- ESG ප්‍රමිතීන්ට මුල් තැන
|
|
![]() |
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම සිය බුත්තල නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ අතිනවීන අපජල පිරිපහදු පද්ධතියක් (Effluent Treatment Plant - ETP) පසුගිය දා සාර්ථකව විවෘත කළ අතර පාරිසරික, සමාජීය, පාලන අනුකූලතාව සහ වගකීම්සහගත කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් බුත්තල පරිසර සංරක්ෂණය විසින් තැබූ සුවිශේෂී පියවරක් එමගින් සනිටුහන් කෙරිණි.
මෙය ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ ස්ථාපිත කරන ලද විශාලතම අපජල පිරිපහදු පද්ධතිය වේ. එමඟින් සිය ව්‍යාපාරික කටයුතු ගෝලීය පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ තම ස්ථාවරත්වය ශක්තිමත් කර ගැනීමටත් පැල්වත්ත සමාගම සතු කැපවීම මැනවින් පිළිබිඹු කරයි.
පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම සිය මූලික ව්‍යාපාරික ක්‍රියාවලියට බද්ධ කිරීම වෙනුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ දුරදක්නා සහ උපායමාර්ගික තීරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ආයෝජනය හැඳින්විය හැකිය.
පැල්වත්ත සමාගම සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට ගනු ලබන ප්‍රයත්නවලදී, පාරිසරික අනුකූලතාව තිරසාර වර්ධනයේ ප්‍රධානතම අංගයක් බවට පත්ව තිබේ.
බටහිර, යුරෝපා සහ පෙරදිග කලාපීය වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමේදී අපජල බැහැර කිරීමේ ප්‍රමිතීන්, පාරිසරික වාර්තාකරණය සහ තිරසාර භාවිතයන් පිළිබඳව පනවා ඇති දැඩි කොන්දේසි සපුරාලිය හැකි වන පරිදි මෙම නව පිරිපහදු පද්ධතිය සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
එසේම මෙම පද්ධතිය සතුව දිනකට අපජල ඝන මීටර 250ක (250m) මූලික පිරිපහදු ධාරිතාවක් පවතින අතර, උපරිම නිෂ්පාදන කාලසීමාව දී එය දිනකට ඝන මීටර 325ක් (325 m) දක්වා ඉහළ නැංවිය හැකි පරිදි ඉංජිනේරු තාක්ෂණයෙන් නිමවා ඇත.
අනාගතයේ දී නිෂ්පාදන ධාරිතාව පුළුල් වන විට ඇතිවන අවශ්‍යතාවලට මුහුණ දීම සඳහා මෙහි සියයට 30 ක අතිරේක ධාරිතාවක් ද වෙන්කර තිබේ. මෙමගින් ඉහළ නිෂ්පාදන ධාරිතාවක් පවතින කාල වකවානුවලදී පවා පාරිසරික සමතුලිතතාව නොකඩවා රැකගැනීමට පැල්වත්ත සමාගමට හැකියාව ලැබෙනු ඇත.
ලෝක මට්ටමේ පිරිපහදු ප්‍රමිති ළඟා කරගැනීම සඳහා මෙම පද්ධතියට අතිනවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් ද ඇතුළත් කර තිබේ. Integrated Dissolved Air Flotation (IDAF) තාක්ෂණය, Anaerobic and Enhanced Sequential Batch Reactor (AnSBR/eSBR) පද්ධති, CIP (Clean-in-Place) අපජල කළමනාකරණය සඳහා වෙන්වූ විශේෂ පද්ධතිය, Real-time automated process monitoring (තත්කාලීන ස්වයංක්‍රීය ක්‍රියාවලි අධීක්ෂණය), Screw Press Sludge Dewatering (මල අපද්‍රව්‍ය විජලනය කිරීමේ ක්‍රමවේදය) ආදිය ඒ අතර වේ.
මෙම උසස් පද්ධති මගින් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (BOD), රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) සහ පෝෂක බැහැර කිරීමේ සීමා වැනි තීරණාත්මක පාරිසරික පරාමිතීන් නියමිත ප්‍රමිතීන්ට අනුව පවත්වා ගනු ලබයි. මෙම පද්ධතිය ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) දැඩි අපජල බැහැර කිරීමේ ප්‍රමිතීන්ට මෙන්ම ISO 14001 පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) භාවිතයන්ට ද පූර්ණ ලෙස අනුකූල වේ.
තව ද, මෙම පද්ධතිය විවෘත කිරීමේ නිල උත්සවය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පාරිසරික අංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) පළාත් හා දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ජාතික පාරිසරික රාමුවට මෙන්ම ගෝලීය හොඳම භාවිතයන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා පැල්වත්ත සමාගම රාජ්‍ය නියාමන ආයතන සමග සමීපව කටයුතු කරන බව මේ තුළින් තහවුරු වේ.
මෙම නව ව්‍යාපෘතියත් සමග, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ සහ නියාමන ආයතනවල පාරිසරික අපේක්ෂා සපුරාලිය හැකි හා ගෝලීය වශයෙන් තරගකාරී කිරි නිෂ්පාදකයෙකු ලෙස ද පැල්වත්ත සමාගම සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇත. මෙමගින් සමාගමේ ESG ප්‍රතිරූපය වර්ධනය වනවා පමණක් නොව, සමස්ත ලාංකීය කිරි කර්මාන්තයේම තිරසාරභාවයේ ප්‍රමිති ඉහළ නැංවීමට ද මහඟු දායකත්වයක් ලැබෙනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd