළෙඳපොළේ තරගකාරී මට්ටමට යාමට ඒ ක්ෂේත්‍රය නවීකරණය වීම අත්‍යවශ්‍ය ය. කෘෂිකර්මය තවදුරටත් පෞරාණික පද්ධතියක් ලෙස නොව අගය එකතු කරන නිෂ්පාදන පද්ධතියක් ලෙස ගොඩනැගිය යුතුය. එනම් මූලික භෝග නිෂ්පාදනයට අමතරව, ඒ භෝගවලින් නිෂ්පාදන පරිවර්තන ක්ෂේත්‍ර (processing industries) ගොඩනැගීමෙන් වැඩි ආදායමක් උපයාගත හැක. උදාහරණයක් ලෙස, තේ, දියර කිරි, පලතුරු, හා කෘෂි භෝගවලින් විදේශ වෙළෙඳපොළට අලෙවියට සුදුසු නිෂ්පාදන නිර්මාණය කිරීම රටේ විනිමය ආදායම වැඩි කරයි. තවද, තිරසාර කෘෂිකර්ම ක්‍රම ජෛව කෘෂි, ජල කාර්යක්ෂමතාව, සහ නවීන කෘෂි තාක්ෂණ උපයෝගි කර ගැනීම රටේ ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කරයි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ තවමත් අප සිටින්නේ කෘෂිකර්මාන්තයේ ඉතාමත් ප්‍රාථමික අවධියක වීමයි. එම පරිවර්තනාත්මක වෙනස කිරීමට ආයතනික පද්ධතිවල සිදුවිය යුතු වෙනස්කම් ඉතා ඉක්මනින් වෙනස් කළ යුතු බව අවධාරණය කළ යුතුය. ඒ සඳහා සිදු වී ඇති දේශපාලනික පරිවර්තනය ඉතා සුදුසු කාල පරිච්ඡේදයකි.

සංචාරක ක්ෂේත්‍රය ධාරිතාමය සංවර්ධනයකට මාවතක් සකසා ගැනීම

Covid-19 වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදය නිසා විශාල බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රය දැන් නැවත නැගීසිටීමේ අවස්ථාවක් ලබා ඇත. එහෙත් එය පැරණි ආකාරයට නොව, ධාරිතාමය Capacity building සංවර්ධනයක් මත පදනම් විය යුතුය. සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුත්තේ පරිසරයට හානි නොකර, සංස්කෘතික උරුමය ආරක්ෂා කරන ආකාරයකිනි. එසේම, ග්‍රාමීය සංචාරක ව්‍යාපෘති community-based tourism) මගින් ග්‍රාමීය ජනතාවට ආදායම් මාර්ග විවෘත කළ හැකි අතර විදේශ සංචාරකයන්ටත් අද්විතීය ශ්‍රී ලාංකික අත්දැකීමක් ලබා දිය හැක. මෙවන් තිරසාර සංචාරක මාර්ග රටට විදේශ විනිමය ආදායම් ලබා දීමත්, පරිසරය ආරක්ෂා කිරීමත් සිදු කළ හැක. ආනයන ඉන්ධන මත රටේ විශාල පිරිවැයක් වැයවීම, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට ද මූලික හේතුවක් වේ. එබැවින් නවීන බලශක්ති මත පදනම් වූ ව්‍යාපෘති Mdern Energy වර්ධනය කිරීම ඉතාමත් වැදගත්ය. සූර්ය, සුළං, සහ ජල විදුලිය යන නවීන ශක්ති මූලාශ්‍ර වැඩිදියුණු කිරීම මගින් විදේශ ඉන්ධන අවශ්‍යතාව අඩු කළ හැකිය. දිගු කාලීනව රටේ බලශක්ති ආරක්ෂාව තහවුරු කළ හැක. මේ සඳහා නවීන තාක්ෂණික ආයෝජන, රජයේ සහ පෞද්ගලික අංශ සම්බන්ධතාව, සහ පරිසර හිතකාමී නීතිමය ආරක්ෂාව අත්‍යවශ්‍ය ය. නවීන බලශක්ති ව්‍යාපෘති ශ්‍රී ලංකාව  “Green Finance”   සහ විදේශ ආයෝජන ලබා ගැනීමටද අලු‍ත් දොරටුවක් විවෘත කරයි.

දිගුකාලීන දැක්මක අවශ්‍යතාව

ශ්‍රී ලංකාව 2022-2023 ආර්ථික අර්බුදයෙන් පසු දැන් අලු‍ත් මගක් සොයමින් සිටී. ඉතිහාසයේ අත්විඳි නොසන්සුන් අවධියකින් පසු රටේ ප්‍රධාන අභියෝගය වන්නේ තිරසාර හා වගකීම් සහිත ආර්ථික පද්ධතියක් ගොඩනැගීමය. ඒ සඳහා දැන් අවශ්‍ය වන්නේ තාවකාලික විසඳුම් නොව, දිගුකාලීන දැක්මක එනම් ලංකාව 2035 වන විට ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පසුබිමක් තිබිය යුතුය. ඒ සඳහා දේශපාලන පසුබිමක් සකස්වී තිබීම යහපත් ලක්ෂණයකි.

ශ්‍රී ලංකාවේ ජාතික ණය බර වර්තමාන ආර්ථික අස්ථාවරභාවයේ ප්‍රධාන හේතුවක් විය. මේ මට්ටම තිරසාර මට්ටමකට අඩු කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය අනුපාතය සියයට 70 ට අඩු කිරීම මූලික ඉලක්කයක් විය යුතුය. එය සාධනය කිරීමට ණය කළමනාකරණය විශ්ලේෂණාත්මක හා සම්පූර්ණ පාලන පද්ධතියක් යටතේ සිදු කළ යුතුය. නව ණය ලබාගැනීමේදී ප්‍රතිලාභ, ආදායම් ප්‍රවාහ සහ ආර්ථික ආපදා අධීක්ෂණය පිළිබඳ නිසි විග්‍රහයක් අත්‍යවශ්‍ය ය. තවද, නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම ණය අනුපාතය ස්වාභාවිකව අඩු කිරීමටත් උපකාරී වේ.

රටේ බදු ආදායම දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8 සිට සියයට 10 දක්වා පමණය. එය ප්‍රාදේශීය හා ගෝලීය මට්ටම්වලට වඩා පහළ අගයකි. රජයේ අරමුණ විය යුත්තේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 මට්ටමකින් ඉහළට නංවා ගැනීමයි. එය සපුරාලීමට බදු පද්ධතියේ විශ්වාසය හා සාධාරණත්වය යථා තත්වයට පත් කළ යුතුය. අධික බදු නොව, විශාල ආදායම් පදනමක් (broader tax base)  මත පදනම් වූ පද්ධතියක් ගොඩනැගීම මෙහි මූලික අරමුණකි. එමෙන්ම, කාලීනව මුල්‍ය පාලනය, ආයෝජන ආරක්ෂණය සහ ඩිජිටල් බදු පද්ධති හඳුන්වා දීමත් අවශ්‍යය. එය ක්‍රමානුකූලව සිදු විය යුතු ප්‍රතිසංස්කරණය කි.

පුළුල් ආර්ථික සැලැස්මක මූලික අරමුණක් වන්නේ අලු‍ත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමය. මෙය සිදුවිය හැක්කේ නිෂ්පාදන, තාක්ෂණික සේවා, සංචාරක ක්ෂේත්‍රය, සහ කෘෂිකර්මය යන ප්‍රාථමික ක්ෂේත්‍රවල නව ආයෝජන මගින්ය. තරුණ පරපුරට අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව මගින් නව හැකියාවන් ලබා දීම මේ අරමුණට මූලික වේ. අලු‍ත් රැකියා අවස්ථා නිර්මාණය වන්නේ සමාජීය ප්‍රතිලාභ වැඩි කිරීමත් සමග, ජනතාව ආර්ථික ව්‍යුහය තුළ සෘජුව සම්බන්ධ කර ගැනීමත් සමගය. මේ මගින් ආදායම් අසමතුලිතතාව අඩු කර, ජනතා විශ්වාසය ආපසු ගොඩනැගිය හැක. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. 

2035 වන විට ශ්‍රී ලංකාව සාක්ෂාත් කරගත යුත්තේ සංඛ්‍යාත්මක ඉලක්ක පමණක් නොව, ඒ සංඛ්‍යාවලට පසු ඇති අර්ථයයි. ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම, ආර්ථික ස්ථාවරභාවය ලබා දීම සහ පරිසරය හා සමාජය සමග ගැළපෙන තිරසාර පද්ධතියක් ගොඩනැගීමයි. විශේෂයෙන් තරුණ පරපුරේ විශ්වාසය ගොඩනැගිමෙන් තරුණ ප්‍රජාව අනාගත සංවර්ධනය සඳහා සහභාගී කරවා ගැනීම මෙන්ම ඔවුන්ට රට තුළ අනාගතයක් ගොඩනැගෙනවා යැයි විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් වේ. 

ජනතා අභිලාෂ ඉටු වන අනාගතයක් ගොඩ නැගෙන පුළුල් ආර්ථික වර්ධන සැලැස්මක අවශ්‍යතාව එයයි. ශ්‍රී ලංකාව 2035 වන විට අඩුම තරමින් ඇ.ඩො. බිලියන 40ක අපනයන ආදායම් ඉලක්කයක් කරා ගමන් කළ යුතුය. ඒ සඳහා පුළුල් සැලැස්මක අවශ්‍යතාවක් පවතී. එයට ප්‍රයෝගික සැලැස්මක් සකස් කළ යුතුය. එසේම විදේශීය වත්කම් ඇ. ඩො.බිලියන 20 ක් දක්වා ඉහළ නංවා ගැනීමට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පුළුල් සැලැස්මක අවශ්‍යතාව පවතී. ඒ සඳහා අප මහත් වෙහෙසකර ගමන් මාර්ගයක ගමන් කළ යුතුය. එය පහසු ඉලක්කයක්ද නොවනු ඇත. ඉලක්ක අපහසු වුවත් එයින් ලැබෙන පුළුල් ප්‍රතිලාභ රටේ අනාගතය ශක්තිමත් කිරීමට පදනමක් වනු ඇත.



අදහස් (0)

පුළුල් ආර්ථික වර්ධන සැලැස්මක අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1133 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site